Saturday, November 9, 2013

සරදියෙල් මම මේනකා


ඇඳේ දිගා වෙලා දැකුළු මල් රටා අස්සේ ඇස් පටලෝගෙන නින්ද නොනින්ද අතර පාවේවී උන්නු මගේ දැහැන දෙදරමින්  හඬ තලන ජංගමයාගේ හඬින් ඉහිරිලා ගියා.පුංචි නොරිස්සුමක් හිත් පතුලට කාන්දු වෙද්දී මං ඇඳ පුරාම අතගාලා කොට්ටෙකට යට වෙලා උන්නු ජංගමයව ඇඳලා අරන් උගේ මූණ:තහඩුව දිහා බැලුවා..
හ්ම්.. ඒ ඔයාගෙන් කෙටි පණිවිඩයක්....

"තුංග උතුවන් කන්ද පාමුල
               කෝපි මල් අහුරක් තියා
මම්මලේ මට ඇහෙනවා බන්
               ඉකිබිඳින හඬ මේනකා "
වෙන මොකොවත්ම සටහන් නොකර මෙන්න මේ කවිය විතරක්ම ඔයා මට එවල තිබුණා..
"මේ මොකද්ද? "

"  ආ පිට ගත්තු ඇමතුමට ඔයාගේ පිළිතුරු ස්වරය එකා කෙළවරෙන් ඇහෙන්නත් කලියෙන්ම මං මගේ කුහුල පිරුණු  හිත වචන අහුරක අමුණලා එලියට තල්ලු කෙරුවා..

"මං තාම බස් එකේ නංගෝ ගෙදර එනකම් ඇබින්ඳක් ඉවසලා ඉන්නකෝ"

 නොරිස්සුම් ස්වරයක් ජීවිතේට තැවරුණු නැති ඔයාගේ කුළුණුබර හඬින් ඔයා මට උත්තර බැන්දා...

"ඒත් මට කුතුහලයයි"

"හරි ළමයෝ..කෝ පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ ඉතින්..මං ගෙදර ඇවිත් ස්කයිප් එන්නම්කෝ..හරිද? "
"අනේ.."
මම බොරුවට තොඳොල් උනා..
"ඉන්න තව ටික දුරයි.."
එහෙම කියපු ඔයා ජංගමයව විසන්ඳි කලා.

දන්නවද ඔයා ගෙදර එනකන්ම මම තුන් හතර ගමනකටත් වඩා ජංගමයාගේ මූණතහඩුව උඩ සටහන් වෙලා තිබිච්ච ඒ පද හතර කියෙව්වා.මේකයි කියල කියාගන්න නොතේරෙන්න මොකද්දෝ හේතුවක් නිසා ඒ පද හතර මගේ හිත අලවගත්තා..

" කෝ එන්න කෙල්ලේ ස්කයිප්"
ඒ කෙටි පණිවිඩයත් ඔයාගෙන්ම තමයි..
මං හනි හනිකට ලැප් ටොප් එක දිගහැර ගත්තේ අද ඔයාට කියවන්නමහ ගොඩාක් දේවල් තියෙනවා කියල ඉවෙන් වගේ දැනුණු හන්දා..

"තුංග උතුවන් කන්ද පාමුල
               කෝපි මල් අහුරක් තියා
මම්මලේ මට ඇහෙනවා බං
               ඉකිබිඳින හඬ මේනකා "

ඔය මගේ යාළුවෙක් ලියපු කවියක්...රුවන් බන්දුජීව .මේ ටිකේම දවල් රෑ නැතුව ඔය පද හතර මගේ ඔළු කට්ට අස්සේ හොල්මන් කරනවා නංගෝ.."
"හ්ම්..."
මම මොකොවත්ම නොදොඩා මන්දස්මිතියෙන් ඔයාට අනුබල දුන්නා.
"දන්නවද මම්මලේ මරික්කාර් තමා සරදියෙල්ගේ දකුණු අත."
එහෙම පටන් ගත්තු ඔයා ,
මමම්මලේ මරික්කාර් ගැන මම්මලේගේ නංගී මේනකා ගැන එතකොට මේනකාට සරදියෙල්ගේ පපුව අස්සේ උපන්න ආදරේ ගැන ආරච්ච්ගේ පුතාත් එක්ක දාගත්තු ගෝරිය කෙලවරකදී බයෙන් ගමෙන් පැනල ගිය සරදියෙල් ආයෙමත් ගම එද්දි මේනකා කාදර්ව බැඳලා පවුල් පන්සල් වෙලා උන්නු හැටි මේනකා කාදර්ට සින්න උනත් සරදියෙල්ගේ පපුවේ උපන්න ආදරේ පිටමං නූන හැටි මම්මලේ මේනකා සරදියෙල් ඔයාගේ පපුවට දැනෙන හැටි
මේ වගේ මහ ගොඩක් දේවල් එක දිගට කියෝගෙන ගියා..

තොර තෝංචියක් නැතුව ඔහේ කියවන මං හොඳ අසන්නියක් උනේ ඔයා ලඟදී විතරමයි.ඇත්තට ඔයා කියවපු එකම එක වචනයක්වත් මට කවදාකවත් එපා උනේවත් කම්මැලි උනේවත් නෑ..ඒ වචන අස්සේ ජීවිතේ තිබ්බා.වචන වලින් හිස් වෙච්ච හිත් පුරවන මොකද්දෝ රසයක් ඔයාගෙ වචන ඇතුලේ හැංඟිලා තිබුණා..

භගත් සිං ,බිස්මිල් ,පණ්ඩිත් රාම ප්‍රසාද් ,අසාද් ගැන ඉන්දීය නිදහස් සටන ගැන මහා ගොඩාක් අදහස් ඔයාගේ වචනත් එක්ක ඇමිණිලා එළියට වීසි උනා.
ඔයා කියවාපු හැම දෙයක්ම මගේ ඔළුව අස්සේ එක පිට එක දෝංකාර දෙද්දී මටත් හිතන්න මහ ගොඩාක් 
දේවල් හිත ඇතුළේ ශේෂ උනා..මං දන්නවා  ඔයා ඔය කියෝගෙන කියෝගෙන ගියේ මටම නෙවෙයි ඔයාටමයි කියලා.මෙච්චර දවසක් ඔයාගේ හිත අස්සේ හොල්මන් කරපු හිතිවිලි කියලා

භාශාව නුහුරු උනත් ඔයා කියාපු උර්ඳු පැඳි පෙළේ කාව්‍යයමය ගීතවත් බව මගේ පපුවටත් දැනුණා..

"සර්ෆ රෝෂී කී තමන්නා, අබ් හමාරේ දිල්මේ හේ
දේක්නා හේ සෝර් කිත්නා, බාසු ඒ කා තිල් මෙ හේන්"

භගත් සිං , බිස්මිල් ,අසාද් , රාම් ප්‍රසාද් විතරක් නෙවෙයි මම්මලේ එක්ක සරදියෙලුත් කොටු කරලා බැඳපු සිර කුටියක කෙලවරක ඔයාගේ සුළැඟිළි කොණක එල්ලිලා මමත් ඉන්නවා වගේ හැඟීමක් හිටි හැටියේම මගේ පපුවට දැනුණා.ඒක පපුව හිර කරන් නැගුණු මහ පුදුම උණුසුම් හිතිවිල්ලක්.

පරිගණක තිරය ඉස්සරහා ඇහි පිල්ලම ගහන ඔයාගේ ඔය ඇස් දෙකෙන් බිස්මිල් ගේ භගත් සිං ගේ අසාද් ගේ අව්‍යාජ ඡායාවන් ඇඳිලා හැංඟිලා යනවා මට පෙනුනා.ඒ විතරක් නෙවෙයි ඒ ඇස් අස්සේ  සරදියෙල්ගේ වගේම මම්මලේගේ ඡායවත් හැංඟිලා හිබුණ..මේනකා සරදියෙල්ගේ හිතේ උපන්න ලෙංගතුකම ඒ ආදරේ ඈ අහිමි වීමෙන් සරදියෙල්ගේ පපුවෙ ඇවිළුණු වියෝ ගින්දර සරදියෙල්ට තරමටම ඔයාටත් දැනුන වග මං දැනගෙන උන්නා.

ඔයා හරිම අපූරු මනුස්සයෙක්.මට හැමදාමත් හිතුණා.ඉවක් බවක් නැතුව ඔහේ රස්තියාදු වෙවී ජිවිතේ අහුකොන් හොයන්න දඟලන ඔයාගේ අහිකුණ්ටික ආත්මය දුෂ්ඨයෙක්ට වඩා වීරයෙක්ට නෑකම් කිවුවා.

"වීරයා හා දුෂ්ඨයා කියන්නේ සාපෙක්ෂ ඒ වහේම අන්‍යෝන්‍ය වශයෙන් බද්ධ උනු සංකල්ප දෙකක්.ඔවුනෙගේ පැවත්ම එකිනෙක මත රැඳිලා තියෙනවා..වීරයගේ වීරත්වය දුෂ්ඨයා නැසීමෙන් අවසන් වෙනවා..දුෂ්ටයෙක් නැති තැන තවදුරටත් වීරයෙකුට රැඳෙන්න බෑ..ඔහුට සටන් වදින්න අරමුණක් ශේෂ වෙන්නෙත් නෑ.."



ඔයා නිතරම වාගේ මගෙත් එක්ක ඔය වගේ දේවල් කියෙව්වා.කියවලා ඉවර කරන්න බැරි පොතක් වගේ කියන ජනප්‍රිය උපමාව ඔයාට හරියටම පෑහුණා.මං දිගින් දිගටම හිතිවිලි අතර පැටලෙද්දී අද ඉන්න කොයි තරුණයත් එහෙම නොවෙයිද කියලා මගේ හිත ප්‍රශ්න කලා.කෙනෙකුගේ ආත්මය පතුලෙන් ජීවිතයේ එකම එක වතාවක් හරි බිස්මිල් කෙනෙකුගේ සරදියල් කෙනෙක්ගේ භගත් සිං කෙනෙක්ගේ එහෙමත් නැත්නම් අසාද් කෙනෙක්ගේ ඡායවක් එබිකම් කරනවා කියලා මට හිතුණා.ජීවිතේ කෙලවරක් හොයන්න බැරි සංකීර්ණ අවශ්‍යතා වුවමනා තෘප්ත කරන්න දුවන නොනවතින තරඟයේ කලබලකාරී අහු අස්සේ එහෙන් මෙහෙම් එබිකම් කරලා  බලාපු ඒ ඡායාවල් මැකිලා යනවා.ඒ ඡායාවල් එළියට ඇදලා අරගෙන පොහොර දාලා පණ ගහලා වීරයෙක් රෝපණය කරන්න බොහෝමයක් ආත්ම වලට අවබෝධයක් නෑ, දැනෙන්නේ හැඟෙන්නේ නෑ.එහෙන් මෙහෙන් උපන්න වීරයාත් කාලයාගේ ඇවෑමෙන් දුෂ්ඨයෙක් වෙලා..

වීරයෝ ,දුෂ්ඨයෝ , ආදරවන්තයෝ එදා වගේම අදත් අපේ හිත් අස්සේ අරගල කෙරුවට කෑ මොර දුන්නට අපි ඔවුන් සමඟ කරන ගණුදෙණුව පුදුම තරමින් යාන්ත්‍රීකරණය වෙලා. හැඟීම් අසාමාන්‍ය තරමටම දේශපාලනීකරණය වෙලා.දුෂ්ඨයාගේ හා වීරයාගේ භූමිකාව උඩු යටිකුරු වෙලා.

