Sunday, July 13, 2014

හැලිය බිදන් අපි හැරෙමුද ??


පොළොව පොඟපු ලේ ගංගා
කරුකුට්ටම් වෙලා ගිහින්
ලේ පුසුඹට ඉව කරලම
නාසය හිරි වැටිලා ගිහින්
මෙලෝ වගක් දැනෙන්නේ නෑ
වැරදි පාරේ සැකිලි ලෙසින්
හැල්මේ දුවන් උන් යනවා
අවසානෙට ළඟින් ළඟින්

ෆැන්ටසි වල උන් ලැඟගෙන
ඇලී ගැලී එරී වැතිර
එතනම පස් වෙලා යනවා
මළගමවත් දන්නේ නැතුව
අඩියක් අඩියක් ගානට
පාරක් පාරක් ගානට
හැරුම් ලක්ෂයක් හොයන්න
ෆැන්ටසියේ දොර බිඳින්න
  
මුඩු බිම මත මල් පිපෙන්න
බොල් හුළඟට තෙත පොවන්න
පැටව් ගහන හැරුම් ලක්ෂ
ඕන උන්ගේ ඔළු මකන්න
හැරුම් ලක්ෂ හුඟක් ඕනි
යන පාරෙන් ඉවත් වෙන්න
ගින්න සැරයි හැලිය බරයි
උතුරන්නට ඔන්න මෙන්න

ඉහ මොලගෙඩි තම්බාගෙන
හැලිය උතුරලා නටාවි
හැලිය බිඳන් අපි නාවොත් 
හැලියෙම කරවෙලා යාවි
හැරුම් ලක්ෂ හුඟක් ඕනි
යන පාරෙන් ඉවත් වෙන්න
එහෙම නැතොත් අපට වෙන්නේ
ඉහමොල පිච්චිලා නැහෙන්ට

අඩියක් අඩියක් ගානට
පාරක් පාරක් ගානට
හැරුම් ලක්ෂ හුඟක් ඕන

මේ යන අත හරවන්නට

1 comment: