Monday, July 29, 2013

මට එරෙහිව මම (ME vs ME)


කුඩේකට ඔරොත්තු නොදෙන තරමේ මුරුගසන් වරුසාව හිස් මුදුනේ ඉඳන් පා ඇඟිලි කෙළවර වෙනකම්ම තෙතබරියම් කරලා..කොහෙදෝ ඉඳලා ගහගෙන ආපු ඇට්ටර හුළං කෝඩෙකට අහු වෙලා දෑතින් ගිලිහිච්ච කුඩය අඩි කීපය ඈතට වීසි වෙලා ගියා.දැනටමත් අමුතුවෙන් තෙමෙන්න ඉඩක් නොතියාම බකිරිත්තමෙක් වෙලා උන්නු හන්දා මං ආපහු නොහැරී අඩිය ඉක්මන් කලා.හුළඟ එන්න එන්නම මුරණ්ඩු වෙනවා.අඹරෙමින් කැරකෙමින් පෙරළි කරන රුක් කඳන් වල අතු ඉති ඉඳලා හිටලා ආකාසේ දෙදරවමින් පුපුරලා කඩා හැලෙන විදුලි එලි එක්ක මුහු වෙලා හොල්මං රූප අඳිනවා...අනෝරා වැස්සයි  දඟර ගැහිලා ගහගෙන  එන  හුළං පාරයි කුණාටුවක නිමිති කියනවද මන්දා..කොඳු නාරටිය දිගේ ඇට මිඳුලු වලට යනකම්ම ගල් ගැහිලා පා සුලැඟිලි නිය තුඩක් වෙනකන්ම හිරි වැටිච්ච සරීර කූඩුව, දත් ඇඳි සට සට ගාල වදින තරමට වෙවුලනවා...මොකෙක් හරි ඇවිත් ඉහේ ඇහේ ඇනුණත් නොපෙනෙනා තරමටම පට්ට තිත්ත ඝණ කළුවරක් මූසල පාළුවකුත් එක්ක කලවම් වෙලා වීදියේ හැම අහු කොණක්ම ගිල දමලා..අන්ධකාරය මැදින් මොකෙක්දෝ ඇවිත් මගේ ඇඟේ හැපුනා...  


ආකාසේ දෙබෑ කරගෙන පුපුරලා හැලුණු හෙන පාරේ එළියෙන් මං උගේ මූණ දැක්කා...එකදු රේඛාවකවත් කෙස් ගහක තරම්වත් වෙනසකට ඉඩක් නොදී මගේ නෙත් ඉදිරියේම හුස්ම වැටෙන, ඇහි පිල්ලම් ගහන මාවම , මම දැක්කා. ඇහිබැම, ඇස් , මූණ , කට, නහය ,අත් පා පපුව හැම රෝම කූපයකම කිසිම අඩුවක් නැතුව කන්ණාඩියෙන් මං මාව දුටුවටත් වඩා පැහැදිලිවට ඌ මං දිහා එක එල්ලේම බලාන උන්නා.. වෙනෙකක් තියා වම් කම්මුල් කෙළවරේ තිබුණු උපන් ලපයත් ඒ විදියටම දකිද්දී නෙත් අදහා ගන්න බැරුව හෘදය මොහොතකට ගල් ගැහුණා.. අදහන්න අපහසු උනත් උත්ප්‍රාසයෙන් පිරුණු මදහසක් දෙතොල් කෙළවරක අලවගෙන "මම" මං දිහාම බලාන උන්නා..හත් දෙයියනේ.. අන්ධකාරය මැදින් ජීවිතේ පළමු වතාවට, මුහුණට මුහුණ, මට මට මාවම මුණ ගැහිලා...කතා කරම්ද නොකරම්දෝ කියලා දෙගිඩියාවක වල්මත් වෙලා මාව පාවෙනවා..මගේ ඇස් දෙකේ ඇනි ඇනී මාවම දකිත්දිත් මං පිටුපාලා යන්න අඩිය ඉස්සුවා..වැහි හීතලට මගේ මොළේ හිරි වැටිලාද මන්දා...ගැස්සිච්ච පපුව දත් ඇඳිවලටත් වඩා වේගෙන් ගැහෙනවා...


"ඔහොම හිටපන්"


හ්ම්..පුංචිවටවත් වෙනසක් නැති මගේම හඬින් ඌ මට  කතා කලා..ඌ දිහා නොබලා උගේ හඬ කණට වැටෙන්න නොදී පය උස්සලා යන්න ශේෂ වෙලා තිබිච්ච චිත්ත ධෛර්යයේ අන්තිම බිංදුවත් ගුරු පාටට ගලාන යන වැහි වතුරත් එක්ක කලවම් වෙලා කාණුව දිගේ ඈතට ගහගෙන ගියා..


"මොකටද"

මගේ හදවතේ ගැස්ම මුවින් දොට්ට පැන්න  වචන වල ලාවට වගේ තැවරිලා තිබ්බද මන්දා..

"අපි කතා කරමු"


හෙවණල්ලක්වත් පේන්නෙ නැති තිත්ත කළුවරේ මේ හීතලේ ...උඹට පිස්සුද? මට යන්න දීපන්..පේන්නේ නැද්ද මිනිහෝ කුණාටුව එන්නයි හදන්නේ.." මම නොඉවසිල්ලෙන් කිව්වා.


 "පොඩ්ඩක් හිටපන්...ආයෙ අපි මුණ නොගැහෙන්නත් පුළුවන්" ඌ කිව්වා.


"ඒ මොකද?" මම ඇහුවා


"කුණාටුවෙන් උඹ මලොත්" බැරෑරුම් ස්වරයකින් ඌ කිව්වා. 


"මූසල තකතීරු කතා නොකියා පාරෙන් අයින් වෙයන්"


"උඹ දන්නවද? "


"මොකද්ද?"


“මට  ඈතට හමාගෙන යන්න ඕනි”


"උඹට පිස්සුද? විකාරද? උඹ කෝමද හමාගෙන යන්නේ? "


"මං හුළඟක් නිසා "


"නෑ උඹ හුළඟක් නෙවෙයි ඉතින් උඹ කෝමද හමාගෙන යන්නේ..මේ වැහි හීතලට උඹෙ ඔලු කට්ට ගල් වෙලා.උඹට මනෝ විකාර මැවෙනවා.. "


"උඹ මගේ කකුලෙන් අදිනවා..මං හුළඟක් තමයි..මට යන්න දීපන්..මට අර ඈත පේන ගස් කොලන් වල එතීගෙන හැපීගෙන යන්න දීපන්..ඔව් මං පාවෙලා යනවා..ඈතට ඈතට ඈතටම.. දුර පේන ක්ශිතිජයෙනුත් එහා අනන්තෙට..හෙමි හෙමීට පාවෙලා ගිහින් එක හුස්මට හැලමේ දුවනවා..ගිම්හානේ වේලිලා ගියපු අතු අගිස්සේ එල්ලිලා ඉන්න කොළ සේරෝම එක්කාසු කරගෙන දූලි වලා පීරගෙන ගහගෙන යනවා..කාන්තාර වැල්ලේ පුරාවටම හරි අපූරුවට රටා අඳිනවා..ඈත ගොඩ ගැහිලා ඉන්න වැලි කඳු උස්සාගෙන ගිහින් තවත් තැනකින් ඊටත් වඩා ලොකුවට උසට වැලි කන්දක් හදනවා..දකින හැමෝම කියාවි අන්න මහා වැලි කන්දක් කියලා..පෝලිමට හිටගෙන මූද දිහා අනිමිස ලෝචන කරන පොල් ගස් වල කරටි එක පෙලට නවාගෙන මං ඇදිලා යනවා.මන් බෝම සීරුවට සනීපෙට හමාගෙන යන මද පවනක් වෙනවා..හිතුවක්කාරෙට දබර කරන ඇට්ටර බොල් කඨෝර හුලඟක් වෙනවා...හැමෙදේම පොළවට සමතලා කරන් ඇදිලා යන මහ කුණාටුවක් වෙනවා..

එතකොට මිනිස්සු මට නානාප්‍රකාර නම් පට බඳීවි..මං ඈතට ඈතට ඇදිලා ගියාට පස්සෙත් මං ආපහු එනකන්ම මං ගැන කතා කරාවි.ගම් ගොඩේ ඉන්න වයසක උන්දෑලා ගිණි මැල වටේට ඇන තියාන මගේ පුරාජේරුව කියවද්දී පුංචි එව්වෝ ඇස් ගෙඩි දොබ ගෙඩි තරම් ලොකු කරගෙන කණ් දික් කරගෙන අහන් ඉදීවි.."


"උඹට පිස්සු..උඹ දවල් හීන දකිනවා"

මං දුවලා ගිහින් අත දිගෑරලා පුපුරු ගහන තරම් සැර අතුල් පාරක් උගේ කම්මුලට අතෑරියා...

"උඹ හුළඟක් නෙවෙයි මෝඩයෝ..මේ අහපන්....උඹ හිතුවට උඹ හතර අන්තෙටම හෑල්ලුවට පාවෙලා යන හුළං කෝඩයක් කියලා ඒක මායවක් විතරයි...උඹත් ගිණි මැලේ වටේ ඉඳන් මහා කුණාටුවේ විත්ති අහන නිකන්ම නිකන් පුංචි එකෙක් විතරමයි..ගිණි මැලේ එළියට උඹෙ ඇස් ගිණිකණ වැටිලා..මහා හුළගේ හපන්කම් අහන් ඉඳලම උඹේ ඔළුගෙඩිය ඇතුලටත් උඹ හුළඟක් කියන මෝඩ බූරු හිතුවිල්ලා රිංගගෙන..නැගිටපන්.නැගිටලා උඹේ අත් දෙකෙන්ම ඔය ඇස් ගෙඩි දෙක පිහ දාලා හොඳට ඇරල බලාපන්..නිවිලා යන ගිණි මැලේ දැල්වෙන්න දඟලමින් පණ අදින ගිණි පුපුරු එකින් එක මියදෙනවා උඹටම පෙනේවි.."


 "මේ යාළුවා.., මාව අතෑරපං..මට යන්න දීපං,,උඹටත් ඕනේ නැද්ද මාත් එක්ක ඔහේ ගහගෙන යන්න.ඔය මනස්ගාත අතෑරලා උඹත් වරෙන් මාත් එක්ක යන්න.මාව විශ්වාස කරපන් යාළුවා...මං හුළඟක් තමයි..මාත් එක්ක ඔහේ නිදහසේ ඉමක් කොණක් නැතුව ඈතින් ඈතට ගහගෙන යන්න උඹත් වරෙන්..උඹට තේරෙයි උඹ ජීවත් වෙනවා කියලා..හුස්ම වැටෙනවා කියලා..පපුව ගැහෙනවා කියලා..අයිලය මැදින් ඇවිදගෙන යන අල්තිනායිගේ රෝස පාටට ලේ පුරපු කම්මුලක් ඉඹින්න, පොප්ලර් ගහේ කඳන් වල එතිලා සිලි සිලි තාලෙට තනුවක් වයාගෙන ඈතට  ඇදෙන්න මගේ අතේ එල්ලිලා වරෙං.."


"නෑ.......... නෑ......... ඕක හීනයක් ..ඔය හීනෙන් නැගිටලා ඇස් ඇරලා බලාපන්..ඔහොම හිටපන් ..උඹට යන්න බෑ..නැවතියන්"


"නෑ මං හුළඟක්..මාව විශ්වාසෙ කරපන්..මං ඈතින් ඇදිලා එන මහ කුණාටුවේ අගිස්සේ පැටලිලා ගහගෙන යනවා ලොකේ පුරාවටම..මට යන්න දීපන්..."

"උඹටත් ලොකීගේ ආත්මේ වැහිලද..මේ තරමටම නාහෙට නාහන තරමේ හිතුවක්කාරකමක්..පිස්සු දොඩවන්නේ නැතුව මෙතනම ඉඳපන්.."


'අනේ දෙවියනේ..ආං බලාපන්..මහා කුණාටුව ඇදිලා යනවා උඹත් එක්ක වාදෙට පැටලිලා මට ඒක මග ඇරුණා..දැන් මට ආයෙමත් වෙන්නේ ගිණි මැලේ ලඟ වාඩි වෙලා ආයෙමත් මහ කුණාටුව එනකම් බලාන ඉන්න..අනේ උඹ මං කියපු දේ ඇහුවානම්.."


"මම නෙවෙයි උඹයි කොහෙදෝ ඉඳන් ඇවිත් මාව වාදෙක පටලවගත්තේ...ඒත් කමක් නෑ මේ අහපන්..දැන්වත් තෙරුම් ගනින්..උඹට යන්න බෑ ඔය අදහස අතෑරපන්..උතුරු හුළඟෙ කතාන්දර ඇහුව කිසිම කෙනෙක් පවනක්වත් උනේ නෑ..තේරුම් ගනින්"


"හ්ම්ම්..... මං යන්නම්...වැස්ස තුරල් වෙලා අහස පෑදිලා..."


"ඒත් උඹ ඔය කොහේද යන්නේ"


“ආපහු ගිණි මැලේ ලඟ ලී බංකුවට ...ඇස් ගෙවෙනකම් බලාන ඉඳලා හරි මං මහ කුණාටුවේ එල්ලිලා ගහගෙන යනවා..මේ වතාවේ නම් මං යනවා යනවමයි...”


Saturday, July 27, 2013

.....පියානෝවී.......(දෙවැනි දිගහැරුම..)

Posted Image

වැහි පොද නොවැටුණත් අහස බර කරගත්තු හීන් මන්දාරමක් දිගන්තේම පැතිරිලා ගිහිල්ලා.රාත්‍රිය පුරාවටම කඩා හැලුණු වරුසාවෙන් ශේෂ වුනු පිනි මුතු කැට පිසගෙන හමන් ආපු තෙත් හුළඟ කමිස කර අතරින් පපුව අස්සට රිංගගත්තේ මුලු සර්වාංගෙම හී ගඩු නංවමින්. මම ඝණ ලොම් කබායේ බොත්තම් කර මුලටම පියවා ගන්න ගමන්ම ඇඟිලි ටික පතුලේ ගෑවෙන තරමටම සක්කු අස්සට අත් දෙක ඔබා ගත්තේ නුහුරු හීතලෙන් බේරෙන්න හිතාගෙනයි.

හතර අතට අතු ඉති විහිද ගත්තු නමක් නොදන්නා මහ දැවැන්ත රුක් කදන් පේළියක් මැදිනුයි යුනි එකට යන්න පාර වැටිලා තිබුණේ.දළු කොල නොපෙනෙනා තරමටම ගහේ අතු ඉති වහගත්තු මේ නිර්නාමික මල් ගහේ පෙති හරි අපූරු ලා රෝස පාට පාවඩයකින් මුළු මාවතම හැඩ කරලා තිබුණා.මට ඉස්සර අපේ පන්තිය ඉස්සරහා මල් පුරෝගෙන සීරුවට උන්නු ඇහැළ ගස් පේලිය මතක් උනා..ඇහැළ ගස් පේළියත් අපේ පන්තිය ඉස්සරහින් වැටිච්ච තාර පාර දිගටම එකම එක දවසක්වත් වරද්දන්නේ නැතුව කහම කහ පාටින් කෝළම් රටා අඳිනවා.

නමක් නොදන්නවා උනාට මේ ලා රොස පාටට පාර පුරාවට විසිරිලා තිබිච්ච මල් පෙති පාගන්න මට මහ පුදුම තරමේ ලෝබකමක් හිතුනා..

විහඟයා හිටියනම් ආයෙ දෙකක් නෑ කියනවා " උඹට තියෙන්නේ නම මහම මහ ගෑණු හිතක් බං: කියලා..
ඉස්සර ඇහැළ මල් පෙති පාගන්න ලෝබයි කිය කිය මං ගස් ගෙම්බෙක් වගේ එහාට මෙහාට පැන් පැන ඇවිදිද්දී විහඟයා හැමදාමත් මට කිවුවේ ඔය කතාවම තමයි..

"සොබා දහමේ ලස්සන දකින්න ,විඳින්න ,ආදරේ කරන්න පුළුවන් ගෑණු හිතකට විතරක්ම නම් අනිවා ඩෙෆා උඹ හරි ඇති මචෝ..ඒත් යකෝ ඔය ඉන්න තරමක් පරිසර වෙදියෝ ඔක්කොම ගෑණු නෙවෙයිනේ බං..
මං හිනා වෙවී එහෙම කියද්දී විහඟය උගේ තඩි සපත්තුවේ අඩියට කහ මල් පෙති අහුරු අහුරු පිටින් පාගලා දැම්මේ මගේ මල ජනිත කරන්න හිතාගෙන වෙන්න ඇති..

"උඹලා අම්මා උඹට කුරුල්ලෙක් කියලා නම දැම්මට රජෝ උඹන නම් ගහකට වැලකට සතෙකුට මෙලෝ ප්‍රේමයක් තියන එකෙක් නම් නෙවෙයි.උඹට දාන්න තිබ්බේ විහඟ නෙවෙයි දෙව්දත්තර අජාසත්ත වගේ නමක්."

" අඩෝ මේ කසුපයා.., තොට බුදු කෙනෙක්ගේ නමක් තිබ්බා කියලා මෙතන බණ දෙසන්න තියාගන්නෙ නැතුව වැඩක් බලාගෙන පල ඩෝ යන්ඩ..තොට ඔච්චරම මහා කරුණාව පහල වෙලා නම් අර පහළ කැන්ටිමෙන් මෙගේ බඩ ඇතුලේ බල්ටි ගගහා සර්කස් පෙන්නන පණු නැන්දිලා මාමිලාට කිඹුලෙක් ප්ලේන්ටීයක් අරන් දීපිය..අනේ උඹයි උඹේ අසතු රුක් ප්‍රේමයයි."
"යකෝ ඇසතු කියන්නේ ඇහැළ ගහට නෙවෙයි හරකෝ..බෝ ගහට..මෙන්න මෙහේ වර තොගෙ බඩ පණුවොන්ට දොළ පිදේනිය පුදන්න..
මං පර්ස් එක ඇරගෙන අය වැය පිරික්සන ගමන් කැන්ටිම පැත්තට ඇදුනා...


හිතක් පපුවක් නැති අපාය සහයකයා කිය කිය කසුපයාට කොච්චර බැන අඬගැහුවත් මං කටුණායකින් එන දවසේ මහා හයියෙන් මාව බදාගෙන ඇඬුවෙත් මගේ ගෑණු හිතට විහිළු කර කර උගේ අප්‍රතිහත පුරුෂ ධෛර්ය ගැන මහා ලොකුවට පුරාජේරු දොඩවන විහඟයාම තමයි.මොනා උනත් අවුරුදු දොලහටම මගේ රූමා උනෙත් සහෝදරයා උනෙත් බඩ බැඳ ගත්තු කල්‍යාණ මිත්‍ර රත්නය උනෙත් විහඟයා විතරමයි.

..................................................................................................................................................................

ගඟක් අද්දර තිබ්බ යුනි එක වටේටම ගඟට මූණ දාලා මහා විසාල ගස් හෙවණ කරගෙන ලී බංකු හදලා තිබුණා.නගරෙන් ටිකක් ඈතට වෙන්න නිස්කලංක වටපිටාවක ගොඩනැගිච්ච යුනි එක නෙතට ගැටුණු පළමු ඇසිල්ලේම හිතට ඇති කලේ ලොකු පැහැදීමක්..ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් උනත් ඒ සඳහා ප්‍රවේශ හිමිකම ලැබුණේ නම් බොහොම අතලොස්සකටයි.ප්‍රවේශය සඳහා ලොකු තරඟයක් තියන තැනකට අප්පච්චී මුල් පුටුවේ හිඳීමේ වරප්‍රසාදයෙන් ඇතුල් වෙන්න ලැබුණත් මං හන්දා දක්ෂයෙකුට මං ඇහිරුණාදෝයි මගේ හිතේ මෝදු උනු පශ්චාත්තාපය හිත් කොණක ලොකු සන්තාපයක් ශේෂ කලා....
උස උල් උළු වහලවල් ,දිග පඩිපේළි තිබිච්ච පරණ තාලේ මෝස්තරේට හැදිච්ච වාසිටිය පුරාණ චීන පන්සලක් වගේ.ගෘහ නිරමාණ ශිල්පය හෝ වාස්තු විද්‍යාව ගැන මගේ දැනුම බිංදුවෙනුත් සෑහෙන පහල තිබුණත් ඒ බිත්ති පියස් මට චීන ජපන් ච්ත්‍රපටි වල තිබ්බ ආරාම පන්සල් මතකෙට ගෙනාවා..


සිසු පිරිස සීමිත හන්දමද කොහෙද මහා ලොකු කලබගෑනියක් වාසිටිය ඇතුලේ තිබුණේ නෑ.හැබැයි නා නා විද සංගීත සර හතර අන්තෙටම පාවෙලා ගියා.නිස්කලංක වටපිටාවත් හතර අතින් ඇහෙන වැයෙන සත්සර රාවයත් කුළුඳුලේම ඒ බිමට පය තියන ඕනෑම පිටස්තරයෙකුගේ හිත නිවන නෙතු සනහන දසුනක් උනා.එහෙව් අඩවියකට සරසවියගේ ඇල්ම බැල්ම නොවැටුණානම් ඒක මහම මහා ආශ්චර්යයක්....


මං කලිසම් සාක්කු දෙකේ දෑත් ඔබාගෙන කුසීත ගමනින් සරසවියේ සිරි අසිරි වින්දා..රූස්ස ලා රෝස මල් ගහක ආරුක්කු හැඩේකට නැවිච්ච අත්තක් පහලට ගලාන යන ගං දියට මල් පෙති ඉහිරවනවා..මං හෙමි හෙමීට ඒ පැත්තට ඇවිදගෙන ගියා.."රෝස මාර"....නමක් නොදන්න රූස්ස මල් ගහට මම මගේ මනාපෙට නමක් දුන්නා...
ගඟ අද්දරට වෙන්න හදලා තිබ්බ දිග ලී බංකුවේ කෙලවරකට වෙන්න ඉඳගත්තු මං ගං දිය දිගේ රෝස මාර මල් පෙති පාවී පාවී ඈතට ඇදෙනවා බලාන උන්නා..ඝණ සැරේට ගලාන යන දිය කඳ දිගේ කැරකි කැරකි පාවෙලා ගියපු මල් පෙති නෙත් මානෙන් ගිලිහිලා යනතුරුම ඔහේ බලා උන්නු මගෙ දැහැන ඇහෙන නෑහෙන නුහුරු ගැහැණු හඬකින් විසිරිලා ගියා.

"අන්යෝ"
බංකුවේ අනිත් කෙළවරටම වෙන්න වාඩි වෙලා උන්නු නාරි රුවක් ගෙල ඇල කරලා සුන්දර හිනා මල් පොකුරකින් මට දමලා ගැහුවා..හීන් දිගටි නෙත් යුවලත් ,කූරු දිගු වරලසත් ,රෝස කොපුලත් මට ජපන් බෝනික්කියෙක්ව සිහිපත් කළා..

"අන්යෝ"
"ජොනුන්..නොරිකෝ ඉම්නිදා..."
"ඉරමි මොයෙයෝ....."

නුහුරු බසකින් මොනවදෝ කියෝගෙන කියෝගෙන යන අගේ මුව දෙස ඇස් ඉහේ තබාගෙන බලා උන්නා අරුණුකොට ඇය කියූ මෙලෝ මලදානයක්වත් මගේ ඔලුගෙඩියට නම් වැටහුනේ නෑ..

"මේ මොන මරාලයක්ද?" මට ඉබේටම කියවුණා...

ඕ අයි ඈම් සොරි......අයි......

මට වාක්‍ය සම්පූර්ණ කරන්නවත් අගෙන් ඉඩක් නොවුණි.

"මම මරාලයක්වත් පරාලයක්වත් නෙවෙයි"අඩවන් නෙත් පියවෙන තරමටම අඩවන් වෙද්දී කොපුල් රතු වෙද්දී මට දබර ඇඟිල්ලත් උරුක් කරන ගමන් හොඳ පැහැදිලි උච්චාරනයෙන් මේ නොදන්න රටේ තරුණියක් සිංහල කතා කරද්දී මගේ ඇස් ගෙඩි දෙක නළලට නොවෙයි ඉස් මුදුනටම ගිහින් කණ් දෙකෙන් දුම් පිටවෙන්න ගත්තා..


"හත්වලාමයි මේ කෙල්ලට මං කියපු එක තේරුණා විතරක් නම් මදෑ යස අපූරුවට සිංහලෙන් උත්තර දෙනවත් එක්ක..සිංහල පාටක්වත් ගෑවිච්ච නැති කෙල්ලෙක් ඉපදිච්ච දා ඉදන් ලංකාවෙ වගේ කියවන්නේ කෝමද?"
මගේ යටි හිත උඩු හිතට ප්‍රශ්න පිට ප්‍රශ්න කොඳුරන්න පටන් ගත්තා.
"අනේ සමාවෙන්න ..මට වැරදිලා කියවුණේ..කියපු මුකුත්ම තේරුනේ නැති හන්දා.."
මං පුළුවන්තරම් විනීතව සුනීත සෝපාක බැගෑපත් බැල්මට මෝඩපහේ හිනාවකුත් එකතු කරලා සමාව භාජනයේ දමා වසනු මැනවි කියන්න සෙට් උනා.

"හ්ම්..ලංකාවේ නේද..?නම මොකක්ද..?"

"අහ්.... මම කසුප්..."

"කසුප් විතරමද? අග මුල මැද කෑලි නැද්ද?ඔහොමද නාඳුනන කෙනෙක් තමුන්ගේ නම ඇහුවම අඳුන්වලා දෙන්නේ...?

කෙල්ල කියාගෙන කියාගෙන කියාගෙනම යනවා..මලලසේකරටම ඔප්පුවෙච්චාවේ කිවුවලු..මං මේ බබා වෙන්න හදනවා නෙවෙයි..ඒත් පිරිමි ඉස්කෝලෙකට ගිහිල්ලා පන්තියේ පාඩුවේ සයිඩ් ගහන් ඉඳලා කෙල්ලෙක් එක්ක තියා විහඟයා ඇරෙන්න කොල්ලො හතර පස්දෙනෙක්වත් ආශ්‍රය නොකරපු මට තනි පංගලමේ කෙල්ලෙක් අතඩංගුවට අරන් මේ වගේ ප්‍රශ්න කරද්දී හීන් දාඩිය දාල එලොව පොල් විතරක් නෙවෙයි පුවක් එහෙමත් පේන්න පටන් ගත්තා..හපොඉයි දැන් නම් ජපන් බෝනික්කි වයින් කරලා අතෑරියා වගෙයි..මං ෆුල් ගට අරන් කට ඇරියා..

"අහ් සොරි...මං කසුප සිලිලාර සේනානායක..."

"ආ... ප්‍රොෆෙසර් සේනානායකගේ කවුරුහරිද...?"

"ඔව් ඒ මගේ අප්පච්චි..ම්ම් එතකොට ඔයා..?"

"අහ් මම කිම් නූරි නොරිකෝ වර්ණාසි.."

"වර්ණාසි..? ඒක නිකං අන්නාසි සන්නාසි වගේනේ.."

හිතුවිල්ල උපන් පමාවට ඒ ටික කිවුවේ මෙච්චර වෙලා ඇඹරී ඇඹරී උන්න කසුපයාමද කියලා හිතන පරක්කුවටත් කලින්ම වචන ටික කටින් දොට්ට පැන්නා..දැන් ඉතින අපහු ගිලින්නයැ....

"ඔව් ඉතින් කසුප් කියන නමේ කයන්න කැපුවොත් නිකන්ම නිකන් සුප් වගේ තමා"

නොරිකෝත් ගේම අතෑරියේ නැති හන්දා මම ශේප් එකේ සුදු කොඩි ඉස්සුවා..

"හ්ම්...දැන් ඔයාගේ නමේ භාෂා කීයක විතර නම් තියනවද?එතකොට..ඔයා ජපන්ද...?අර ඔයා මට කලින් කතා කරලා කියවගෙන කියවගෙන ගියේ මොනාද..?ඔයා කෝමද මෙච්චරටම හොඳට සිංහල කතා කරන්නේ..?"

වෙච්ච නෝන්ඩියෙන් ගැලවෙන්නත් එක්කම මාත් කෙල්ලට ප්‍රශ්න පත්තරයකින්ම දමලා ගැහුවා..මගේ අර සබකෝලෙද මොකද්ද එක ගඟට වැටිලා ගහගෙන ගිහිල්ලද කොහෙද..කිඹුලෙක්වත් ගිල්ලද දන්නේ නෑ..


"අම්මෝ..ඒ හැර මේ හැර තවත් ප්‍රශ්න තිබේද..?අඹ පැනය නෑ පැනය එහෙම තව ඇහුවෙත් නෑ නේද..?"

හුටා පටෝරියා..අම්මට සිරි කිවුවලු...මේ ජපන් බෝනික්කි දැන් අඹ පැන නෑ පැන ගැනත් අහන්න පටන් අරන්...

" ඕන්න ඉස්සෙලාම කිවුවා මම ජපන් නම් නෙවෙයි.."
"කිම් කියන්නේ මගේ වාසගම..නූරි කියන්නේ මට තාත්තා දාපු නම"..
"එතකොට ඔය දෙකමයි මගේ තාත්තයි කියන තුනම කොරියාවේ..."
"නොරිකෝ වර්ණාසි කියන්නේ මගේ අම්මා දාපු කෑල්ලක්ලු..නොරිකෝ කියන ජපන් නමටයි වර්ණාසි කියන සිංහල නමටයි අම්මා ගොඩක් ආසා කලාලු.."
"මගේ අම්මා ලංකාවෙ සුද්ද සිංහල,,ඒකයි මට මෙච්චර හොඳට සිංහල පුළුවන්.."
"එතකොට මං කියන්නේ ලංකාවටත් කොරියාවතත් ජපානෙටත් නැති කලවමියක්.."

හ්ම්.. නොරිකෝ එක හුස්මට දිග හෑල්ලක් කියගෙන කියාගෙන ගියා..

"හ්ම්.. නෑ අපි මෙහෙම කියමු...කොරියාවත් ජපානෙත් ලංකාවත් අතරමැද ඉන්න අති විශේෂ පිස්සු මරාලයක්...කල්වමීට වඩා පිස්සු මරාලෙ හොඳයි මං හිතන්නේ.."

මං එහෙම කියද්දී නොරිකෝ එයාගේ පුංචි ඇස් තවත් පුංචි කරලා ලස්සනට හිනා උනා...අතෝරක් නැතුව ඔහෙ කියවන මේ නාඳුනන කෙල්ල එක්ක හරි හරියට දොඩමළු වෙන මං ගැන මටම පුදුම හිතුනා..මේ නොදන්න භූමියට පය තිබ්බට පස්සේ කුළුඳුලේම මාත් එක්ක දොඩමළු වෙච්ච මේ කලවම් කෙල්ල හරි ඉක්මනටම මාහ් එක්ක මිතුරු උනේ මටත් මගේ හිතටත් හාංකවිසියක්වත් නොදැනීමයි...

Thursday, July 25, 2013

යන්න බෑලු හිතට

 


එන්න කියනවා මට

ඒත් යන්න බෑලු හිතට
පා සුළැඟිලි කොණක්වත්
මනාපේ දෙන්නේ නෑ
එහේ ගිහින් නවතින්න
එහේලු ජීවිතය
පවුල ගෙදර හැමදේම
ඒත් නොදැනේ එහෙම
ඇයිද දන්නෑනේ මම
මේ ගෙන්දගම් පොළවට
ගිණිකණ වැටිලානේ මම
සැප නැතත් දැනෙනවා
මෙහේදි හුස්ම වැටෙන වග
හොයලා හොයලා අමාරුවෙන්
අල්ලගත්තු ජීවිතය
දමලා එන්නලු මට
ඒත් යන්නේ කෝම මම
ඇබින්දක් තරම්වත්
හිත කීකරු නෑනේ මට......




වැස්ස




වැස්ස නුඹ
ඇද හැලෙන්
ගිණි ගහන 
දෙරණ පිස
ශේෂ නොකරන්
දූලි පොදක්වත්
දියකර දමාපන්
වැහි පොදෙන්
කුණුවෙමින් පැහවන
ගඳගහන මතකයන්
නිවී යාවී
ඒ සිහිලෙන්
ඇවිලෙන සන්තානයම
හැමදාටම නැතත්
තව ටික දිනක් හරි.......

Saturday, July 20, 2013

මළ මඟුල් ආදරේ...


කඳුලු බිංඳු මොර ගෙඩි වගේ ඇස් අගිස්සෙන් පොරකාගෙන කඩාගෙන වැටෙනවා.ඇස් කොන් ඇදුම් කනවා.සන්තානෙම හිස් වෙලා.හිත ඔහේ පාවෙනවා.පපුව පසාරු කරගෙන පිහි තුඩක් ඉහළ පහළ යනවා වගේ.මතකයන් වණයක් වෙලා වද දෙනවා.හිතත් ඒ අස්සටම රිංගගෙන කුණු වෙවී පැහැවන්න දගලනවා.ළඟින් ඉදලා වාශ්ප වෙලා ගියපු උණුහුම , සෙනෙහස විතරක් නෙවෙයි ඉඳහිට කේශානත්යේ ඉදන් පා සුලැඟිලි අගිස්ස වෙනකම් ගිණියම් කරපු රාගී ස්පර්ශයට පවා හිත හීනෙන් වගේ ඉව කරනවා.දුක පුරවාපු ඊයම් බරුවක් පපුවේ ගැඹුරුම පතුලකට කිඳාගෙන ගිහින්.කොච්චරවත් ඇදලා එලියට දාන්න හැදුවත් හෝද හෝද මඩට බහින්නා වාගේ හිත අස්සේම එරෙනවා.ඇස් ඉස්සරහපිට රූප පිට රූප මවන ඉස්සරෝම දවසක මතක අහුරු පොදි දිහා බලාන හිත් පොඩ්ඩ විඳිමින් විඳෝනවා.......ජීවිතය ඇයි මෙච්චරටම හිස්?හැල්මේ දුවාපු ලෝකෙම මන්දගාමී වෙලා කැරකෙනවා.නුරුස්නාව ඉහ මුදුනටම ගහලා.උදාවෙන හැම දවසක්ම පැහැවලා ගඳ ගහන තුවාලයක් වගේ...වණයක් දදයක් කුශ්ටයක් වගේ.ඇදුම් කනවා.ගැඹුරු පාතාලෙකට ඇදගෙන යනවා වගේ.බඩ ගාගෙන තුවාල කරගෙන කටු පඳුරු වල එල්ලිලා කපාගෙන සූරගෙන නියපොතු කඩාගෙන උඩ කෙළවරට කිට්ටු කළාම ආයෙමත් අඳුරු අගාදෙටම ඇදිලා යන්වා.හමාගෙන එන හුලඟ පවා කටෝරයි වගේ.රුක් කඳන් අතු ඉති පොළොව උඩ සිත්තම් කරන හෙවණැලි පවා මුසලයි......බෑ...දැන් ඇති..මේ ඇති හොඳටෝම ඇති.......

ඒත් බූමරන්ගයක් වගේ ඈතකට ගුලි කරලා විසික්කරලා දාපු මතක හිතුවිලි, පර්වත වගේ ඝනකම් වෙලා කැරකිලා ආයෙමත් ඇවිත් ඔලු කට්ටම වදිනවා.තුත්තිරි වගේ හිත් රෙද්දේ ඇලිලා දස වද දෙනවා..හරියට හිත තුත්තිරි ගාලක් අස්සට රිංගගෙන වගේ.දහයක් ගලවද්දී සීයක් ඇලෙනවා.චිත්තප්‍රීතිය ප්‍රබෝදය ඇබින්දන් බින්දුවක්වත් නැතිවෙන්න උරා බීලා..හරියට කූඩැලි ගුලියකට පය ගැහුවා වගේ.මේ ඇට්ටර හිත තමා හැම මඟුලකටම මුල..විඳින්නත් මුල.විඳවන්නත් මුල..ආදරේ ආදරේ කියලා බදලා මිරිකලා අල්ල ගත්තා..දැන් ඉතින් කටු ඉඹුලක් බදා ගත්තා වගේ විඳෝනවා.විඳවපන් තව විඳවපන්..ඇලීම් දුකක් බැඳීම් දුකක් කියල දැන දැනම අලවගෙන බන්ඳගත්තා නම් විඳවන්නම වෙනවා.ඒත් දැන් විඳවිල්ලත් විඳිල්ලක් වෙලා

..හිත අරා පැතිරිච්ච අන්ධකාරෙත් හීනි රහක් දැනෙන්න පටන් අරන්..අන්ධකරයා ඔහේ උගේ පාඩුවේ ඉන්නව..මගේ පැත්තකට වෙලා.මට ඌ පන්නන්නත් ඔනේ.ඒත් ඔහේ පාඩුවේ වැටිලා ඉන්න ඌත් එක්කම ඉඳලා ඉඳලා දැන් ඌ නැතුව කෝම ඉන්නද හිතෙනවා.තිත්ත කටෝර පාළු මූසල අන්න්ධකාර හිතුවිල්ලා ටත් මං දැන් ප්‍රේම පුරන්න පටන් අරගෙනද කොහෙද..ලැජ්ජ නැති හිත..මූම තමා පණ පිටින් මාව ගඳ ගහන මතක වගුරේ ගිල්ලන්න හදන්නේ...ඔද්දල් වෙච්ච හිත් පොඩ්ඩ වංකගිරි හතක අතරමං උනා වගේ.සහන් එළියක් කියලා ලං උනාට මං නිකන්ම නිකන් පුහු එළියකට ගිණිකණ වැටිලා මද්දකට පැන්නා.

ඇතුල් ලෝකේ,පිට ලොකේ,දෙකම කවලම් උන මගේ ලොකේ මේ තුන් ලොකේම ඉන්න සුරයො අසුරයො එක්ක ඔට්ටු අල්ලල මට දැන් හොඳටෝම හති..තවත් අඩි බාගයකට තරම්වත් පය උස්සන්න හයියක් සුලැඟිලි කෙළවරකවත් ඉතිරි වෙලා නෑ..මුළු සර්වාංගෙම අවසඟ වෙලා ගිහිල්ලා.වංකගිරි මතක දුමාරෙක හිත පැටලිලා අතරමං වෙලා...දවස් ගණන් , සති ගණන් කුසීත සුව විඳන් ගුලි ගැහෙන්න හිත පුදුම තරම් පෙරේත වෙලා....සත පහකින් හතරෙන් පංගුවක් තරම්වත් මේ විඳවිල්ලෙන් කාටවත් වැඩක් නෑ.ඒත් ඇයි තවමත් මට මේ වනයම කොණහ කොණහ විඳවන්න ඕනේ.යථාර්තයට පය ගන්න බැරි ඇයි?අලුත් ඉරක් හඳක් යට හුස්ම ගන්න , ආයෙමත් පාරක් ලෝකෙම ලස්සන දකින්න බැරි ඇයි ?වැහි හීතලට අගු පිලකට ගුලි ගැහෙන කුක්කෙක් වාගේ මේ උලවු හිත කට්ට අස්සටම රිංගන්නේ ඇයි?

ඇයි ඇයි ඇයි ඇයි...................දැන් මට ඇති වදේ හොඳටෝම ඇති...........මළ මඟුල් ආදරේ...

Monday, July 15, 2013

.....පියානෝවී.....

පාන්දරම ගැබ්බර වෙච්ච ආකාහෙන් හෙමි හෙමීට මල් වැහි ඇද හැලෙන්න පටන් අරන්. ලාවට ගලාන යන හීන් මීදුමත් එක්ක චුරු චුරු ගගා කාඩගෙන වැටෙන තෙතබරියම් වැස්සට මං කවදත් ආසයි.මං හීතලට ගල් ගැහිච්ච ජනෙල් පළුවට කම්මුල තද කරගෙන ඈත කන්දෙන් එහා හීනියට පාට වෙච්ච දේදුන්නේ හැඩ බැලුවා.පේළියට ඇදිච්ච පාට රේඛා තෙතබරියම් වළකුළු උඩ හරි අපූරුවට පාට තවරලා රටා ඇඳලා තිබ්බා.

පැය කීපයක දීර්ඝ ගුවන් ගමන තෙහෙට්ටුවටත් වඩා මාව ප්‍රබොධමත් කළා.ගත වෙලා ගියපු පැය කීපය මට බලන්න , විඳින්න වගේම හිතන්න දේවල් බොහෝමයකුත් ඔලුව අස්සට පුරවල දාලා නොදැනීම ගෙවිලා ගියා.අවුරුදු දොලහක්ම හුදෙකලාව ගෙවිලා ගියපු පාළු ජීවිතෙට විරාමයක් තියලා මේ ලොකේ ඉන්න සමීපතම මගේම කියන්න පුළුවන් එකම එක ප්‍රාණියා එක්ක අළුතෙන් ආයෙමත් ජීවිතේ පටන් ගන්න මුළු හිතින්ම එකලස් වෙලයි මං කටුනායකින් පිටත් වෙලා ආවේ.මේ දවස උදා වෙනකම් මහා දෙගිඩියාවක් හිත අස්සේ පුරෝගෙන මං මගේ ජීවිත කාලෙන් භාගෙකටත් වඩා මඟ බලාන උන්නා.


හද්දා වැහි වහින මූසල හැන්දෑ වරුවක කළු පාට ලොකු කුඩයක් යට ගල් ගැහිලා අම්මාගේ සොහොන් කොත දිහා බලාන උන්නු ඇල්මැරුණු හිස් සීතල ඇස් දෙක තමයි අප්පච්චි ගැන මගේ හිතේ ඇඳිලා ශේෂ වෙලා තිබුණු අවසාන මතකය.ඒ මගේ අටවෙනි උපන්දිනේ දවසේ... එදායින් පස්සේ මගේ ජීවිතෙට ආපහු නොයෙක් දින උදා උනත් ඒ දින අස්සේ උපන් දිනයක් කියලා දිනයක් කොතනකවත් ඉතුරු වෙලා තිබුණේ නෑ..


ඒ මහා අසනිපාත වැහි කළුව අස්සේම අප්පච්චිත් බොඳ වෙලා ගිහින් තිබ්බා.හැමදේම අතෑරල දාලා , තමුන්ගේම ලෙයින් ජනිත කළ මාව පවා මේ මහ පොළොව උඩ තනිකරලා දාලා අප්පච්චි කොහේදෝ තිබුණු දුරු ඈත රටක හැංගිලා ගියා. අප්පච්චිව මේ පොළොව උඩට ඇදගෙන බැඳගෙන තියා ගත්තු එකම බැඳීම අම්මා.. ඉදින් ඒ බැම්ම කඩා බිඳ දාලා අම්මා නේන ගමනක් ගියාම හිස් වෙච්ච අප්පච්චිගේ හිතටත් මේ මහ පොළොව උඩ පැලපදියම් වෙන්න තරම් එකලාසයක් තියෙන්න නැතුව ඇති.


මං අවුරුදු අටේ ඉදන් බෝඩිං පාසලක නිත්‍ය සාමාජිකයෙක් වුනා.අම්මගේ අප්පච්චිගේ උණුහුම අහිමි වෙලා සීතල බෝඩිං කාමරේක කට්ට කළුවරේ තනි වෙලා ජනේලයට එපිටින් හෙලවෙන අතු කොළ ඉති වල හෙවණැලි වලට පවා බිරන්තට්ටු වෙලා දත කට පූටු කරන් ඇහි පියන් තද කරගෙන කොට්ටේ බදන් නිදා ගන්න වලි කාපු පළවෙනිම දවසේවත් මාව මෙහෙම තනි කරලා දාලා ඈත ගියපු අප්පච්චි ගැන මගේ හිත් කොණකවත් තරහක් උපන්නේ නෑ.


මට අම්මා අප්පච්චී හැරුණු කොට මේ ලොකේ මගේ කියන්න කිසිම ඥාතියෙක් දැනගෙන උන්නේ නෑ.එහෙම කෙනෙක් කවම කවදාකවත් අපේ ගෙදරට ගොඩවැදිලා තිබුනෙත් නෑ.


"සුදු අප්පච්චියෝ ,සූට්ටං පුතුට නෑදෑයෝ නැද්ද? නෑදෑයෝ කෝ?.... "


මං හෝඩියේ පන්තියේ දී නෑදෑයෝ ඇඳලා පාට කරන් එන්න ගෙදර වැඩ දීපු දවසක අප්පච්චීගේ ඔඩොක්කුවට වෙලා තොඳොල් වෙවී හුරතල් වෙද්දී අහපු ඔය ප්‍රශ්නේ තමා නෑදෑයෙක් ගැන මං අප්පච්චිගෙන් ප්‍රශ්න කරපු පලවෙනි සහ අවසාන වතාව.


"මගේ සූට්ටං සත්තලන් පුතු පැටියට සුදු අප්පච්චියයි , සුදු අම්මියයි හිටියාම මදිද ?අපි දෙන්නා තමයිනේ වස්තුවේ ඔයාගේ නෑදෑයෝ..."


ඉතිං පන්තියේ හැමෝම සීයලා ආච්චීලා මාමලා නැන්දලා බාප්පලා පුංචිලා මෙකී නොකී නෑදෑ සනුහරයක් පෝලිමට ඇඳගෙන එද්දී මං මගේ කොලේ පිරෙන්න අම්මවයි අප්පච්චිවයි සිත්තම් කරලා පාට කරලා උජාරුවෙන් ඉස්කෝලෙට උස්සාගෙන දිව්වේ පුදුම තරම් සන්තෝසෙකින්.
ඇත්තටම මගේ ගෙදර ආදරේ පිරිලා ඉතිරිලා තිබුණා..මං මේ ලොකේ දැකපු ලස්සනම ආදරේ තිබුණේ මගේ අම්මාගෙයි අප්පච්චීගෙයි ලඟ...


