Friday, August 9, 2013

පියානෝවී (තෙවැනි දිගහැරුම )

625425_547819538618056_1027541937_n.jpg


සීතල වැඩි නිසාම මට මහ පාන්දරින්ම ඇහැරුණා.ඇහැරුණා කිවුවට රැය පුරාම වරු ගණන් ඇඳේ එහාට මෙහාට පෙරලුණා මිසක නින්දක් නම් ඇස් අහලකටවත් කිට්ටු උනේ නෑ...පාන්දර ජාමේ යාන්තමට වගේ ඇහැ පියවේගෙන ගියත් කොඳු ඇට පෙළ පසාරු කරන් ඇදුණු නුහුරු සීතලක්  ආපහු මගේ නින්ද මංකොල්ලකාලා තිබුනා.

හ්ම්.. සීතල නොවී තියේවිද?

රෑ නින්දේදී පා පහරවල් ඉවසගන්න බැරුව මාව අතෑරලා දමලා ගිහින් ඇඳ පාමුල එල්ලිලා දිවි නහගන්න දඟලන පොරෝනාව ඇඳලා අරන් ඇඟට දමා ගන්න ගමන් මම මටම මුමුණගත්තා...

ඊයේ රෝස මාර ගහ ගාව බංකුව ලඟ ඉඳන් මට අතවනලා කලවම් කෙල්ල ඈතට ඇඳිලා ගියත් මේ වෙනකන්ම හෙල්ලෙන්නෙවත් නැතුව හිත අස්සේ හොල්මන් කරනවා..

අනේ ඇත්තට එක බිංදුවක්වත් එහාට මෙහාට වෙන්නේ නැති හැටියක්.රෑ එළි වෙනකන්ම නින්ද ගියෙත් නෑ මේ පිස්සු කෝච්චිය හන්දා.හිනා වෙනවා , ඔරවනවා ආයේ හොරෙන් බලනවා හැරිලා බලනවා ..එක විකාරයයි..කෝ ඔච්චර ඉඳලත් තවමත් ඇති වෙලා නෑනේ..දැන් ඇස් වහගෙන මදිවට ඇස් ඇරගෙනත් හීන පේන්න පටන් අරගෙනද කොහෙද.හපෝයි....ඒ පාර දොර මුල්ලෙනුත් එබිලා බලලා මාත් එක්ක ඔලොක්කුවට හිනා වෙනවා.මේ කෙල්ල නම්....

අනේ අම්මපා...හීනේකට උනත් මෙච්චරටම පෙනිලා හති වැටෙන්නේ නැද්ද මන්දා..කොච්චර බලාන හිටියත් මේ ඇස් ගෙඩි දෙකටත් ඇති වෙන්නේ නෑනේ ඇත්තට.ඇස් ගෙඩි දෙකටනම් මොකද පොට්ට වෙනකම් හරි බලියගෙන ඉඳීවි මේ අඟර දාන කලවම් කෝච්චිය දිහාවේම...

"අනේ අනේ කසුපයෝ..තොටත් වෙච්ච හරියක් හැබෑවට..කොහේවත් ඉඳන් ආපු කෙල්ලෙක් වචන දහයක් කතා කොරලා යන්න ගියා..හැබැයි උඹ නම් තාමත් ඒකිව ගම්මාලු ගුලියක් වගේ හිතේ අලෝගෙන ඉන්නවා"

මං කණනාඩිය අස්සට රිංගගෙන මං දිහා බලාන උන්නු මගෙන්ම ඇහුවා.

ඇත්තට ඊයේ දවසේම ලෙක්චර්ස් වෙල උන්නත් ඇස් දෙක නිනව්වක් නැතුව හෙව්වේම නොරිකෝව..ඒත් එකම එක වතාවක්වත් මගේ ඇස් මානෙට ආවේ නෑනේ..හවස එද්දිත් මම ගඟ අද්දර රෝස මාර ගහ යට බංකුව ගාව නැවතිල්ලේ උන්නේ තව පාරක් නොරිකෝව දැක ගන්න ආසවක් හිත් කෙලෝරක අලවගෙන..අන්තිමට බංකුව තට්ට තනියම උන්නු මට තනි රැක්කා මිසක නොරිකෝගේ හෙවණැල්ලක් තරම්ම්වත් ගං දියට වැටුණේ නෑ..

මං පොරෝනාවේ සුරුට්ටුවක් වගේ එතිලා ජනේලේ අයිනට ගියා.හෙමීට විවර කරපු ජනෙල් පළුව අස්සෙන් පොරකාගෙන ආපු හීල් හුළං රැල්ලක් මගේ මූණතහඩුවේ හැපීගෙන කාමරේ අස්සට රිංග ගත්තා..

අනේ හැබෑට මට මේ මොනවා වේගෙනද එන්නේ...උපන්තේකට කිසිම ගෑණු පරානයක් නිසා හෙල්ලිච්ච නැති මගේ මේ හිත් පොඩ්ඩ අස්සේ හැම අස්සක් මුල්ලක් නෑරම දැන් නොරිකෝ හොල්මං කරන්න පටන් අරන්..ඒත් ඇයි?.... මොකද්ද මාව මෙච්චරම අලවගන්න තරම් ඒ කලවම් කෙල්ලගේ තිබ්බ අමුත්ත?අනේ මන්දා මෙච්චර කාලෙකට කිසිම ගෑණු දැරිවියෙක් මාත් එක්ක සැහැල්ලුවෙන් හිනාවෙලා කතා නොකරපු හන්දා හිතට අමුතු නුහුරක් දැනෙනවා වෙන්න ඇති..ඒ කෝඩුකාර හිතුවිල්ලටනේ මාත් මේ කෙන්ද කන්ද කරගෙන ඒකත් විසිපස් ගුණයකින් විතර වැඩි කරලා ඒකෙත් දහවෙනි බලය විතර හොයාගෙන දඟලන්නේ..මෙහෙම මේ හිත අතෑරියොත් නම් අනන්තෙට යනකම්වත් අල්ලනවා බොරු.පස්ස පැත්තට පයින් දෙකක් දීලා කණෙන් ඇදලා ගැට ගහලාවත් තියා ගන්න ඕන මුගේ ඇට්ටරකම ඩිංගිත්තක් අඩුවෙලා යන්න. 

