Wednesday, November 26, 2014

පිටස්තරයා කොටු කිරීම

එකකට එකක් නොදෙවෙනි සබඳකම් පෝලිමක් නඩත්තු කරන්නටම දියවෙන ජීවන කලබගෑනියක අතර මැද්දෙන් නුඹට මා මෙන්ම මට නුඹවද  හෙමි හෙමින් අහිමි වෙන ඛේදාන්තයක ආරම්භය ඉද්දර මම යලිඳු වතාවක් නරඹන්නියක් බවට පත්ව ඇත්තෙමි.පිටපතේ අහුකොන් යාන්තමට වගේ වෙනස් වුවද බොහොමයක් ජවනිකා සමාන විම අහඹුවක්ම යැයි ඇදහීම නම් අසීරුය.
මෙය මට මෙන්ම නුඹටද තව දස දහස් ගනනක් වූ ඇතමුන්ටද වරක් දෙවර තෙවරක් හෝ සිවුවරක් නොව  අනේක වාරයක් සිදුවී ඇතිවාට සැක නැත.ඇසිල්ලකට හෝ නුඹට නුඹම අහිමි බව පසක් වී ඇත්ද?ඇතැම්විට ඒ සිතුවිල්ල නුඹේ හිත් මානයට වරක් වත් ගොඩවී නැතිවා විය හැක.නමුදු නුඹට හොරාට නුඹටම නුඹ අහිමිව ඇතුවා විය නොහකිද?නුඹට නුඹ අහිමි වනු දැක දැකම කිසිවක් කර කියා ගත නුහුණුව බලාන උන්නා විය හැක.කෙසේ නමුදු අවසානයේ දී අපට අපවම අහිමි වී ඇත.කවුදෝ කියා අපටම හරි හැටි හඳුනාගත  නොහැකි ආගන්තුක ප්‍රාණයක් අපගේ සියලු අනන්‍යතාවයන් ඌ සන්තක කරගෙන අප නමින් පෙනී සිටී.

"සැබෑවටම ඒ මමද?"

මා අනේකවාරයක් මගෙන් ප්‍රශ්න කර ඇත්තෙමි.ඒ කිසිඳු වතාවක මට හරිහමන් උත්තරයක් අමුණාගත නොහැකිවුයේ මගෙන් මා විමසු පැනය මා වෙතට යොමු නොවුනු නිසා විය නොහැකිද?ඇතැම්විට මා වෙනුවෙන් උත්තර අමුනා දීමට තරම් ආගන්තුකයා මා ගැන නොදන්නවා විය හැක.නැතිනම් ඒ උගේ සටකපට කමයි.කෙලෙසින් හෝ අහුකොන් නෑර අත පත ගගා ඉදහිටක මම මාවම සොයා ගත්තද ක්ශනයකින් මා වියකී ගොස් ආගන්තුකයෙකු මා වෙතට ආරෝපනය වන්නේ මන්දැයි මා නොදනිමි.දැන් මටම දෙකෙන් එකක් වෙන් කරගත නොහැකි  තරමටම සියල්ල පටලැවී ඇත.
ඉඳහිටක නුඹ මා ලෙසින් හඳුනා ගත්තේ මාවමද එමෙන්ම මා නුඹ ලෙසින් හඳුනා ගත්තේ සැබෑවටම නුඹවමද නැතිනම් නුඹ හෝ මා නමින් ආරෝපිත ආගන්තුක ප්‍රාණියෙක්ද යන්න කෙලෙස තෝරා බේරා ගන්නද?මට මාවම නොපෙනෙනා වංකගිරියක මම කෙලෙස නුඹ සොයන්නද?
අවසානයේදී කුමක් සිදුවේදැයි නොදන්නා නමුත් අපි අතරමං වී ඇති බව, අපි අපි අතරම නන්නත්තාර වී ඇති බවම පසක් කොට ගැනුමවත් මේ විශම වූ වංකගිරිය තුල සැනසෙන්නට තරම් වටිනා හේතුවක් නොවන්නේද?ඉදින් අපි අප සොයා උඩු ගං බලා යාත්‍රා කරන්නට තව තවත් තාවර වෙවී සිටිය යුතුමද?පිටත් වන්නට සුදුසු කාලය අප පසුකරගෙන බොහෝ දුර ගොස් ඇත.ඉදින් දැන්වත් අප ගමන් ඇරඹිය යුතු බව පසක් කර ගැනුමට තව කොපමණ කාලයක් මග බලා සිටිය යුතුද?

