Showing posts with label .....පියානෝවී...... Show all posts
Showing posts with label .....පියානෝවී...... Show all posts

Friday, August 9, 2013

පියානෝවී (තෙවැනි දිගහැරුම )

625425_547819538618056_1027541937_n.jpg


සීතල වැඩි නිසාම මට මහ පාන්දරින්ම ඇහැරුණා.ඇහැරුණා කිවුවට රැය පුරාම වරු ගණන් ඇඳේ එහාට මෙහාට පෙරලුණා මිසක නින්දක් නම් ඇස් අහලකටවත් කිට්ටු උනේ නෑ...පාන්දර ජාමේ යාන්තමට වගේ ඇහැ පියවේගෙන ගියත් කොඳු ඇට පෙළ පසාරු කරන් ඇදුණු නුහුරු සීතලක්  ආපහු මගේ නින්ද මංකොල්ලකාලා තිබුනා.

හ්ම්.. සීතල නොවී තියේවිද?

රෑ නින්දේදී පා පහරවල් ඉවසගන්න බැරුව මාව අතෑරලා දමලා ගිහින් ඇඳ පාමුල එල්ලිලා දිවි නහගන්න දඟලන පොරෝනාව ඇඳලා අරන් ඇඟට දමා ගන්න ගමන් මම මටම මුමුණගත්තා...

ඊයේ රෝස මාර ගහ ගාව බංකුව ලඟ ඉඳන් මට අතවනලා කලවම් කෙල්ල ඈතට ඇඳිලා ගියත් මේ වෙනකන්ම හෙල්ලෙන්නෙවත් නැතුව හිත අස්සේ හොල්මන් කරනවා..

අනේ ඇත්තට එක බිංදුවක්වත් එහාට මෙහාට වෙන්නේ නැති හැටියක්.රෑ එළි වෙනකන්ම නින්ද ගියෙත් නෑ මේ පිස්සු කෝච්චිය හන්දා.හිනා වෙනවා , ඔරවනවා ආයේ හොරෙන් බලනවා හැරිලා බලනවා ..එක විකාරයයි..කෝ ඔච්චර ඉඳලත් තවමත් ඇති වෙලා නෑනේ..දැන් ඇස් වහගෙන මදිවට ඇස් ඇරගෙනත් හීන පේන්න පටන් අරගෙනද කොහෙද.හපෝයි....ඒ පාර දොර මුල්ලෙනුත් එබිලා බලලා මාත් එක්ක ඔලොක්කුවට හිනා වෙනවා.මේ කෙල්ල නම්....

අනේ අම්මපා...හීනේකට උනත් මෙච්චරටම පෙනිලා හති වැටෙන්නේ නැද්ද මන්දා..කොච්චර බලාන හිටියත් මේ ඇස් ගෙඩි දෙකටත් ඇති වෙන්නේ නෑනේ ඇත්තට.ඇස් ගෙඩි දෙකටනම් මොකද පොට්ට වෙනකම් හරි බලියගෙන ඉඳීවි මේ අඟර දාන කලවම් කෝච්චිය දිහාවේම...

"අනේ අනේ කසුපයෝ..තොටත් වෙච්ච හරියක් හැබෑවට..කොහේවත් ඉඳන් ආපු කෙල්ලෙක් වචන දහයක් කතා කොරලා යන්න ගියා..හැබැයි උඹ නම් තාමත් ඒකිව ගම්මාලු ගුලියක් වගේ හිතේ අලෝගෙන ඉන්නවා"

මං කණනාඩිය අස්සට රිංගගෙන මං දිහා බලාන උන්නු මගෙන්ම ඇහුවා.

ඇත්තට ඊයේ දවසේම ලෙක්චර්ස් වෙල උන්නත් ඇස් දෙක නිනව්වක් නැතුව හෙව්වේම නොරිකෝව..ඒත් එකම එක වතාවක්වත් මගේ ඇස් මානෙට ආවේ නෑනේ..හවස එද්දිත් මම ගඟ අද්දර රෝස මාර ගහ යට බංකුව ගාව නැවතිල්ලේ උන්නේ තව පාරක් නොරිකෝව දැක ගන්න ආසවක් හිත් කෙලෝරක අලවගෙන..අන්තිමට බංකුව තට්ට තනියම උන්නු මට තනි රැක්කා මිසක නොරිකෝගේ හෙවණැල්ලක් තරම්ම්වත් ගං දියට වැටුණේ නෑ..

මං පොරෝනාවේ සුරුට්ටුවක් වගේ එතිලා ජනේලේ අයිනට ගියා.හෙමීට විවර කරපු ජනෙල් පළුව අස්සෙන් පොරකාගෙන ආපු හීල් හුළං රැල්ලක් මගේ මූණතහඩුවේ හැපීගෙන කාමරේ අස්සට රිංග ගත්තා..

අනේ හැබෑට මට මේ මොනවා වේගෙනද එන්නේ...උපන්තේකට කිසිම ගෑණු පරානයක් නිසා හෙල්ලිච්ච නැති මගේ මේ හිත් පොඩ්ඩ අස්සේ හැම අස්සක් මුල්ලක් නෑරම දැන් නොරිකෝ හොල්මං කරන්න පටන් අරන්..ඒත් ඇයි?.... මොකද්ද මාව මෙච්චරම අලවගන්න තරම් ඒ කලවම් කෙල්ලගේ තිබ්බ අමුත්ත?අනේ මන්දා මෙච්චර කාලෙකට කිසිම ගෑණු දැරිවියෙක් මාත් එක්ක සැහැල්ලුවෙන් හිනාවෙලා කතා නොකරපු හන්දා හිතට අමුතු නුහුරක් දැනෙනවා වෙන්න ඇති..ඒ කෝඩුකාර හිතුවිල්ලටනේ මාත් මේ කෙන්ද කන්ද කරගෙන ඒකත් විසිපස් ගුණයකින් විතර වැඩි කරලා ඒකෙත් දහවෙනි බලය විතර හොයාගෙන දඟලන්නේ..මෙහෙම මේ හිත අතෑරියොත් නම් අනන්තෙට යනකම්වත් අල්ලනවා බොරු.පස්ස පැත්තට පයින් දෙකක් දීලා කණෙන් ඇදලා ගැට ගහලාවත් තියා ගන්න ඕන මුගේ ඇට්ටරකම ඩිංගිත්තක් අඩුවෙලා යන්න. 

"කසුප..පරක්කුයි..එන්න කෑම කන්න"

දොරටත් තට්ටුවක් දාන ගමන් අප්පච්චි එහෙම කියන හඬ මහේ හිතුවිල කන්ද එහෙම් පිටින්ම බිමට සමතලා කලා.

"හරි අප්පච්චි මම විනාඩි පහෙන් පහළට එන්නම්"

හප්පද බොල..කිරි අප්පට බල්ලො පැනලා පූසොත් කාපි කිවුවලු.විනාඩි පහෙන් එන්නම් කිවුවට මොකද මම තවම දත කට මැදගෙනවත් නෑ..මං  ඩබල් එකේ සිං සිං ගාල නාන කාමරේට රිංගුවා..අප්පොච්චියේ මට තිබ්බ තදියමට තව පොඩ්ඩෙන් ලිස්සලා වැටිලා සිරි සඟබෝ වෙනවා..

සින්ක් එක උඩින් බිත්තියේ එල්ලිලා උන්නු කන්ණාඩියේ මූණ පේන්නේවත් නැති තරමටම මීදුම බැඳිලා..මං දබර ඇඟිළි තුඩින් කන්ණාඩි මුහුණතේ නොරිකෝ කියල ලිවුවා..

"ඒ පාර ආයේමත් විළිස්සගෙන බලාන ඉන්නවා"

කන්නඩි මුහුණතේ බැඳිච්ච මීදුම් පටලේ පිටිපස්සේ වැහිලා හැංඟිලා හිටපු කසුපයා අමාරුවෙන් එහෙන් මෙහෙන් ඔළුව දාල ආඩපාලි කියන්න පටන් ගත්තා..මම ඌව හේදිලාම යන්න දෝත පුරෝලා වතුර පාරක් ගැහුවා..හ්ම්.. ඌත් එක්කම නොරිකෝවත් හේදිලා ගියා...

මම දනි පනි ගාල ඇඳගෙන කරගෙන පහළට දිව්වා..දනි පනි කිවුවට මොකද සෑහෙන වෙලාවක් ගිහිල්ලා වගේ. අප්පච්චි කාල බීලා යන්නත් ගිහින්.

මම සීතල වෙලා තිබ්බ කෝපි එක උගුරට දෙකට ගිල දාන ගමන් ජෑම් බටර් මොකොවත්ම නැතුව වාටි කඩලා දාල නිකන්ම නිකන් සුදු පාන් මද දෙකක් කටට ඔබාගෙන පාරට බැස්සා.

හොඳටෝම පරක්කු වෙල හන්දා හනි හනිකට දිවුව මගේ ගොන් මොලේට උදේ වරුවේ ලෙක්චර්ස් නෑ කියන එක මතක් උනේ ගෙදර ගේට්ටුවත් පහු කරගෙන සෑහෙන්න දුරක් ගියාට පස්සෙයි..අපරාදේ නිවි හැනහිල්ලේ බඩට මොනාහරි දාගෙන එන්න තිබ්බ..දැන් ඉතින් මොනා කරන්නද.මං හැටට හැටේ පාගලා ගියපු ස්පීඩ් එක පොඩ්ඩක් බාල කරලා රෝස මාර මල් පෙති වියනේ හැඩ බැලුවා..වට පිටාව වෙනදා වගේම ලස්සන උනත් මට ඒ ලස්සන අස්සේ අමුතු පාළුවක් කාන්සියක් හැංඟිලා තියෙනවා වගෙ දැනුනා..

මං බොහෝම ඈලි මෑලි සෝමාරි ගමනින් වාසිටිය පැත්තට ඇඳුනා.ගඟ අද්දර රෝස මාර මල් ගහ යට ලී බංකුව පහු කරද්දී මටත් හොරාට ඉබේටම වාගේ මගේ ඇස් ඒ ඉස්සව්වේ පැටලෙන්න දැඟලුවත් බංකුව අදත් තනියම මඟ බලාන ඉන්න හැටි දැකලා මගේ හිත ඉහිරුණා..
මං මගේ ඇස්දෙක බිමට අලවගෙනම වාසිටියේ පඩිපෙළ නැග්ගා..

කසුප ඕප්පා..ගුඩ් මෝර්නින්"

ලතාවක ඇඳිලා පැඳිලා ඇහිච්ච ඒ වචන තුන හතර අද්දර මං ඉද්ද ගැහුවා වගේ නැවතුණා.
පුංචි කෙල්ලෙක් වගේ කූරු කොන්ඩේ කරල් දෙකක් වෙන්න ගොතාන පඩිපෙළ මුදුනේ එරමිණියා ගොතාන ඉඳගෙන දෙකපොල්  දෑත්   අතරේ හිර කරන් හිනා වෙවී මා දිහාම බලාන උන්නේ කිම් නූරි නොරිකෝ වර්ණාසි කියන කලවම් කෙලි පොඩිත්තයි..

Saturday, July 27, 2013

.....පියානෝවී.......(දෙවැනි දිගහැරුම..)

Posted Image

වැහි පොද නොවැටුණත් අහස බර කරගත්තු හීන් මන්දාරමක් දිගන්තේම පැතිරිලා ගිහිල්ලා.රාත්‍රිය පුරාවටම කඩා හැලුණු වරුසාවෙන් ශේෂ වුනු පිනි මුතු කැට පිසගෙන හමන් ආපු තෙත් හුළඟ කමිස කර අතරින් පපුව අස්සට රිංගගත්තේ මුලු සර්වාංගෙම හී ගඩු නංවමින්. මම ඝණ ලොම් කබායේ බොත්තම් කර මුලටම පියවා ගන්න ගමන්ම ඇඟිලි ටික පතුලේ ගෑවෙන තරමටම සක්කු අස්සට අත් දෙක ඔබා ගත්තේ නුහුරු හීතලෙන් බේරෙන්න හිතාගෙනයි.

හතර අතට අතු ඉති විහිද ගත්තු නමක් නොදන්නා මහ දැවැන්ත රුක් කදන් පේළියක් මැදිනුයි යුනි එකට යන්න පාර වැටිලා තිබුණේ.දළු කොල නොපෙනෙනා තරමටම ගහේ අතු ඉති වහගත්තු මේ නිර්නාමික මල් ගහේ පෙති හරි අපූරු ලා රෝස පාට පාවඩයකින් මුළු මාවතම හැඩ කරලා තිබුණා.මට ඉස්සර අපේ පන්තිය ඉස්සරහා මල් පුරෝගෙන සීරුවට උන්නු ඇහැළ ගස් පේලිය මතක් උනා..ඇහැළ ගස් පේළියත් අපේ පන්තිය ඉස්සරහින් වැටිච්ච තාර පාර දිගටම එකම එක දවසක්වත් වරද්දන්නේ නැතුව කහම කහ පාටින් කෝළම් රටා අඳිනවා.

නමක් නොදන්නවා උනාට මේ ලා රොස පාටට පාර පුරාවට විසිරිලා තිබිච්ච මල් පෙති පාගන්න මට මහ පුදුම තරමේ ලෝබකමක් හිතුනා..

විහඟයා හිටියනම් ආයෙ දෙකක් නෑ කියනවා " උඹට තියෙන්නේ නම මහම මහ ගෑණු හිතක් බං: කියලා..
ඉස්සර ඇහැළ මල් පෙති පාගන්න ලෝබයි කිය කිය මං ගස් ගෙම්බෙක් වගේ එහාට මෙහාට පැන් පැන ඇවිදිද්දී විහඟයා හැමදාමත් මට කිවුවේ ඔය කතාවම තමයි..

"සොබා දහමේ ලස්සන දකින්න ,විඳින්න ,ආදරේ කරන්න පුළුවන් ගෑණු හිතකට විතරක්ම නම් අනිවා ඩෙෆා උඹ හරි ඇති මචෝ..ඒත් යකෝ ඔය ඉන්න තරමක් පරිසර වෙදියෝ ඔක්කොම ගෑණු නෙවෙයිනේ බං..
මං හිනා වෙවී එහෙම කියද්දී විහඟය උගේ තඩි සපත්තුවේ අඩියට කහ මල් පෙති අහුරු අහුරු පිටින් පාගලා දැම්මේ මගේ මල ජනිත කරන්න හිතාගෙන වෙන්න ඇති..

"උඹලා අම්මා උඹට කුරුල්ලෙක් කියලා නම දැම්මට රජෝ උඹන නම් ගහකට වැලකට සතෙකුට මෙලෝ ප්‍රේමයක් තියන එකෙක් නම් නෙවෙයි.උඹට දාන්න තිබ්බේ විහඟ නෙවෙයි දෙව්දත්තර අජාසත්ත වගේ නමක්."

" අඩෝ මේ කසුපයා.., තොට බුදු කෙනෙක්ගේ නමක් තිබ්බා කියලා මෙතන බණ දෙසන්න තියාගන්නෙ නැතුව වැඩක් බලාගෙන පල ඩෝ යන්ඩ..තොට ඔච්චරම මහා කරුණාව පහල වෙලා නම් අර පහළ කැන්ටිමෙන් මෙගේ බඩ ඇතුලේ බල්ටි ගගහා සර්කස් පෙන්නන පණු නැන්දිලා මාමිලාට කිඹුලෙක් ප්ලේන්ටීයක් අරන් දීපිය..අනේ උඹයි උඹේ අසතු රුක් ප්‍රේමයයි."
"යකෝ ඇසතු කියන්නේ ඇහැළ ගහට නෙවෙයි හරකෝ..බෝ ගහට..මෙන්න මෙහේ වර තොගෙ බඩ පණුවොන්ට දොළ පිදේනිය පුදන්න..
මං පර්ස් එක ඇරගෙන අය වැය පිරික්සන ගමන් කැන්ටිම පැත්තට ඇදුනා...


හිතක් පපුවක් නැති අපාය සහයකයා කිය කිය කසුපයාට කොච්චර බැන අඬගැහුවත් මං කටුණායකින් එන දවසේ මහා හයියෙන් මාව බදාගෙන ඇඬුවෙත් මගේ ගෑණු හිතට විහිළු කර කර උගේ අප්‍රතිහත පුරුෂ ධෛර්ය ගැන මහා ලොකුවට පුරාජේරු දොඩවන විහඟයාම තමයි.මොනා උනත් අවුරුදු දොලහටම මගේ රූමා උනෙත් සහෝදරයා උනෙත් බඩ බැඳ ගත්තු කල්‍යාණ මිත්‍ර රත්නය උනෙත් විහඟයා විතරමයි.

..................................................................................................................................................................

ගඟක් අද්දර තිබ්බ යුනි එක වටේටම ගඟට මූණ දාලා මහා විසාල ගස් හෙවණ කරගෙන ලී බංකු හදලා තිබුණා.නගරෙන් ටිකක් ඈතට වෙන්න නිස්කලංක වටපිටාවක ගොඩනැගිච්ච යුනි එක නෙතට ගැටුණු පළමු ඇසිල්ලේම හිතට ඇති කලේ ලොකු පැහැදීමක්..ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් උනත් ඒ සඳහා ප්‍රවේශ හිමිකම ලැබුණේ නම් බොහොම අතලොස්සකටයි.ප්‍රවේශය සඳහා ලොකු තරඟයක් තියන තැනකට අප්පච්චී මුල් පුටුවේ හිඳීමේ වරප්‍රසාදයෙන් ඇතුල් වෙන්න ලැබුණත් මං හන්දා දක්ෂයෙකුට මං ඇහිරුණාදෝයි මගේ හිතේ මෝදු උනු පශ්චාත්තාපය හිත් කොණක ලොකු සන්තාපයක් ශේෂ කලා....
උස උල් උළු වහලවල් ,දිග පඩිපේළි තිබිච්ච පරණ තාලේ මෝස්තරේට හැදිච්ච වාසිටිය පුරාණ චීන පන්සලක් වගේ.ගෘහ නිරමාණ ශිල්පය හෝ වාස්තු විද්‍යාව ගැන මගේ දැනුම බිංදුවෙනුත් සෑහෙන පහල තිබුණත් ඒ බිත්ති පියස් මට චීන ජපන් ච්ත්‍රපටි වල තිබ්බ ආරාම පන්සල් මතකෙට ගෙනාවා..


සිසු පිරිස සීමිත හන්දමද කොහෙද මහා ලොකු කලබගෑනියක් වාසිටිය ඇතුලේ තිබුණේ නෑ.හැබැයි නා නා විද සංගීත සර හතර අන්තෙටම පාවෙලා ගියා.නිස්කලංක වටපිටාවත් හතර අතින් ඇහෙන වැයෙන සත්සර රාවයත් කුළුඳුලේම ඒ බිමට පය තියන ඕනෑම පිටස්තරයෙකුගේ හිත නිවන නෙතු සනහන දසුනක් උනා.එහෙව් අඩවියකට සරසවියගේ ඇල්ම බැල්ම නොවැටුණානම් ඒක මහම මහා ආශ්චර්යයක්....


මං කලිසම් සාක්කු දෙකේ දෑත් ඔබාගෙන කුසීත ගමනින් සරසවියේ සිරි අසිරි වින්දා..රූස්ස ලා රෝස මල් ගහක ආරුක්කු හැඩේකට නැවිච්ච අත්තක් පහලට ගලාන යන ගං දියට මල් පෙති ඉහිරවනවා..මං හෙමි හෙමීට ඒ පැත්තට ඇවිදගෙන ගියා.."රෝස මාර"....නමක් නොදන්න රූස්ස මල් ගහට මම මගේ මනාපෙට නමක් දුන්නා...
ගඟ අද්දරට වෙන්න හදලා තිබ්බ දිග ලී බංකුවේ කෙලවරකට වෙන්න ඉඳගත්තු මං ගං දිය දිගේ රෝස මාර මල් පෙති පාවී පාවී ඈතට ඇදෙනවා බලාන උන්නා..ඝණ සැරේට ගලාන යන දිය කඳ දිගේ කැරකි කැරකි පාවෙලා ගියපු මල් පෙති නෙත් මානෙන් ගිලිහිලා යනතුරුම ඔහේ බලා උන්නු මගෙ දැහැන ඇහෙන නෑහෙන නුහුරු ගැහැණු හඬකින් විසිරිලා ගියා.

"අන්යෝ"
බංකුවේ අනිත් කෙළවරටම වෙන්න වාඩි වෙලා උන්නු නාරි රුවක් ගෙල ඇල කරලා සුන්දර හිනා මල් පොකුරකින් මට දමලා ගැහුවා..හීන් දිගටි නෙත් යුවලත් ,කූරු දිගු වරලසත් ,රෝස කොපුලත් මට ජපන් බෝනික්කියෙක්ව සිහිපත් කළා..

"අන්යෝ"
"ජොනුන්..නොරිකෝ ඉම්නිදා..."
"ඉරමි මොයෙයෝ....."

නුහුරු බසකින් මොනවදෝ කියෝගෙන කියෝගෙන යන අගේ මුව දෙස ඇස් ඉහේ තබාගෙන බලා උන්නා අරුණුකොට ඇය කියූ මෙලෝ මලදානයක්වත් මගේ ඔලුගෙඩියට නම් වැටහුනේ නෑ..

"මේ මොන මරාලයක්ද?" මට ඉබේටම කියවුණා...

ඕ අයි ඈම් සොරි......අයි......

මට වාක්‍ය සම්පූර්ණ කරන්නවත් අගෙන් ඉඩක් නොවුණි.

"මම මරාලයක්වත් පරාලයක්වත් නෙවෙයි"අඩවන් නෙත් පියවෙන තරමටම අඩවන් වෙද්දී කොපුල් රතු වෙද්දී මට දබර ඇඟිල්ලත් උරුක් කරන ගමන් හොඳ පැහැදිලි උච්චාරනයෙන් මේ නොදන්න රටේ තරුණියක් සිංහල කතා කරද්දී මගේ ඇස් ගෙඩි දෙක නළලට නොවෙයි ඉස් මුදුනටම ගිහින් කණ් දෙකෙන් දුම් පිටවෙන්න ගත්තා..


"හත්වලාමයි මේ කෙල්ලට මං කියපු එක තේරුණා විතරක් නම් මදෑ යස අපූරුවට සිංහලෙන් උත්තර දෙනවත් එක්ක..සිංහල පාටක්වත් ගෑවිච්ච නැති කෙල්ලෙක් ඉපදිච්ච දා ඉදන් ලංකාවෙ වගේ කියවන්නේ කෝමද?"
මගේ යටි හිත උඩු හිතට ප්‍රශ්න පිට ප්‍රශ්න කොඳුරන්න පටන් ගත්තා.
"අනේ සමාවෙන්න ..මට වැරදිලා කියවුණේ..කියපු මුකුත්ම තේරුනේ නැති හන්දා.."
මං පුළුවන්තරම් විනීතව සුනීත සෝපාක බැගෑපත් බැල්මට මෝඩපහේ හිනාවකුත් එකතු කරලා සමාව භාජනයේ දමා වසනු මැනවි කියන්න සෙට් උනා.

"හ්ම්..ලංකාවේ නේද..?නම මොකක්ද..?"

"අහ්.... මම කසුප්..."

"කසුප් විතරමද? අග මුල මැද කෑලි නැද්ද?ඔහොමද නාඳුනන කෙනෙක් තමුන්ගේ නම ඇහුවම අඳුන්වලා දෙන්නේ...?

කෙල්ල කියාගෙන කියාගෙන කියාගෙනම යනවා..මලලසේකරටම ඔප්පුවෙච්චාවේ කිවුවලු..මං මේ බබා වෙන්න හදනවා නෙවෙයි..ඒත් පිරිමි ඉස්කෝලෙකට ගිහිල්ලා පන්තියේ පාඩුවේ සයිඩ් ගහන් ඉඳලා කෙල්ලෙක් එක්ක තියා විහඟයා ඇරෙන්න කොල්ලො හතර පස්දෙනෙක්වත් ආශ්‍රය නොකරපු මට තනි පංගලමේ කෙල්ලෙක් අතඩංගුවට අරන් මේ වගේ ප්‍රශ්න කරද්දී හීන් දාඩිය දාල එලොව පොල් විතරක් නෙවෙයි පුවක් එහෙමත් පේන්න පටන් ගත්තා..හපොඉයි දැන් නම් ජපන් බෝනික්කි වයින් කරලා අතෑරියා වගෙයි..මං ෆුල් ගට අරන් කට ඇරියා..

"අහ් සොරි...මං කසුප සිලිලාර සේනානායක..."

"ආ... ප්‍රොෆෙසර් සේනානායකගේ කවුරුහරිද...?"

"ඔව් ඒ මගේ අප්පච්චි..ම්ම් එතකොට ඔයා..?"

"අහ් මම කිම් නූරි නොරිකෝ වර්ණාසි.."

"වර්ණාසි..? ඒක නිකං අන්නාසි සන්නාසි වගේනේ.."

හිතුවිල්ල උපන් පමාවට ඒ ටික කිවුවේ මෙච්චර වෙලා ඇඹරී ඇඹරී උන්න කසුපයාමද කියලා හිතන පරක්කුවටත් කලින්ම වචන ටික කටින් දොට්ට පැන්නා..දැන් ඉතින අපහු ගිලින්නයැ....

"ඔව් ඉතින් කසුප් කියන නමේ කයන්න කැපුවොත් නිකන්ම නිකන් සුප් වගේ තමා"

නොරිකෝත් ගේම අතෑරියේ නැති හන්දා මම ශේප් එකේ සුදු කොඩි ඉස්සුවා..

"හ්ම්...දැන් ඔයාගේ නමේ භාෂා කීයක විතර නම් තියනවද?එතකොට..ඔයා ජපන්ද...?අර ඔයා මට කලින් කතා කරලා කියවගෙන කියවගෙන ගියේ මොනාද..?ඔයා කෝමද මෙච්චරටම හොඳට සිංහල කතා කරන්නේ..?"

වෙච්ච නෝන්ඩියෙන් ගැලවෙන්නත් එක්කම මාත් කෙල්ලට ප්‍රශ්න පත්තරයකින්ම දමලා ගැහුවා..මගේ අර සබකෝලෙද මොකද්ද එක ගඟට වැටිලා ගහගෙන ගිහිල්ලද කොහෙද..කිඹුලෙක්වත් ගිල්ලද දන්නේ නෑ..


"අම්මෝ..ඒ හැර මේ හැර තවත් ප්‍රශ්න තිබේද..?අඹ පැනය නෑ පැනය එහෙම තව ඇහුවෙත් නෑ නේද..?"

හුටා පටෝරියා..අම්මට සිරි කිවුවලු...මේ ජපන් බෝනික්කි දැන් අඹ පැන නෑ පැන ගැනත් අහන්න පටන් අරන්...

" ඕන්න ඉස්සෙලාම කිවුවා මම ජපන් නම් නෙවෙයි.."
"කිම් කියන්නේ මගේ වාසගම..නූරි කියන්නේ මට තාත්තා දාපු නම"..
"එතකොට ඔය දෙකමයි මගේ තාත්තයි කියන තුනම කොරියාවේ..."
"නොරිකෝ වර්ණාසි කියන්නේ මගේ අම්මා දාපු කෑල්ලක්ලු..නොරිකෝ කියන ජපන් නමටයි වර්ණාසි කියන සිංහල නමටයි අම්මා ගොඩක් ආසා කලාලු.."
"මගේ අම්මා ලංකාවෙ සුද්ද සිංහල,,ඒකයි මට මෙච්චර හොඳට සිංහල පුළුවන්.."
"එතකොට මං කියන්නේ ලංකාවටත් කොරියාවතත් ජපානෙටත් නැති කලවමියක්.."

හ්ම්.. නොරිකෝ එක හුස්මට දිග හෑල්ලක් කියගෙන කියාගෙන ගියා..

"හ්ම්.. නෑ අපි මෙහෙම කියමු...කොරියාවත් ජපානෙත් ලංකාවත් අතරමැද ඉන්න අති විශේෂ පිස්සු මරාලයක්...කල්වමීට වඩා පිස්සු මරාලෙ හොඳයි මං හිතන්නේ.."