"සුදු අම්මියෝ... කාටද අම්මියා වැඩිපුරම ආදරේ ?
 "

මං කොයි වයසක ඉදගෙන ඔය ප්‍රශ්නේ ඇහුවත් මගේ අම්මා ගාව ඉතිරි වෙලා තිබුණේ එකම එක උත්තරයයි..

"සුදු අප්පච්චියාගෙන් පස්සේ මගේ සත්තලන් පුතු පැටියට"
ඇත්ත අම්මා වැඩිපුරම ආදරේ කළේ අප්පච්චිට..ඒ ඇස් අස්සේ ආදරේ ඇරෙන්න පුංචිම පුංචි නෝක්කාඩු බැල්මක් කවමකවදාකවත් ගෑවිලාවත් තිබුණේ නෑ.මගේ අම්මා කවදාකවත් කොට්ටයක් උඩ ඔලුව තියන් නිදා ඉන්නවා මගේ ජීවිතේටම මං දැකලා තිබුණේ නෑ.අප්පච්චිගේ උරපත්ත තරම් සනීපයක් අම්මට පුළුං කොට්ට වලින් හොයා ගන්න බැරි වෙන්න ඇති.


ඉතිං ඒ ආදරේ එක පාරටම හොරු අරං ගියා වගේ අතුරුදහන් උනාම අප්පච්චිට දරාගන්න මහා ගොඩක් අමාරු විත්තිය ඒ පුංචිම වයසේ දී පවා මට තේරුම් ගියා.ඒ හන්දම වෙන්න ඇති කවම කවදාකවත් අප්පච්චී ගැන අබ අටයක් තරමේ කේන්තියක්වත් , මං තනිවුනු එක ගැන පුංචිම හරි දුකක් පසුතැවිල්ලක්වත් මගේ හිත් මුල්ලකවත් උපන්නේ නැත්තේ.......


"කසුප්....... එන්න කෑම කන්න...."

මගේ හිතුවිලි දැහැන විසිරිලා ගියේ කාමරේ දොර අද්දරින් ආව අප්පච්චිගේ කටහඬත් එක්ක...අප්පච්චි හුඟක් වයසට ගිහින්.හයේ හතරේ ආරෝහ පරිණාහ දේහයේ හැඩ හුරුකම් එහෙන් මෙහෙන් ශේෂ වෙලා තිබුණත් නොකැපූ රැවුල් කොට සුදු වෙලා ගියපු කොන්ඩ ගස් වයසටත් වඩා වියපත් බවක් ඒ ශරීර කූඩුවට අරං ඇවිත් තිබ්බා..

බටර් ,මාමලේඩ් ,සොසේජස් ,ඔම්ලට්, ලොකුම ලොකු ටෝස්ට් පිඟානකටත් පස්සේ දුම් දමාගෙන මේසෙට ආපු කළු කෝපි කෝප්පයේ අවසාන උගුරත් ගිල දානකම් මට ඉස්සරහා පුටුව උඩට වෙලා රූකඩයක් වගේ හැම දේම ගිල දමාපු අප්පච්චී නිහඬ බව බිඳින්න කිසිම දෙයක් කිවුවේ නෑ. හැඳි , ගෑරුප්පු , පිහි විතරක් පිඟන් වල හැපි හැපී කතා කලා.


"කසුප් මාත් එක්ක අමනාපෙන්ද..?"

සූට්ටං පුතු කියන්න ලොකු වැඩි හන්දද නැත්නම් ඒ නම මතකයෙන් ගිලිහිලා ගිහිල්ලා හන්දමද මං දන්නේ නෑ අප්පච්චී දැන් මට මගේ නමින්ම කතා කරන්න පටන් අරන්..අප්පච්චීගේ කටින් කසුප් කියලා ඇහෙද්දී නුහුරක් දැනුනත් මං හෙමීට ඇස්පියන් උස්සලා අප්පච්චී දිහා බලලා

"අනේ නෑ අප්පච්චී..." කිවුවා.

සුදු අප්පච්චියෝ කියන්න මගේ දිව නැමුණත් සූට්ටං පුතු වගේම සුදු අප්පච්චියත් අතීත මතකයන් අස්සේ අඳුරු මුල්ලක ආපහු එන්න බැරි විදියටම ජීවිතාන්ත සිර දඬුවමකට යටත් වෙලා තිබුණා.

"කසුප් ඉස්සරහට මොනාද කරන්න හිතාගෙන ඉන්නේ?"


ඉවරයක් නැති හිතුවිලි හිත අස්සේ හොල්මං කරනවා.ඇත්තට ඉස්සරහට මොනා කරන්නද කියලා මගේ හිතේ කිසිම පැහැදිලි අදහසක් නෑ.ඉස්කෝල ජීවිතේ අහවර වෙනකොටම මේ අවුරුදු දොළහටම අප්පච්චිගෙන් ආපු එකම ලියුම් කඩදහිය විශ්වාස කරන් මෙහාට ආව මිසක් එතනින් එහාට මොනා කරන්නද කියලා අදහසක් ලාවටවත් මගේ හිත් කොණක ගෑවිලා තිබුණේ නෑ.ඉතින් පාන් කුඩු අරන් ගෑරුප්පුව දිගේ ගාටන කූඹියෙක් දිහා අනිමිසලෝචනේ දාන අහු අස්සේ අප්පච්චි අපි දෙන්නා අතර තිබ්බ නිහඬ ව්‍රතය බිඳින්න කටහඳ අවදි කළා


"කසුප් , අද මං ඉන්නේ මේ රටේ තියන ප්‍රසිද්ධම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මුල් පුටුවේ...මං පිළිගන්නවා අවුරුදු දොළහක්ම කසුප්ව ලංකාවේ තනිකරලා දාල ඉඳලා මෙච්චර කල් ඔයා තනියම තීරණ අරන් ගත කරපු ජීවිතේට එක පාරටම මේ විදියට බලපෑම් කරන එක වැරදියි කියලා..ඒ වගේම කසුප්, ඔයා මාව තෙරුම් ගනී කියලා මං විශ්වාස කරනවා........."


අප්පච්චි දිගටම කතා කලා.අවුරුදු දොළහකට පස්සේ ඒ ගෙවිච්ච අවුරුදු දොළහටම තමුන්ගේම අප්පච්චිගේ ජීවිතේ සිද්ධ උනේ මොනාද ,එයා කරන්නේ කියන්නේ මොනාද කියන එක ගැන පුංචිම හරි හෝඩුවාවක් ලැබුණේ අදයි..මේ දැනුයි..
හ්ම්..... එහෙනම් අප්පච්චි මියුසික් අතෑරලා නෑ..ඉස්සරෝම දවසක මැද සාලේ ඉදන් ගෙයි හැම අහු කොණකටම පාවෙලා ගියපු අප්පච්චිගේ පියානොවේ සද්දෙයි අම්මාගේ කිංකිණි කටහඬයි ගෙදර පුරාම පුරෝලා තිබුණු සංගීත භාණ්ඩයි අතීත මතක අහුරක මගේ හිත දැහැන් ගත කළා.එහෙනම් අප්පච්චී අදටත් සප්ත ස්වර අස්සේ හැංගිලා තිබ්බ අම්මාගේ මතකයන් එක්ක ජීවත් වෙනවා.එයා එයාගේ ආදරේ අදටත් ජීවත් කරවන්නේ එහෙමයි...මේ තරම් කාලයක් ගතවෙලා ගිහිල්ලත් ජීවිතේ හැමදේම අතෑරියත් මියුසික් අතනෑරියේ අම්මගේ හිතේ එයාලගේම කියලා සංගීත පාසලක් පටන් ගන්න තිබිච්ච හීනේ හන්දා වෙන්න ඇති.තමුන්ගේම නොවුනත් අද අප්පච්චී නන්නාඳුනන රටක සංගීත පාසලක මුල් පුටුවෙනේ...


"මං කැමතියි කසුප් මෙහේ ඉදන් තමුන්ගේ උපාධිය සම්පූර්ණ කරනවට..ඒ වගේම මේ විශ්වවිද්‍යාලේ ගුරු මණ්ඩලයටම අනාගතේ දී එකතු වෙනවටත්.. මේ ගැන කසුප්ගේ විරුද්ධත්වයක් නෑ කියලා මං හිතනවා.. මං හරි නේද කසුප්? "

මගේ හිතේ හිතුවිලි එක පිට එක පොදි ගැහිලා 
මතක අහුරු පීරද්දී අහම්බෙන් වගේ කණ වැකුණු අප්පච්ච්ගේ කතාවේ අන්තිම පේළි දෙක අහුලගත්තු මං බිම බලා ගෙනම

"ඔව් අප්පච්චී.... , අප්පච්චිගේ කැමැත්තක් " කිවුවා.
දිග හුස්මක් හෙලන ගමන් සංවාදය අවසන් කරලා කෑම මේසෙන් නැගිටලා ගියපු අප්පච්චී ආපහු පුරුදු විදියටම එයාගෙ අඳ ගොළු බිහිරි ජීවිත කටුව අස්සට රිංග ගත්තා.


ගෙවුණු අවුරුදු දොළහා වගේම ඉදිරි ජීවිත කාලයත් අනාථ කොල්ලෙක් වගේ තට්ට තනියම ගෙවලා දානවට වඩා මේ වහල යට ඉදන් ඕන මළ මංගල්ලයක් කරන්න මගේ හිත තනි පයෙන් මනාප වෙලා උන්නා.ඒ හැමදේටමත් වඩා සංගීතේ කියන්නේ මට අම්මාගෙන් අප්පච්චීගෙන් ලැබුණු ඇට මිඳුළු වල ඉදන් ශරීර කූඩුව අස්සේ දුවන හැම ලේ බිංඳුවක් බිංඳුවක් ගානේම ගෑවිලා තිබුණු උප්පත්ති දායදයක්.. ඒ හන්දා අප්පච්චීගේ යෝජනාවට මනාප මිස අමනාප වෙන්න මට කියලා කිසිම හේතුවක් තිබුණේ නෑ.. 

  • 0

Wednesday, July 10, 2013

හිතුවක්කාර විසේකාරී


ෆයිල් කවරය දිහා බලන් උන්නු ජුගුප්සාජනක විපරීත දෑස් කණ්නාඩි රාමුවට යටින් නිනව්වක් නැතුව මගේ නාරි දේහයේ දිග පළල උස් මිටි තැන් අතරේ උඩ යට දුවනවා..එකත් එකටම මේ මිනිහා දැනටමත් මාව මනෝමයෙන් ඇඳක් උඩට පෙරළගෙනත් ඇති..යටිහිත අතෝරක් නැතුව ඒ විපරීතයාට චරිත සහතික නිකුත් කරද්දී විපරීතයා මගේ සහතික මිටියේ නෙත් පටලවාගෙන සුදුසු නුසුදුසුකම් කිරමින් හිටියා...

නුසුදුසු පැත්තේ බර වැඩි වෙද්දී දෑස් කරකවමින් ඇද පැද සුදුස්සට බර තියන්න ඇරයුම් ගේන ඉඟිය හොඳහැටි තේරුම් ගියත් නොතේරුණා වගේ බකන්නිලන් උන්නේ කලබගෑනියකට වඩා මෝඩ මන්දස්මිතිය හොඳයි කියලා ගෑනු ඉව හෙමීට කොඳුරපු  හන්දා..


"මීට කලින් පත්තර කන්තෝරුවක වැඩ කරලා තියනවද?"


වචන වලට කලින් පිට පන්න කෙළ තලිය මූණට විසිවෙන්න නොදී හෙමීට පස්සට වෙන ගමන් මම නෑ කියන්න ඔළුව වැනුවා...වචන පිට නොකලේ කතා කරන්න බය හන්දා නම් නෙවේයි..ඇරිච්ච කට ඇතුලෙන් කුණු කෙළ අස්සට රිංගගනී කියලා තිබිච්ච අපුල  හන්දා.. 


දරුවෝ වගේ පරිස්සමට ඇහේ තියාගෙන හදපු , ලියපු කියපු ලිපි ලේඛන ගොන්න උඩින් පල්ලෙන් බලලා කිසි සැලකිල්ලක් නැතුව දඹර ඇඟිලි තුඩින් පැත්තකට තල්ලු කරලා දැම්මේ  පුස් කාපු පාන් පෙත්තක් තල්ලු කරලා විසි කරන ගාණට..

 "...ම්ම්...ආර්ට්ස් කරලත් නෑ නේද....?උපාධි මොකවත් එහෙමත් නෑනේ..දැනුම් තේරුම් අත්දැකීම් ගන්න තරම් වයසකුත් නෑ මගෙ හිතේ...පත්තරකාරියක් වෙන්න නම් දරුවෝ......."

මිනිහා ඇදලා පැදලා අන්තිම වචන ටික කියපු තාලෙට නම් මගේ  ඉහ මොල රත් උණා...


"ඇයි හත්වලාමේ මේ ලෝකෙ උන්නු හැම පත්තරකාරයාම ආර්ට්ස් ද කලේ..උපාධිකාරයෙකුට විතරමද පෑන අහුවෙන්නේ... මගේ සරීර කූඩුව පුරාවටම උඩ යට දුවන තමුසේගේ ඔය වලත්ත බැල්මට එක ඉඟියකින් හා කිවුවානම් වෙන දේ මීට වඩා හුගාක් වෙනස් කියලා නොතේරෙන තරමටම මම බබෙක් නෙවෙයි මිනිහෝ .." කියන්න මගෙ දිව නළියව්වත් මං වචනයක්වත් නොදොඩාම ඔහේ බලාන උන්නා...උඩු හිත කැරළි පිට කැරළි ගහද්දී යටි හිත කිවුවා ඉවසපන් ඉවසපන් තව ඉවසපන් කියලා..


"ඔය ළමයා නිවාඩුපාඩු වෙලාවක මාව මුණගැහෙන්න ආවොත් නම් මට පුළුවනි ඔය ළමයට ලේඛන කලාව වැඩි දියුණු කර ගන්න දැනමුතුකම් දෙන්න...."


ලේඛන කලාව කෙසේ වෙතත් ළමයට ළමයෙක් හම්බුවෙන තැනට නම් වැඩ සිද්ද කරන්න නම් බැරි වෙන එකක් නැති වෙයි මං හිතන්නේ.. උඩු හිත මහා හයියෙන් බෙරිහන් තලද්දී යටි හිත නම් කිවුවේ අල්ලලා දාල යන්න නැකත හරි කියලයි...


"බොහෝම ස්තූතියි සර්....මම පුරුදු වෙන්න ආධුනික කොළමට ලියලා තැපල් කරන්නම්කෝ..හොඳයි නම් අඩුපාඩු එහෙම හදලා පල කරන්න පුළුවන්නේ.."


දනි පනි ගාල ෆයිල් කවරෙට ලට්ට පට්ට දාගෙන හැරිලා එන්න කලින් මං බොහෝම විනීතව විපරීතයගේ ඔළු ගෙඩියට හීන් ටොක්කක් ඇන්නා...

...................................................................................................................................................................


හ්ම්... ස්වාධීන නිදහස් ජීවිතයක් හොයාගෙන ඇවිල්ලා මූණ දීපු පළවෙනි සම්මුඛ පරීක්ෂණේ.....නිදහස් නිවහල් චින්තනේ තරම්ම ප්‍රායෝගික නිදහස බුක්ති විඳින එක ලේසි නෑ කියලා කියලා සතිය දෙක ගත වෙදවෙද්දීම තේරුම් ගියා  ..සම්මුඛ පරීක්ෂණ දහයක් පහළොවක් නෙවෙයි මහා ගොඩක් කෙළවර උනේ පත්තර කන්තෝරු විතරක් නොවෙයි දන්න නොදන්න හැම මලදානෙකම තිබ්බ පුරප්පාඩු වලට දාපු ඉල්ලුම් පත්තර පුස්සක් කරමිනුයි..පුංචි කාලේ ඉඳන් තිබිච්ච යාළු කමට කාමර කෑල්ලේ වැටිලා ඉන්න දුන්නට තාරුකාටත් මාව මහ මෙරකට පොඩියක් අඩු වෙන්න මහා බරක් උනා කියලා නොදැනුනාම නෙවෙයි...ඒත් ගෙවෙන හැම තත්පරයකදිම ඉවෙන් වාගේ මට උරුම ජීවිතය , මගේ ඉරණම මේක නොවෙයි කියලා තදින්ම දැනුනා...ඒත් ඒ ඉව පාර දිගේ උඩු හිත යටි හිත පීරාගෙන හැම අහුමුල්ලක්ම අතගෑවත් උරුමයට නිසිතැන ලැබෙන  ඉසව්වක් හොයා ගන්න නම් බැරි උනා..අවිනිශ්චිතතාවය රතු කට්ටක් පන්නගෙන ඉහළටම ගිහින් තිබ්බත් ලාවට වගේ තිරසාර හැගීමක කළලයක් හිත් ගැබේ මුල්ලක මෝරන්න පටන් අරන් තිබුණා.පුංචි සන්ධියේදී දැකපු හැම හීනයක්ම අස්සේ පත්තර කාරියෙක් ජීවත් උනත් බිළිඳු හීන වලට හැබෑ ජීවිතේ තියන ඉඩ කඩේ දිග පළල ගැන ගඳ ගහන කඨෝර තිත්ත ඇත්ත තේරුම් කරවන්න  සති දෙකක් තුනක් යන්නත් කලින්ම කුණු කෙල විසිරුවන විපරීතයාටත් , විපරීතයාට පක්ෂ විපක්ෂ සමකාලීන මාධ්‍ය සගයන්ටත් බොහෝම අපූරුවට පුළුවන් උනා.එහෙම උනා කියලා මොකක් හරි පිදුරු ගහක එල්ලිලා ජීවිතේ හොයනවා මිසක ස්වාධීන ජීවිතයක් හොයන්න පයින් ගහල අතෑරලා දමාපු පරධීන හණමිටි සිපිරි ගෙයට ආපහු අඩිය ගහන්න ඇට්ටර උඩු හිතේ තියා යටි හිතේවත් ඇබින්දක තරමේ මනාපයක් තිබුණේ නෑ..ඉතින් තුනෙන් දෙකේ මනාපයක් හොයාගන්න බැරුව අසරණ වෙච්ච ආපහු ගෙදර යන යෝජනාව සභාවට ගේන්නත් කලින්ම නිශ්ප්‍රභ උනා....