Friday, October 10, 2014

කළු ලේ පාට සුදු පරෙවියෝ




අලු වලාකුළු අතරින්

සිත්තමක් වූ රිදී රේඛාවේ

ගෑවි ගෑවි දේවදුන්නක් අහලින්

තටු සිඳුනු මුත් පියා සලයි 

කළු පාට සුදු පරවියෝ

ලේ පාට සුදු පරෙවියෝ

නූලෙන් ගිලිහුණ පාට සරුංගල්

ඔහේ පාවි ඉපිළී

කිමිදෙනවා හිස් අහසේ

සන්තකයට තටු ශේෂ නොවුනු මුත්

උන් ඉගිලෙනවා අහසේ

ඉමක් කොණක් ගැන වගක්වත් නැති අහසේ

කුණාටු හුළගින් කඩා හැලුණු තටු 

පිරිමදිමින් මද පවන හමනවා

මුඩු බිම් ඉද්දර තැන තැන හොරාට

ඇකිලුණු මල් පොඩි දෑස් අරිනවා

සුසුම් ඇබින්දක කඳුලක් රහසේම තවරා

අලුත් ලොවට අපි හැල්මේ දුවනවා

Saturday, August 16, 2014

ප්‍රශ්න...

ප්‍රශ්නයක් දෙකක්
අනිච්ඡානුගවම 
ඉගිලුණාට ඉද හිට
ඔලූ කට්ටටම වැදුනද
සෑහෙන්න රිදුනද
හිතේ සාමේ හෙල්ලුණාද
ලාවට....
හිතුවේම ඔලූ කට්ට
හිල් වෙන්න දග දාලා
දමා අතෑරියා කියලද
හිතලම
ඒත් එහෙම නෑ 
දන්නවද.........
ඉද හිටවත් විසි නොවෙන්න
පොට්ටනි ගහලා හංගාපු
ඇට්ටර ප්‍රශ්න අහිනෙන්
එහෙන් මෙහෙන් එක දෙක
මිරිකිලා විසි උනාට
ඔය හැටියටම මොකටද වාරණ...
ලොකුකම් ඇට්ටරකම්
හූරලා විසි කරලා
ගනකම වලදාලා
නිදහසේ ඉගිලෙන්න
ආයෙමත් එනවාද මා එක්ක...
කොන්දේසි විරහිතයි දන්නවද....

Sunday, August 10, 2014

ප්‍රෝඩාකාර හඳ



ප්‍රෝඩාකාර හඳ
එබෙනවා ජනේලෙන් විටින් විට
කෑලි බාග රවුම් වලට 
දවසින් දවස පැන පැන
දාන අලවට්ටම් තොගයට 
කුරුවල් වෙනවා ඉහ මොළ 
කී දාහක් රැවට්ලාද
සරුව පිත්තල මුනට
ආවාට වහගෙන
දිස්නේ තට්ටුව අලෝ ගත්තට
මතක නෑ කියලා හිතුවද
උඹ විපරීත හඳ වග ....
ලාබෙට කුලියට ගත්තු
ඉර එළියෙන් දිලිහුනාට
උඹ ගාව හීතලයි හරියට 
හර්ද සාක්ෂියත් මිදෙන තරමටම....

Saturday, August 2, 2014

අවලම් හිත....


පරිමිතයට ඔබ්බෙන් පදිංචි
නිදහසක කූඩු කල සිතුවිලි
හිස්කබලේ හිස් තැන් 
අස්සට අඩුක් කරගෙන
අයාලේ සැරිසරනවා
නිදහස් මාෆියාවක
තැග් ගැහෙන්න පෙරුම් පුරාගෙන...

දෙගිඩියා පොට්ටනිය
ඉද හිට එලි බහින්න වලි කද්දී
තව තවත් ගැටය හිර කර කර
පොදි ගසා ඔබනවා
වල්මත් හිතුවිලි අහිනක
නොපෙනෙනු පිණිස වරක්වත්
හිත  ගැටෙන මානෙකට...

අවලම් හිත
හීන ඉද්දර නන්නත්තාර වෙද්දී
පස්වනක් ප්‍රීතියෙන් ඉපිළ
ගිණිමැලේ වටේටම නටනවා කරකැවී
රවුමට රවුමට , රවුමට රවුමට
අනේ නිලංකාරයි තාමත්
ගිණිකණ වැටුනු ඇස්ගෙඩි ජෝඩුවම....

Sunday, July 27, 2014

සීමිත අවකාශයක අසීමිත නිදහසකින් උඹ වගේම මමත්...

හිටි හැටියේම කළු වලාකුළු අස්සෙන් ඇගිලි තුඩු අගිස්ස්ට අහුවෙන රිදී රේඛා හරි සුන්දරයි.....අතේ මිට මොලොවගන්න බැරි උනත් ඒ දිස්නේ හිත හිරිවට්ටන ප්‍රීතියක් ශේෂ කරනවා... කළු වලාවේ පාට වියැකිලා අළු පාට වෙන්න පටන් අරන් දැන්..හෙට අනිද්දාම අවශේෂ වලාකුළු අස්සෙන් කළු වලාව හොයා ගන්නත් බැරි වෙයි...එත් දිස්න ගහපු රේදී රේඛා අතරින් අතපත ගාපු ජීවිතේ මතකය ආයෙමත් ජීවිතේ අල්ලගන්න පන්නරය අරන් එයි... කළු උනත් සුදු උනත් ඒ ජීවිතේට ආදරේ කරන්න හයිය දෙයි...මටම විතරක් නෙවෙයි උඹටත්...පුර හඳ ආවත් නාවත් අපි නිර්වාණයේ දොරකඩ හිදී හැමදාමත්..

මට හැමදාමත් ජීවිතේ මිට මොලවගන්න ඕනි උනා...ඇගිලි කරු අස්සෙන් බේරිලා යන්න නොදී තදකරලා බැදලා අල්ලගන්න ඕනි උනා....එත් ගලාගෙන යන ජීවිතේ අල්ල ඇතුලේ හංගගන්න බෑ කියලා තේරුම් ගන්න මට හුගාක් කදුළු වියපැහැදම් කරන්න උනා...සමහරවිට ඉස්සරහටත් එහෙම වෙන්න පුළුවනි..නොවෙන්නත් පුළුවනි.. කාලෙකදී මං හිනා උනා..පස්සේ ඒ හිනා උණු හේතුවටම ඇඩුවා... පස්සේ ඒ ගැන කිසි වගක් නැතුව හිතන්න පුරුදු උනා... කාලෙන් කාලෙට මගේ පුරුදු වෙනස් උනා.... වෙනස් වෙන්නේ නෑ කියලා මනුස්සයෙක්ට පොරොන්දු වීම මොන තරම් අසාදාරණද වගේම වෙනස් වෙන්න එපා කියලා තව එකෙකුගෙන් පොරොන්දු ගැනීමත් මොන තරම් අසාදාරණද කියලා මටම පසක් කර ගත්තා... අපි තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය වෙනස් වෙනවා.... ඒ වෙනස් වීමේ වේගය අනෙකාට සාපේක්ෂව අඩු වැඩි වෙනවා... ඒ වේගය අපිට දරා ගන්න පුළුවන් හැකියාව අනුව අපි තවකෙක්ව ඉවසීමේ කාලසීමාව රදා පවතිනවා...ඉද හිට මේ සදහා ජිවිත් කාලයම වැය වෙනවා... සමහරවිට එහෙම වෙන එක වාසනාවන්තයි... එතකොට එක ලග රැදෙන කාලසීමාව ජීවිත කාලයක් වෙනවා... එහෙම නොවෙන එකත් වාසනාවන්තයි...එතකොට වෙන වෙන මානයන් අස්සේ ජීවිතේ අතපත ගන්න ලැබෙනවා...එහෙම බැලුවත් ලෝකේ කොහෙවත් නරක දේවල් සිද්ද නොවෙන්න පුළුවන්... නරකම දෙයක උනත් හොද හේතුවක් තියෙන්න පුළුවන්.... නැත්නම් අපිට හොද හේතුවක් හදා ගන්න පුළුවන්. යන්නං වාලේ නොයා යන්න හේතුවක් හදාගන්න පුළුවන්....

ඒ හේතුව සාපේක්ෂයි... එත් මොකක් හරි වටිනාකමක් තියන හේතුවක් සහ ඒ හේතුව තෝරා ගැනීමේ සම්පූර්ණ වගේකීම දරන්න පුළුවන් හයිය එකතු කර ගත්තු තැන අපිට නිකන්ම නිකම් ජීවිතයකට වඩා යමක් මුණ ගැහේවි... සින්නක්කර සන්තක කර ගැනීමෙන්  ඔබ්බට ගිය ආදරණීය ජීවිතයක් මුණ ගැහේවි...මටම විතරක් නෙවෙයි උඹටත්...පුර හඳ ආවත් නාවත් අපි නිර්වාණයේ දොරකඩ හිදී හැමදාමත්.. සීමිත අවකාශයක අසීමිත නිදහසකින් උඹ වගේම මමත්.... 

Thursday, July 24, 2014

එකමත් එක අපි



එක මත 
එක මතයක් ලගට ගෙන්න
එක එක කට්ටිය
එක තැනකට ඇවිත්
එකමත් එක කාලයක්
එකම එකසැරයක් වත් නො එන්න
එකමත් එක දවසක
එක හෙවනක් යටට එක්කාසු වෙද්දි
ඒ එකමත් එක කතාව අහන්න
බලන්න විදින්න විදවන්න
එකමත් එක රටක
එකමත් එක ලෝක ගොඩක ඉන්න
එක එක මිනිස්සු 
එකතු වෙද්දි
අර එකමත් එක මත තියන
එක එක කට්ටියට
එකට කියවාපු
එක මතයක්වත් අහගන්න බැරි තරමට හතිලු
ඒ එක මතය 
එකමත් එක ලොකෙට කියන්න
එක දිගට හැල්මෙ දුවන අහු අස්සේ
එක එක කට්ටිය එක එක තන් වල අටවාපු
එක එක මත එක සැරක්වත්
එක කනකට හරි වැටූනෙ ලාවටලු
ඒත් ඒ එක එක කට්ටියගෙ
එක එක මත
එක මතයක් ලගට ගේද්දී
එකමත් එක රටක මිනිස්සු 
එකම අහසක් යට 
ආදරයෙන් ඇවිලුනාලු
එක එක අය එක එක ඒවා කීවට 
ඒක හරි ලස්සන 
එකමත් එක දවසක් වෙලා  ගෙවිලා ඉවරලු ........

Wednesday, July 16, 2014

හකුර

තිබ්බ හකුර වක්කඩේ දිය උනාට
රකින්න හකුරක් ලග නැතුවට
සීනි මුරුක්කුවක්වත් තිබ්බා නම්
තිත්ත හිතේ අපුල අරින්න 
ඒත් මක් කොරන්නද
හකුරු රහ වැටුණු හිතට
සීනි මුරුක්කු එපාලුනේ 
අනේ උගේ ගනකම
උඹට  හකුරම ඕනිනම් 
දැන් ඉතින් උඩ බලන් 
මලක් පීදෙනකම් 
ලැගපන් කිතුල පාමුල 
අනේ අම්මප උඹෙත්  
ඇට්ටර කමක තරම
බෙල්ල කැඩෙනකන් බලන් ඉදලත්
ඇති වෙලා නෑනේ බොට 



Sunday, July 13, 2014

හැලිය බිදන් අපි හැරෙමුද ??


පොළොව පොඟපු ලේ ගංගා
කරුකුට්ටම් වෙලා ගිහින්
ලේ පුසුඹට ඉව කරලම
නාසය හිරි වැටිලා ගිහින්
මෙලෝ වගක් දැනෙන්නේ නෑ
වැරදි පාරේ සැකිලි ලෙසින්
හැල්මේ දුවන් උන් යනවා
අවසානෙට ළඟින් ළඟින්

ෆැන්ටසි වල උන් ලැඟගෙන
ඇලී ගැලී එරී වැතිර
එතනම පස් වෙලා යනවා
මළගමවත් දන්නේ නැතුව
අඩියක් අඩියක් ගානට
පාරක් පාරක් ගානට
හැරුම් ලක්ෂයක් හොයන්න
ෆැන්ටසියේ දොර බිඳින්න
  
මුඩු බිම මත මල් පිපෙන්න
බොල් හුළඟට තෙත පොවන්න
පැටව් ගහන හැරුම් ලක්ෂ
ඕන උන්ගේ ඔළු මකන්න
හැරුම් ලක්ෂ හුඟක් ඕනි
යන පාරෙන් ඉවත් වෙන්න
ගින්න සැරයි හැලිය බරයි
උතුරන්නට ඔන්න මෙන්න

ඉහ මොලගෙඩි තම්බාගෙන
හැලිය උතුරලා නටාවි
හැලිය බිඳන් අපි නාවොත් 
හැලියෙම කරවෙලා යාවි
හැරුම් ලක්ෂ හුඟක් ඕනි
යන පාරෙන් ඉවත් වෙන්න
එහෙම නැතොත් අපට වෙන්නේ
ඉහමොල පිච්චිලා නැහෙන්ට

අඩියක් අඩියක් ගානට
පාරක් පාරක් ගානට
හැරුම් ලක්ෂ හුඟක් ඕන

මේ යන අත හරවන්නට

Saturday, July 12, 2014

පිටත් වෙන්නයි සූදානම...


Vladimir Dunjic

විලම්බීත හීන ලඟ
හිනා වෙන තරු ඇස් අද්දර
හිත ගිනිකණ වැටෙද්දි
වාවන් ඉන්නෙ කෝම මම
විලාප තියන හෘද සාක්ෂිය
නෑහෙන්න ඇබ ගහන්
හැල්මෙ දුවනවා මම
වල්මත් වෙන්න නන්නත්තාරෙක
දෙගිඩියාව පොට්ටනි  ගහල වල දාල
කවුද එන්නේ මාත් එක්ක
නොදුටු ඉමක තටු ගහන්න
පිටත් වෙන්නයි සූදානම...

Wednesday, July 9, 2014

ශිෂ්ටාචාරය නිදොස්ද?

තත් අතරින් 
එලියට බේරෙන
පන ගහන ජීවිතය
විඳගන්න පිං කලේ 
අපි විතරමද?....
කුණු වී පැහැවන
ජීවිත වගුරට පීදුන
නෙලුම ගැන ආරංචි උනෙත්
බඹරු තුන හතරකටද?...
පොඩිවට පිපුණත්
පිපුනෙ නෙළුමක් නම්
මඩකරි අස්සේ දිලිහෙන්න
ඒ නෙළුමට තහනම්ද?...........
ලක්ශ්මී එක්ක 
සන්ධානගත වුනු සරස්වතී
අද නෙළුම් පල්ලෙන් 
මඩට බැහැලද?..
කිල්ලෝට වල
හුනු නොතිබුනාට
කවුරු කවුරුත් 
නිදොස් වේවිද 
එහෙමෙ නිදොස් කොට 
නිදහස් කලොත්
නිවි හැනහිල්ලේ
නින්ද යයිද?

Tuesday, July 1, 2014

අම්මපා විරහව.....

alone lonely drawing sad picture and wallpaper
අම්මපා විරහව
උඹ නම් මාරයි
කිවුවේ නැද්ද
ඒ වගක් කවුරු හරි
බලාපන්කෝ උඹ 
මාකට් වෙන ලස්සන
ඇගට නොදැනීම 
ඉල්ලුම අහසට
සැරව පෙරාගෙන
ඕජස් නාගෙන
ඉන්න උඹේ ඔය
කුණු රහ ලොවන්න
වලිකන පොරකන
නර පණු පෝලිම
ඇදී ඇදී එයි 
වැල නොකැඩීගෙන
අම්මපා විරහව
උඹ නම් මාරයි
මටත් දැනුනේ කුණු
රහ වටුනාමයි 

Monday, June 30, 2014

කෝ මම ...........



මේ මමමද
 නෑ මම නෙවෙයි
තාමත් හොයනවා මම
විකෘති වෙලා වගේ
දැනෙන්නේ නෑ මම බව


මේ මමමද
 
නෑ මම නෙවෙයි

අතරමං වෙලාද
 
මග හැරුනේ කොතැනද

තාමත් හොයනවා මම



මටම වහං වී ගිය

ආගන්තුක ඒ මම 

අදුනගන්න බෑ තව
 
මට තාමත් හරියට



වැරදුනේ කොතැනද

වැරදි කලේ කවුරුද 

අතුරුදන් වෙලා මම
 
      මට මාවම අහිමිද .......

Tuesday, June 24, 2014

එන්නේ නෑ ආයේ මම

ගහෙන් වැටුනෙත් මම
ගොනා ඇන්නෙත්  මට
මගේම උන් වටකරගෙන
ආපහු තැලුවෙත්  මට
අනේ ළගපාතකඋඹ
උන්නා නම් හිතුනා මට 
එහෙනම් ඉඩක් නොතියාවී
වටකරගෙන මට තලන්න
තොල් දෙපොට හපාගෙන
ඇස් රිදෙනකන් ඇඩුවා මම
දැන් නම් හොදටම වැඩි
රතු කට්ටට ඔන්න මෙන්න
හිතුනොත් අම්මපා මම
ලට්ට පට්ට අකුලාගෙන
සකලමනාවම ඔතාන
යනවා හිස් කට්ට 
හැරිච්ච දිහාවක
අමනාප වෙලා නේන්නම
ඔන්න අඩගහන්න එන්න එපා
එන්නේ නෑ ආයේ මම ...



Friday, June 20, 2014

විපරීත ගැජට් එක


මල ඉලව්
පල හිලව්
හැදෙන කැඩෙන ගානට
දුක් වෙන 
සතුටු වෙන
අඬන දොඩන 
හිනාවෙන
කෙල උනාම
මත්තේ හැපෙන
කඳුලු පෙරන
හූල්ලන
 බැන බැන
 මඟ බලන
හොරෙන් හොරෙන්
පස්සෙන් යන
කාලෙකින් යලි ඇලෙන
ඇලි ගැලී ආයේ අඬන
හිනාවෙන පිස්සු කෙලින
පැටෙලෙන දිගහැරෙන
විලම්බීත 
විපරීත
අමුතුම ගැජට් එක
අම්මපා මේ හිත
විකාරයි හොදටෝම

Thursday, June 19, 2014

අපි BUZY අපි BUZY ...


BUZY BUZY
BUZY BUZY
පාරම් බාන්ට
ගැලවිජාවට
ඇබ්බැහි වෙන්නට
තෝන්තු වෙන්නට
අවුල් හදන්නට
අවුල් ලිහන්නට
ඇත්තට
බොරුවට
සෝබනේට
කෝකටත් තෛලය
දන්නා දා සිට
හා හූ නැතුවම
මලලසේකරේ
ඔහේ පල්වුන
හිටි හැටියෙ  තටු ඇවිත්
අළු ගසා
කරලියට වැඩි
21 වෙනි සියවසේ
හිටි හැටියේ HIT වෙච්ච 
"BUZY"
වැඩ ඇතත් 
වැඩ නැතත්
අපිBUZY
 අපි BUZY  ...




Monday, June 16, 2014

නොකී මළගම ....





ඌ ගියා යන්නම

මළගමවත් නොකියම

අනේ මං ඉන්නවා තාමත්

මල්වඩම් සේසත් අටෝගෙන

මල බතකුත් උයාගෙන

හාරපු වලේ පස් කන්ද උඩ

සොහොන් ගලට වත්තම්වී

මතක වස්ත්‍රයේ කොනකින්

හොටු කදුළු පිහ පිහ

අවසන් කටයුතු කරන්නට...

අම්මලා අප්පචිච්ලා සහ මම...

Mother holds her son's hand

කවුරුන් කොහොම කොයි හැන්දෙන් කොයි ලෙසක බෙදුවත් අම්මලා අම්මලාම බවත්  , අප්පචිච්ලා අප්පචිච්ලාම බවත් පසක් වීමට නම් අපිටත් ඉදහිට කොහෙන්ම හෝ කවුරුහරි පාත් වී කන් හැන්දකින් බෙදිය යුතුමය.අපිට කෙසේ වෙතත් මට එසේ වූ බව පිළිගැනීමට මම ලැජ්ජා නොවෙමි.එසේ සිදු වූ බව සැගවීමට තරම් අධමයෙකුද නොවෙමි.අපි අතර ඉතා හොඳ සබදකමක් නොතිබුණු බව සැබෑය.අප්පච්චිට මම ආදරය කල තරමටම මම අම්මා සමඟ අංචි අල්ලන්නට ඇත.මට වඩා මල්ලීට ආදරේ බව කියමින් නෝක්කාඩු කියන්නට ඇත.නමුදු දරුවෙකුගේ කඳුලු කැට දෙකක් අබියසදී ලේ බැම්මේ සවිමත්කම  කොතෙක්ද යන්න මම අද  පසක් කොට ගතිමි.කාට නැතත් නුබට මා කෙතරම් අගනේද යන්න අද මාගේ රුහිරු සිසාරා ගොස් ඇට මිඳුලු වලට පවා දැනුනු බව පැවසුවොත් එය මුසාවක් නම් නොවනු ඇත.මා නුඹටද නොසෑහෙන තරමට ආදරය කලෙමි.නමුදු කවදත් ඒ ආදර ගොඩෙන් කලඳක් දෙකක් අප්පච්චිගේ ගිනුමට බැර වීම මට කොයි ලෙසකින්වත් වලක්වාලීමට නොහැකි විය.ඉදින්  බිඳෙන් බිඳ එකතු වූ ආදරය ඔහුගේ ගිණුම් ශේෂය ඉහල දැමීමට මටද නොදැනීම විත්තිකරු වනුයේ අනෙකෙකු නොව මමමය.නමුදු අද ගත වූ පස් විසි වසර පුරාවටම සිදු නොවූ ලෙසින් එක ඇල්පෙනිති තුඩක තරම්වත් වෙනසක් නොවී ගිණුම් ශේෂයන් සමාන වී ඇත.

අහුවුනු හැම මුල්ලකම පාහේ ප්‍රේමයට අරුත් සොයමින් අන්ධකාරයේ අතපතගාමින් උන් මා,  දෑස් මත එතී බෑඳී මිදී උන් තිමිර පටලය පසාරු කරගෙන  මගේ දෑසින්ම අද   ප්‍රේමය දුටුවෙමි.වින්දෙමි.රස බැලුවෙමි.හිත දස දහස් වාරයක් හඩා වැටෙන  අහු අස්සේද මට සිනාසිය හැක්කේ ඒ නිසාය.සැම කළු වලාවකම රිදී රේඛාවක් සැඟවී ඇතැයි කියූ නමුදු මෙවර මා සොයා ගත් රේඛාවේ රිදී බර රත්‍රන් වලටත් වඩා බොහෝ ඉහළය.අමිලය.ඉදින් මම හිනැහෙමි.රූරා ඇදහැලෙන කප්පරක් කඳුළු වැල් අතුරින් මම හඬ නගා සිනාසෙමි.මන්ද මගේ සිනහව මකා දැමීමේ අයිතිය මා සන්තකයෙන් අහිමිව ගොස් ඇති බැවිනි. මා හිනැහිය යුත්තේ නුඹ නමින් නිසාවෙනි.


ලෝකයා මට අනේකවිධ චෝදනා දමාගසනු ඇත.නෝක්කාඩු අහුරු පිටින් විසි කරනු ඇත.අතැමුන්ට මා බොරුකාරියක රැවටිලිකාරියක සේ පෙනෙනු ඇත.නඩු නොඅසාම මා චූදිතයෙකු කරනු ඇත.ඔච්චමට සිනාසෙනු ඇත..මගේ සිතැඟි වලින් බිඳක් හෝ හඳුනා නොගනු ඇත.ඔවුනට සත්‍ය තෙරුම් කරවීමේ මිරිඟුව පසු පස්සේ හැල්මේ දිව ගොස් මගේ සන්තානයම හති වැටී ඇත..මම සෙවණක් සෙවීමි.අතරමං වූ හිතට නිවි හැනහිල්ලේ ගිමන් නිවීමට සෙවණක් අවැසිව තිබිනි.අවසානයේදී මා එය සොයා ගතිමි.මා ලෝකයම පෙරලාගෙන එය සොයා ඇවිදිද්දී එය මාගේ සෙවණැල්ලට මුවාවී මඟ බලා හිද ඇත.ඒ පියස යට මගේ කර දඬු කෙතරම් උස් මහත් වූවද මා තවමත් සුරංගනාවියක් බව පසක් කොට ගතිමි.ඉදින් ඒ සුරංගනා ලෝකයත් එයින් උපන් දිව්‍යමය සිහිනත් මා පණ සේ රකිමි.ඒ සිහින අතරින් ජීවිතේ සොයා යමි.එය කෙදිනක හෝ මුණගැසෙනු ඇත..එය එසේ වීම නියතයක් බැව් මා තරයේම විශ්වාස කරමි..දැන් මා අදහන්නේ එය පමණකි

Saturday, June 14, 2014

අවසාන නැවතුම තවුතිසාවයි...මල් වඩම් අනවශ්‍යයි...

carpe diem baby ♔ | via Tumblr
ඒක පාර්ශවිකව හට ගෙන
ද්වී පාර්ශවිකව පැතිරී ගොස්
කෙලවර සොයන මේනියාවක
අවසානයද  තීරණය කර ඇති බව 
කරුණාවන් සලකන්න
මල් වඩම් අනවශ්‍යයි...
පිරුවට අතුරා වියන් බැඳ 
දිගහල මල් පාවඩ දිගේ
සීරුවට පය තබනු..
වංගු සහිත මාවත 
අනතුරු සහිතයි
අවසාන නැවතුම තවුතිසාවයි
සියලුම මගීන් ගමනාන්තය තෙක්
ඉවසීමෙන් රැඳී සිටින්න...


Wednesday, March 19, 2014

විකාරශීලී කැරපොතු තියරිය


සම්බන්ධකමුත් හරියට
නොපිට හැරුණු කැරපොත්තෙක්
 ගානයි වෙලාවකට
කොච්චර දැගලුවත්
හොද පිටට හැරවෙන්න
තාමත් අඩු ගසනවා
උඩු බැල්ලෙන් බුකවගෙන
කොහෙවත් යන කුඹි රොත්තක්
උස්සාගෙන ගොස් මුල්ලකට
ඔලු ගෙඩියෙන් පටන් ගෙන
ලේ මස් උරා බොන තුරුම 
දැනෙන් නෑ ඇබින්දක් තරම්වත් 
කෙලවුණු තරමේ දිග පළල 

Tuesday, March 18, 2014





මල් වෙඩිල්ලක් වගේ 
දිස්නේ දි හතර අත
ඉගිලිළා ආකහේ 
ගෑවී නොගෑවී ගෙන
හිටි හැටියේ ඇද වැටුණි
කඩා බිදගෙන පොළොවට 
දිස්නේ දුන් එළි අකුලාන 
පුස්සක් වූ ප්‍රේමය ....
අනේ නිලංකාරයි තාමත් 
අයාගෙන උන් නෙතු දෑලම...


Wednesday, March 5, 2014

ඉතිං අපි අපේ වෙලා අවුරුදු බාගයයි ...



බ්ලොග් පොස්ටුවක් කොමෙන්ටුවක් නිසා අදුනගත්තු නුඹ සහ මම එකම එක බ්ලොග් පොස්ටුවක් නිසා අපේම වෙලා අදට මාස හයයි..ඒ කියන්නේ හරියටම අවුරුදු බාගයක්..මෙ අවුරුදු බාගයට මම නුඹට නුඹ මට සියවස් බාගයක් තරම් ලගින් උන්නු තරමටම සමීප උනා කිවොත් එය මුසාවක් නෙවෙයි.. අපි අපිත් එක්ක , අපේ හිත් එක්ක නොසැහෙන්න පොර අල්ලලා අපේම වෙන්න තීරණය කළා..අපි  හිනා උනා ,ඇඩුවා,  රන්ඩු උනා.  තරහා උනා ..එත් ඒ හැමදෙයින්ම නුඹ මාව නුඹටම අලවගතතා..

ඔව්... මං අනන්තවත් කියලා ඇති මට බැ දැන් ඇති මං යනවා කියලා.. එත් ඒ කේන්තිය නිවෙනකන් විතරයි..ඒ වගේම හොදටම කේන්තියෙන් උන්නු වෙලාවක උනත් මං එහෙම කිවුවට හිත යටින් බලාන ඉන්නේ නුඹ  මට යන්න නොදී අතින් අල්ලගන්නකන්..දැන් නම් යන්න කියුවත් නොයන තරමටම නුඹේ හිතටම මුල් ඇදලා අහවරයි.. දැන් ඉතින් සින්නක්කරේටම අපි අපෙයි..  මුල්ම දවස් වල නුඹ මට නොකියපු ආදරේටත්, පස්සේ පිස්සුවෙන් වගේ උදේ හවස දොඩවාපු ආදරේටත් දැන් හිත අස්සේ වහුන්  කරගෙන ගණන් උස්සන ආදරේටත් , මං එක වාගේම පිස්සුවෙන්ම එදා වගේම අදත් අද වගේම හෙටත් හෙට වගේම අනිද්දාත් මතු මතුත් සර්වකාලිනව සදාකාලිකවම  ඇබින්දක් තරම්වත් වෙනසක් නොකර ආදරෙයි ආදරෙයි ආදරෙයි..ඉතින් ඒ මගේ ආදරේ හිලවුවට මගේ අදෝනාවත් ,කචපචයත් , කුණු කුණුවත් , කන් කෙන්දිරියත් හිනාවත් කදුලත් , ජීවිත කාලයක් පුරාවට එකතු කරාපු හීන බලාපොරොත්තු සේරමත් නුඹට හිමියි.. ඉදින් මගේ ජීවිතයත් , ජීවිතයට පණ දෙන හුස්ම පොදත් , වර්තමානයත් , අනාගතයත් ,කදුලත් , සුසුමත් ,හිනාවත්  සියල්ල නුඹට බාරයි.. මා කරනුයේ  මගෙ තුන් ලෝකයම නුඹව කේන්ද්‍ර කරගෙන භ්‍රමණය වීමට සැලස්වීම පමණයි..