මං එහෙම කියද්දී නොරිකෝ එයාගේ පුංචි ඇස් තවත් පුංචි කරලා ලස්සනට හිනා උනා...අතෝරක් නැතුව ඔහෙ කියවන මේ නාඳුනන කෙල්ල එක්ක හරි හරියට දොඩමළු වෙන මං ගැන මටම පුදුම හිතුනා..මේ නොදන්න භූමියට පය තිබ්බට පස්සේ කුළුඳුලේම මාත් එක්ක දොඩමළු වෙච්ච මේ කලවම් කෙල්ල හරි ඉක්මනටම මාහ් එක්ක මිතුරු උනේ මටත් මගේ හිතටත් හාංකවිසියක්වත් නොදැනීමයි...

Monday, July 15, 2013

.....පියානෝවී.....

පාන්දරම ගැබ්බර වෙච්ච ආකාහෙන් හෙමි හෙමීට මල් වැහි ඇද හැලෙන්න පටන් අරන්. ලාවට ගලාන යන හීන් මීදුමත් එක්ක චුරු චුරු ගගා කාඩගෙන වැටෙන තෙතබරියම් වැස්සට මං කවදත් ආසයි.මං හීතලට ගල් ගැහිච්ච ජනෙල් පළුවට කම්මුල තද කරගෙන ඈත කන්දෙන් එහා හීනියට පාට වෙච්ච දේදුන්නේ හැඩ බැලුවා.පේළියට ඇදිච්ච පාට රේඛා තෙතබරියම් වළකුළු උඩ හරි අපූරුවට පාට තවරලා රටා ඇඳලා තිබ්බා.

පැය කීපයක දීර්ඝ ගුවන් ගමන තෙහෙට්ටුවටත් වඩා මාව ප්‍රබොධමත් කළා.ගත වෙලා ගියපු පැය කීපය මට බලන්න , විඳින්න වගේම හිතන්න දේවල් බොහෝමයකුත් ඔලුව අස්සට පුරවල දාලා නොදැනීම ගෙවිලා ගියා.අවුරුදු දොලහක්ම හුදෙකලාව ගෙවිලා ගියපු පාළු ජීවිතෙට විරාමයක් තියලා මේ ලොකේ ඉන්න සමීපතම මගේම කියන්න පුළුවන් එකම එක ප්‍රාණියා එක්ක අළුතෙන් ආයෙමත් ජීවිතේ පටන් ගන්න මුළු හිතින්ම එකලස් වෙලයි මං කටුනායකින් පිටත් වෙලා ආවේ.මේ දවස උදා වෙනකම් මහා දෙගිඩියාවක් හිත අස්සේ පුරෝගෙන මං මගේ ජීවිත කාලෙන් භාගෙකටත් වඩා මඟ බලාන උන්නා.


හද්දා වැහි වහින මූසල හැන්දෑ වරුවක කළු පාට ලොකු කුඩයක් යට ගල් ගැහිලා අම්මාගේ සොහොන් කොත දිහා බලාන උන්නු ඇල්මැරුණු හිස් සීතල ඇස් දෙක තමයි අප්පච්චි ගැන මගේ හිතේ ඇඳිලා ශේෂ වෙලා තිබුණු අවසාන මතකය.ඒ මගේ අටවෙනි උපන්දිනේ දවසේ... එදායින් පස්සේ මගේ ජීවිතෙට ආපහු නොයෙක් දින උදා උනත් ඒ දින අස්සේ උපන් දිනයක් කියලා දිනයක් කොතනකවත් ඉතුරු වෙලා තිබුණේ නෑ..


ඒ මහා අසනිපාත වැහි කළුව අස්සේම අප්පච්චිත් බොඳ වෙලා ගිහින් තිබ්බා.හැමදේම අතෑරල දාලා , තමුන්ගේම ලෙයින් ජනිත කළ මාව පවා මේ මහ පොළොව උඩ තනිකරලා දාලා අප්පච්චි කොහේදෝ තිබුණු දුරු ඈත රටක හැංගිලා ගියා. අප්පච්චිව මේ පොළොව උඩට ඇදගෙන බැඳගෙන තියා ගත්තු එකම බැඳීම අම්මා.. ඉදින් ඒ බැම්ම කඩා බිඳ දාලා අම්මා නේන ගමනක් ගියාම හිස් වෙච්ච අප්පච්චිගේ හිතටත් මේ මහ පොළොව උඩ පැලපදියම් වෙන්න තරම් එකලාසයක් තියෙන්න නැතුව ඇති.


මං අවුරුදු අටේ ඉදන් බෝඩිං පාසලක නිත්‍ය සාමාජිකයෙක් වුනා.අම්මගේ අප්පච්චිගේ උණුහුම අහිමි වෙලා සීතල බෝඩිං කාමරේක කට්ට කළුවරේ තනි වෙලා ජනේලයට එපිටින් හෙලවෙන අතු කොළ ඉති වල හෙවණැලි වලට පවා බිරන්තට්ටු වෙලා දත කට පූටු කරන් ඇහි පියන් තද කරගෙන කොට්ටේ බදන් නිදා ගන්න වලි කාපු පළවෙනිම දවසේවත් මාව මෙහෙම තනි කරලා දාලා ඈත ගියපු අප්පච්චි ගැන මගේ හිත් කොණකවත් තරහක් උපන්නේ නෑ.


මට අම්මා අප්පච්චී හැරුණු කොට මේ ලොකේ මගේ කියන්න කිසිම ඥාතියෙක් දැනගෙන උන්නේ නෑ.එහෙම කෙනෙක් කවම කවදාකවත් අපේ ගෙදරට ගොඩවැදිලා තිබුනෙත් නෑ.


"සුදු අප්පච්චියෝ ,සූට්ටං පුතුට නෑදෑයෝ නැද්ද? නෑදෑයෝ කෝ?.... "


මං හෝඩියේ පන්තියේ දී නෑදෑයෝ ඇඳලා පාට කරන් එන්න ගෙදර වැඩ දීපු දවසක අප්පච්චීගේ ඔඩොක්කුවට වෙලා තොඳොල් වෙවී හුරතල් වෙද්දී අහපු ඔය ප්‍රශ්නේ තමා නෑදෑයෙක් ගැන මං අප්පච්චිගෙන් ප්‍රශ්න කරපු පලවෙනි සහ අවසාන වතාව.


"මගේ සූට්ටං සත්තලන් පුතු පැටියට සුදු අප්පච්චියයි , සුදු අම්මියයි හිටියාම මදිද ?අපි දෙන්නා තමයිනේ වස්තුවේ ඔයාගේ නෑදෑයෝ..."


ඉතිං පන්තියේ හැමෝම සීයලා ආච්චීලා මාමලා නැන්දලා බාප්පලා පුංචිලා මෙකී නොකී නෑදෑ සනුහරයක් පෝලිමට ඇඳගෙන එද්දී මං මගේ කොලේ පිරෙන්න අම්මවයි අප්පච්චිවයි සිත්තම් කරලා පාට කරලා උජාරුවෙන් ඉස්කෝලෙට උස්සාගෙන දිව්වේ පුදුම තරම් සන්තෝසෙකින්.
ඇත්තටම මගේ ගෙදර ආදරේ පිරිලා ඉතිරිලා තිබුණා..මං මේ ලොකේ දැකපු ලස්සනම ආදරේ තිබුණේ මගේ අම්මාගෙයි අප්පච්චීගෙයි ලඟ...


"සුදු අම්මියෝ... කාටද අම්මියා වැඩිපුරම ආදරේ ?
 "

මං කොයි වයසක ඉදගෙන ඔය ප්‍රශ්නේ ඇහුවත් මගේ අම්මා ගාව ඉතිරි වෙලා තිබුණේ එකම එක උත්තරයයි..

"සුදු අප්පච්චියාගෙන් පස්සේ මගේ සත්තලන් පුතු පැටියට"
ඇත්ත අම්මා වැඩිපුරම ආදරේ කළේ අප්පච්චිට..ඒ ඇස් අස්සේ ආදරේ ඇරෙන්න පුංචිම පුංචි නෝක්කාඩු බැල්මක් කවමකවදාකවත් ගෑවිලාවත් තිබුණේ නෑ.මගේ අම්මා කවදාකවත් කොට්ටයක් උඩ ඔලුව තියන් නිදා ඉන්නවා මගේ ජීවිතේටම මං දැකලා තිබුණේ නෑ.අප්පච්චිගේ උරපත්ත තරම් සනීපයක් අම්මට පුළුං කොට්ට වලින් හොයා ගන්න බැරි වෙන්න ඇති.


ඉතිං ඒ ආදරේ එක පාරටම හොරු අරං ගියා වගේ අතුරුදහන් උනාම අප්පච්චිට දරාගන්න මහා ගොඩක් අමාරු විත්තිය ඒ පුංචිම වයසේ දී පවා මට තේරුම් ගියා.ඒ හන්දම වෙන්න ඇති කවම කවදාකවත් අප්පච්චී ගැන අබ අටයක් තරමේ කේන්තියක්වත් , මං තනිවුනු එක ගැන පුංචිම හරි දුකක් පසුතැවිල්ලක්වත් මගේ හිත් මුල්ලකවත් උපන්නේ නැත්තේ.......


"කසුප්....... එන්න කෑම කන්න...."

මගේ හිතුවිලි දැහැන විසිරිලා ගියේ කාමරේ දොර අද්දරින් ආව අප්පච්චිගේ කටහඬත් එක්ක...අප්පච්චි හුඟක් වයසට ගිහින්.හයේ හතරේ ආරෝහ පරිණාහ දේහයේ හැඩ හුරුකම් එහෙන් මෙහෙන් ශේෂ වෙලා තිබුණත් නොකැපූ රැවුල් කොට සුදු වෙලා ගියපු කොන්ඩ ගස් වයසටත් වඩා වියපත් බවක් ඒ ශරීර කූඩුවට අරං ඇවිත් තිබ්බා..

බටර් ,මාමලේඩ් ,සොසේජස් ,ඔම්ලට්, ලොකුම ලොකු ටෝස්ට් පිඟානකටත් පස්සේ දුම් දමාගෙන මේසෙට ආපු කළු කෝපි කෝප්පයේ අවසාන උගුරත් ගිල දානකම් මට ඉස්සරහා පුටුව උඩට වෙලා රූකඩයක් වගේ හැම දේම ගිල දමාපු අප්පච්චී නිහඬ බව බිඳින්න කිසිම දෙයක් කිවුවේ නෑ. හැඳි , ගෑරුප්පු , පිහි විතරක් පිඟන් වල හැපි හැපී කතා කලා.


"කසුප් මාත් එක්ක අමනාපෙන්ද..?"

සූට්ටං පුතු කියන්න ලොකු වැඩි හන්දද නැත්නම් ඒ නම මතකයෙන් ගිලිහිලා ගිහිල්ලා හන්දමද මං දන්නේ නෑ අප්පච්චී දැන් මට මගේ නමින්ම කතා කරන්න පටන් අරන්..අප්පච්චීගේ කටින් කසුප් කියලා ඇහෙද්දී නුහුරක් දැනුනත් මං හෙමීට ඇස්පියන් උස්සලා අප්පච්චී දිහා බලලා

"අනේ නෑ අප්පච්චී..." කිවුවා.

සුදු අප්පච්චියෝ කියන්න මගේ දිව නැමුණත් සූට්ටං පුතු වගේම සුදු අප්පච්චියත් අතීත මතකයන් අස්සේ අඳුරු මුල්ලක ආපහු එන්න බැරි විදියටම ජීවිතාන්ත සිර දඬුවමකට යටත් වෙලා තිබුණා.