"කසුප..පරක්කුයි..එන්න කෑම කන්න"

දොරටත් තට්ටුවක් දාන ගමන් අප්පච්චි එහෙම කියන හඬ මහේ හිතුවිල කන්ද එහෙම් පිටින්ම බිමට සමතලා කලා.

"හරි අප්පච්චි මම විනාඩි පහෙන් පහළට එන්නම්"

හප්පද බොල..කිරි අප්පට බල්ලො පැනලා පූසොත් කාපි කිවුවලු.විනාඩි පහෙන් එන්නම් කිවුවට මොකද මම තවම දත කට මැදගෙනවත් නෑ..මං  ඩබල් එකේ සිං සිං ගාල නාන කාමරේට රිංගුවා..අප්පොච්චියේ මට තිබ්බ තදියමට තව පොඩ්ඩෙන් ලිස්සලා වැටිලා සිරි සඟබෝ වෙනවා..

සින්ක් එක උඩින් බිත්තියේ එල්ලිලා උන්නු කන්ණාඩියේ මූණ පේන්නේවත් නැති තරමටම මීදුම බැඳිලා..මං දබර ඇඟිළි තුඩින් කන්ණාඩි මුහුණතේ නොරිකෝ කියල ලිවුවා..

"ඒ පාර ආයේමත් විළිස්සගෙන බලාන ඉන්නවා"

කන්නඩි මුහුණතේ බැඳිච්ච මීදුම් පටලේ පිටිපස්සේ වැහිලා හැංඟිලා හිටපු කසුපයා අමාරුවෙන් එහෙන් මෙහෙන් ඔළුව දාල ආඩපාලි කියන්න පටන් ගත්තා..මම ඌව හේදිලාම යන්න දෝත පුරෝලා වතුර පාරක් ගැහුවා..හ්ම්.. ඌත් එක්කම නොරිකෝවත් හේදිලා ගියා...

මම දනි පනි ගාල ඇඳගෙන කරගෙන පහළට දිව්වා..දනි පනි කිවුවට මොකද සෑහෙන වෙලාවක් ගිහිල්ලා වගේ. අප්පච්චි කාල බීලා යන්නත් ගිහින්.

මම සීතල වෙලා තිබ්බ කෝපි එක උගුරට දෙකට ගිල දාන ගමන් ජෑම් බටර් මොකොවත්ම නැතුව වාටි කඩලා දාල නිකන්ම නිකන් සුදු පාන් මද දෙකක් කටට ඔබාගෙන පාරට බැස්සා.

හොඳටෝම පරක්කු වෙල හන්දා හනි හනිකට දිවුව මගේ ගොන් මොලේට උදේ වරුවේ ලෙක්චර්ස් නෑ කියන එක මතක් උනේ ගෙදර ගේට්ටුවත් පහු කරගෙන සෑහෙන්න දුරක් ගියාට පස්සෙයි..අපරාදේ නිවි හැනහිල්ලේ බඩට මොනාහරි දාගෙන එන්න තිබ්බ..දැන් ඉතින් මොනා කරන්නද.මං හැටට හැටේ පාගලා ගියපු ස්පීඩ් එක පොඩ්ඩක් බාල කරලා රෝස මාර මල් පෙති වියනේ හැඩ බැලුවා..වට පිටාව වෙනදා වගේම ලස්සන උනත් මට ඒ ලස්සන අස්සේ අමුතු පාළුවක් කාන්සියක් හැංඟිලා තියෙනවා වගෙ දැනුනා..

මං බොහෝම ඈලි මෑලි සෝමාරි ගමනින් වාසිටිය පැත්තට ඇඳුනා.ගඟ අද්දර රෝස මාර මල් ගහ යට ලී බංකුව පහු කරද්දී මටත් හොරාට ඉබේටම වාගේ මගේ ඇස් ඒ ඉස්සව්වේ පැටලෙන්න දැඟලුවත් බංකුව අදත් තනියම මඟ බලාන ඉන්න හැටි දැකලා මගේ හිත ඉහිරුණා..
මං මගේ ඇස්දෙක බිමට අලවගෙනම වාසිටියේ පඩිපෙළ නැග්ගා..

කසුප ඕප්පා..ගුඩ් මෝර්නින්"

ලතාවක ඇඳිලා පැඳිලා ඇහිච්ච ඒ වචන තුන හතර අද්දර මං ඉද්ද ගැහුවා වගේ නැවතුණා.
පුංචි කෙල්ලෙක් වගේ කූරු කොන්ඩේ කරල් දෙකක් වෙන්න ගොතාන පඩිපෙළ මුදුනේ එරමිණියා ගොතාන ඉඳගෙන දෙකපොල්  දෑත්   අතරේ හිර කරන් හිනා වෙවී මා දිහාම බලාන උන්නේ කිම් නූරි නොරිකෝ වර්ණාසි කියන කලවම් කෙලි පොඩිත්තයි..