පැටලෙන දඟල විපරීත සිතිවිලි මගේ හිත අස්සේ පොරකනවා.ඔයාගෙම ආත්මයේත් පතුලක අපූරු විප්ලවවාදියෙක් හැංඟිලා ඉන්නවා.පුහු සරුව පිත්තල කැටයම් දාගෙන අපි රැඩිකල් කියාගෙන  බෝඩ් ලෑලි උස්සගත්තු කාඩ්බෝඩ් වීර විප්ලවවාදියෙකුට වඩා ඔයාගේ පපුව අස්සේ නිද්‍රාගත වෙලා උන්නු සැබෑ විප්ලවවදියාගේ සුවඳ , මට බොහොම අපූරුවට දැනුණා.මා ආසයි ඌට හුස්ම පිඹලා පණ දෙන්න.ගාන්ධිට කස්තූර්බා වගේ ඔයාගෙ විප්ලවයටත් නිහඬ හෙවණල්ලක් වෙන්න.හිතට එකඟව සපත කරගත්තු එක පොදු අරමුණක් වෙනුවෙන් උණ්ඩයකට පපුව දෙන්න.උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිත පරිත්‍යායාගයේ  ප්‍රීතිමත් නිදහස අත්විඳින්න.

දොඩමළු වෙන හිතිවිලි ආගන්තුක උණුසුමකින් පපුව පුරෝනවා.සමහරවිට මේ මගේ ආත්මය පතුලේ හැංඟිලා උන්නු බිස්මිල්ගේ භගත් සිංගේ අසාද්ගෙ සරදියෙල්ගේ ආත්මයන්ගේ ඡායවන් එබිකම්කරපු දවසක්   වෙන්න ඇති..මේ ජීවිතයේ වීරයෙක්ට පණ දෙන්න ,විප්ලවවාදියෙක්    අවදි කරන්න ලැබුණු එකම සහ අවසාන අවස්ථාවත් වෙන්න ඇති.
ඒත්.......
එක් අන්තයක ඇසිල්ලකට පපුව පුරවාපු උණුසුම් විප්ලවාදී උතුම් සිතිවිල්ලත් තවත් අන්තයක මේ වෙනතෙක්ම මා ගෙවා දැමූ මගේම ජීවිතයත් අතර හැරුම් ලක්ෂයකදී ඒ මේ අත දෝලනය වෙච්ච චංචල මගේ හිත ඔයාගේ හඬින් විසිරිලා ගියා.

"සුදු නංගෝ ගොඩාක් රෑ වුණා නේද? අපි නිදා ගමු " 

Friday, November 8, 2013

නියතය

හඬමි
හිනැහෙමි
වෙළෙමි
දැවටෙමි
නුඹේ උරමත
සුසුම් බර දෙමි
නුඹේ පපුතුර
නිවී සැනහී
යළි උපන්නෙමි
නුඹ නිසාවෙන්
නුඹ මගේමය
මා නුඹේමය
ගැහෙන හද
නවතින තුරාවට
අපි අපේමය
මතින් මතුවද
නියතයකි එය
නොම වෙනස් වන 

Thursday, November 7, 2013

මට මමම වෙන්න ඉඩ හරින්න


මගේ නෙතින් ලොව දකින්න
මගේ හිතින් මට හිතන්න
මගෙ මුවින් මට දොඩන්න
මට මමම වෙන්න ඉඩ හරින්න

මගේ සිහින මට දකින්න
මගේ පැතුම් මට පතන්න
මගෙ හිතුවිලි අකුරු කරන්
කැමති තැනක දිග හරින්න

කඳුල සුසුම සොම්නස දුක
මගේ පිළිවෙලට විඳින්න
අහිතක් නොහිතා මං ගැන
මට මමම වෙන්න ඉඩ හරින්න

මගේ ලෝකෙන් මා මුදන්න
ඉදහිට එබිකම් කලාම
මහ ගොඩකට ටිකක් වැඩිය
මට රිදෙනවා දන්නවාද?