"කසුප් ඉස්සරහට මොනාද කරන්න හිතාගෙන ඉන්නේ?"


ඉවරයක් නැති හිතුවිලි හිත අස්සේ හොල්මං කරනවා.ඇත්තට ඉස්සරහට මොනා කරන්නද කියලා මගේ හිතේ කිසිම පැහැදිලි අදහසක් නෑ.ඉස්කෝල ජීවිතේ අහවර වෙනකොටම මේ අවුරුදු දොළහටම අප්පච්චිගෙන් ආපු එකම ලියුම් කඩදහිය විශ්වාස කරන් මෙහාට ආව මිසක් එතනින් එහාට මොනා කරන්නද කියලා අදහසක් ලාවටවත් මගේ හිත් කොණක ගෑවිලා තිබුණේ නෑ.ඉතින් පාන් කුඩු අරන් ගෑරුප්පුව දිගේ ගාටන කූඹියෙක් දිහා අනිමිසලෝචනේ දාන අහු අස්සේ අප්පච්චි අපි දෙන්නා අතර තිබ්බ නිහඬ ව්‍රතය බිඳින්න කටහඳ අවදි කළා


"කසුප් , අද මං ඉන්නේ මේ රටේ තියන ප්‍රසිද්ධම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මුල් පුටුවේ...මං පිළිගන්නවා අවුරුදු දොළහක්ම කසුප්ව ලංකාවේ තනිකරලා දාල ඉඳලා මෙච්චර කල් ඔයා තනියම තීරණ අරන් ගත කරපු ජීවිතේට එක පාරටම මේ විදියට බලපෑම් කරන එක වැරදියි කියලා..ඒ වගේම කසුප්, ඔයා මාව තෙරුම් ගනී කියලා මං විශ්වාස කරනවා........."


අප්පච්චි දිගටම කතා කලා.අවුරුදු දොළහකට පස්සේ ඒ ගෙවිච්ච අවුරුදු දොළහටම තමුන්ගේම අප්පච්චිගේ ජීවිතේ සිද්ධ උනේ මොනාද ,එයා කරන්නේ කියන්නේ මොනාද කියන එක ගැන පුංචිම හරි හෝඩුවාවක් ලැබුණේ අදයි..මේ දැනුයි..
හ්ම්..... එහෙනම් අප්පච්චි මියුසික් අතෑරලා නෑ..ඉස්සරෝම දවසක මැද සාලේ ඉදන් ගෙයි හැම අහු කොණකටම පාවෙලා ගියපු අප්පච්චිගේ පියානොවේ සද්දෙයි අම්මාගේ කිංකිණි කටහඬයි ගෙදර පුරාම පුරෝලා තිබුණු සංගීත භාණ්ඩයි අතීත මතක අහුරක මගේ හිත දැහැන් ගත කළා.එහෙනම් අප්පච්චී අදටත් සප්ත ස්වර අස්සේ හැංගිලා තිබ්බ අම්මාගේ මතකයන් එක්ක ජීවත් වෙනවා.එයා එයාගේ ආදරේ අදටත් ජීවත් කරවන්නේ එහෙමයි...මේ තරම් කාලයක් ගතවෙලා ගිහිල්ලත් ජීවිතේ හැමදේම අතෑරියත් මියුසික් අතනෑරියේ අම්මගේ හිතේ එයාලගේම කියලා සංගීත පාසලක් පටන් ගන්න තිබිච්ච හීනේ හන්දා වෙන්න ඇති.තමුන්ගේම නොවුනත් අද අප්පච්චී නන්නාඳුනන රටක සංගීත පාසලක මුල් පුටුවෙනේ...


"මං කැමතියි කසුප් මෙහේ ඉදන් තමුන්ගේ උපාධිය සම්පූර්ණ කරනවට..ඒ වගේම මේ විශ්වවිද්‍යාලේ ගුරු මණ්ඩලයටම අනාගතේ දී එකතු වෙනවටත්.. මේ ගැන කසුප්ගේ විරුද්ධත්වයක් නෑ කියලා මං හිතනවා.. මං හරි නේද කසුප්? "

මගේ හිතේ හිතුවිලි එක පිට එක පොදි ගැහිලා 
මතක අහුරු පීරද්දී අහම්බෙන් වගේ කණ වැකුණු අප්පච්ච්ගේ කතාවේ අන්තිම පේළි දෙක අහුලගත්තු මං බිම බලා ගෙනම

"ඔව් අප්පච්චී.... , අප්පච්චිගේ කැමැත්තක් " කිවුවා.
දිග හුස්මක් හෙලන ගමන් සංවාදය අවසන් කරලා කෑම මේසෙන් නැගිටලා ගියපු අප්පච්චී ආපහු පුරුදු විදියටම එයාගෙ අඳ ගොළු බිහිරි ජීවිත කටුව අස්සට රිංග ගත්තා.


ගෙවුණු අවුරුදු දොළහා වගේම ඉදිරි ජීවිත කාලයත් අනාථ කොල්ලෙක් වගේ තට්ට තනියම ගෙවලා දානවට වඩා මේ වහල යට ඉදන් ඕන මළ මංගල්ලයක් කරන්න මගේ හිත තනි පයෙන් මනාප වෙලා උන්නා.ඒ හැමදේටමත් වඩා සංගීතේ කියන්නේ මට අම්මාගෙන් අප්පච්චීගෙන් ලැබුණු ඇට මිඳුළු වල ඉදන් ශරීර කූඩුව අස්සේ දුවන හැම ලේ බිංඳුවක් බිංඳුවක් ගානේම ගෑවිලා තිබුණු උප්පත්ති දායදයක්.. ඒ හන්දා අප්පච්චීගේ යෝජනාවට මනාප මිස අමනාප වෙන්න මට කියලා කිසිම හේතුවක් තිබුණේ නෑ.. 

  • 0