...................................................................................................................................................................
මං කේතකී...ගම නුවර...අකුරු කලේ කන්ද උඩරට ජනප්‍රිය බාලිකා පාසැලක..පවුලේ බඩ පිස්සි..බඩ පිස්සි උනා කියලා නම් හැම බඩ පිස්සියෙකුටම උරුම හුරතලේ , නිදහස , ආදරේටත් වඩා මට උරුම උනේ දණ්ඩ නීති සංග්‍රහයක්...රදළ පැලැන්තියේ පුරාජේරුවයි , නම්බු පිස්සුවයි , පුහු මාන්නෙයි අතර හිර වෙලා උන්නු ලොකු අප්පොයි, කුමාරිහාමියි, පුංච් අප්පොලා දෙන්නයි සන්ධාන ගතවෙලා මගේ නිදහස් චින්තනය කීතු කීතු වලට ඉරලා දාලා පවුරු පිට පවුරු බැඳලා කොටු කරලා තිබ්බා..

පුංචිම කාළේ ඉඳන් එක පෙළට කිසි අඩුවක් නැතුව සිද්ධ වෙච්චි හිත් රිදවීම් , අතුල් පාරවල් ,ගැලුම් ගණන්  ලුණු රහට රූටලා ගියපු හොටු කඳුළු ,කා කොටා ගැනිලි බෝහොමයක උච්ඡතම අන්තයේදී මං වලව්වෙන් අභිනිශ්ක්‍රමණය කළා..දෑල බණ්ඩාර වාසගමයි උප්පැන්න සහතිකේ කොටු පුරවලා තිබුණු අම්මගෙයි අප්පච්චිගෙයි නම් ඇරෙන්න මං වලව්වෙන් උරුම වෙච්ච සබ්බසකලමනාවම දොර දන් දුන්නා..නැතුවම බැරි හන්දම ලඟ තියාගත්තු උප්පැන්නෙයි , වාසගමයි උනත් අවශ්‍යම උනු වෙලාවක ඇරෙන්න එළියට නොගෙන වහුං කරන් ඉන්න මම පරෙස්සම් උනා..

හිතේ වේගෙට මේ ගෙන්දගම් පොළොවට පය ගහලා යා යුතු මං හසරක් ගැන මෙලෝ නිනව්වක් නැතුව පිටකොටුව බෝ ගහ ඉස්සරහා දෙනෝ දාහක් මැද්දේ මංමුලා වෙද්දී පිටු නොපෑ බිතු සිතුවම් රුවක් වෙලා පිහිටට ආවේ තාරුකා විතරමයි..ඇට්ටර කමට දමලා ගහලා ආපු කෙල්ලට මොකක් උනාද කියලා හොයල බලන්නවත් වලව්වේ ඇත්තන්ගේ හිත් වල තෙතමනයක් ගෑවිලා තිබුණේ නෑ.. ඉතිං ස්වකැමැත්තෙන්ම අනාථ වෙච්ච කේතකීට බැඳගත්තු බෙරේ ගහනවා ඇරෙන්න මේ මහ පොළොව උඩ යන්න වෙන මඟක් ශේෂ වෙලා තිබෙණේ නෑ.....



Sunday, July 7, 2013

හිස්කම



දිගන්තේම නිදි බරයි

වළාකුළු නෙතු හඬයි

ගණදුරත් හිස්කමත්

එකා පරයා නැගෙයි

දකින්නට සිහින නැත

යන්ට අරමුණක් නැත

සසල හිත පමණක්ම

ඉකි ගසයි ඉඳ හිටක

පත් ඉරු පිරෙන්නට

උන්නු සංකල්පනා

පාළු වූ හිත් පතුලේ

අන්තෙටම සිඳී ඇත

තනිකම ඉඳ හිටක

සිත් කවුළුවෙන් එබී

සුසුම් වැල් හා එක්ව

ගී ගයයි ගණදුරට

පියස්ස හැඩ කරන

දැකුළුමල් රටා තුළ

ගිලී නිදනා දෙනෙත්

අවදිවන ලකුණු නැත

නො එන සංකල්පනා

එනතුරු මඟ බලන්

පත් ඉරුව පමණක්ම

නෙතු අයන් ඇත තාම....

Friday, July 5, 2013

අවසග මගේ හිත




පැතු ලෙසින් හිමි දිනූ
කින්නරාවියද මම
පහන් සිලට පෙමි බැදි
සලබයෙක් ද
දෑල නෙතු වෙහෙසවන
මිරිගුවද නුඹ
පිපාසිත තොල් තෙමන
දිය පොදද
තුන් සිතම අවුළුවා
දසත නලියන
හිතුවිලි කන්ද මැද
ප්‍රේමය , වියෝගය
නුඹ ,මා අතර සරන
අවසග මගේ හිත..............

මා දැන් මහලු වියේ....

   දොහක් දෙකක් තිස්සේ එක දිගටම   ඇදගෙන වැටිච්ච මුරුගසන් වරුසාව ඩින්ගිත්තකට තුරල් කෙරුවා.ඒ උනාට මොකද තාමත් යාන්තමට පොද වැටෙනවා.ඇරලා තිබුනු ජනෙල් පියනෙන් හිරිකඩ කමරේ ඇතුලටත් ගහනවා..වැහි හීතලට ශරීර කුඩුවේ ඇට මිදුලු ටිකත් ගල් ගැහිලා ගොහින්ද කොහෙද හීන් ඇම්මක් කොදු ඇට පේලිය දිගේ ඇදුම් කනවා.මම බස්තම ජනේල කොක්කේ අමුනලා ඇදලා අරන් ජනෙල් පියන අඩවල් කලා.හිතේ හයියට උන්නට දැන් ඉස්සර දවස් වල වාගෙ අතට පයට වාරු නෑ.හීතලට දවල් දවසෙ තිස්සෙම ඇදටම වෙලා ගුලි ගැහිලා උන්නට මොකද අද දවසටම බත් කටක් බඩට දාගන්ට ඇහැක් උනේ නෑ.හිස් බඩටම බේත් පෙති ගිල දමාපු හන්දද කොයිද උගුර දැවිල්ලයි හොදටෝම.දවසටම නොකාපු හන්දා මොනාහරි බඩට දාගන්න හිතාන මන් හෙමි හෙමීට ඇදෙන් බිමට අඩිය ගැහුවා.බිම අයිස් කැටේ වාගේ හීතලයි.වැහි බීරුම හන්දා අද වෙනදාටත් වැඩිය කලියෙන් බිම් කරුවල  රින්ගගෙන මුලු ගේම අන්ධකාරයි.කෑම උයලා පිහලා ගේ සුද්ද බුද්ද කරලා දාන්න එන කුසුමි කෙල්ලත් අද වේලපහින්ම යන්න ගොහිල්ලද. කොහෙද.වරුසාව හන්දා වෙන්ටෑ ඒකිත් කල් තියාම පැල් කොටේට රින්ගගන්ට දුවන්ට ඇත්තේ..



මන් බිත්තිය දිගේ අත පත ගාලා ස්විච් එක හොයාන ලයිට් එක දැම්මා.අඩමානෙට වහලේ එල්ලිලා හිටපු බලුබ් එක ගැහිලා ගැහිලා අන්තිමේදි පත්තු උනා.ඌටත් මේ හීතලේ එලි පත්තු කොරන්ට කම්මැලි හිතිලා වෙන්ටෑ.බිත්තිය දිගේම ගලාගෙන ගිය වතුර පාරෙ හැඩේට පුස් වලින් රටා බැදිලා.කාමරෙන් වැටිච්ච මලානික එලිය දිගේ මන් හෙමීට කුස්සිය දිහාවට ඇදුනා.අඩි දෙක තුනක් යනකොටම මොකක්දෝ පය ගැහිලා රෝල් වෙලා ගියේ සීතල වතුර පාරකින් කකුලත් තෙමාගෙනමයි.ආ...වහලේ දෙතුන් පොලකින්ම තෙමෙන හන්දා කුසුමි කෙල්ල ගෙයි හරියෙ තියන බේසම් ,මුට්ටි ,බාල්දි සේරෝම තෙමෙන තැන් වලට තියලා.අර කමකට නැති රිලව් රෑන නටලා ගෙයි වහලේ උළු ටික බිදලා කියලා තේගිසා පෙරේදාට පළමුදාත් දෙඩුවා.මේ මාසෙ පැන්ශොන් එක හම්බ උනාම ඌට කියන්ට ඕනේ බිදිච්ච උලු කැට ටික මාරු කරලා දාන්ට කියලා.


බඩේ ගින්දරට කන්ට කියලා ආවට මොකද හැලි වලන් ඇරලා බැලුවම කන්ට කියලා හිතේ තිබ්බ පිරියත් හේදිලා ගියා.බැදුම් වල උඩ තෙල් මිදිලා..හොදි හීතල වෙලා..අයිස් කුට්ටිය වගේ බත් හැලියත් හීල් වෙලා වේලිලාම ගිහින්. උණු උණුවේම තේ කහට ඩින්ගිත්තක් බොන්ට තිබ්බානම් හොදයි කියලා හිතුනා.වැස්සත් තුරල් කරපු හන්දා හන්දියේ පැත්තේ ගිහින්  කහට කෝප්පයක් බීලා රෑට කන්න මොනාහරිත් උණු උණුවේම ඇන්න ආවා නම් පන්කාදුයි.මන් කබායත් දාගෙන ඉස්සරහා දොරත් අඩවල් කරගෙනම මගට බැස්සා.හිරිකඩ වැහි පොදේටයි හීල් හුලගටයි පිට කොන්ද කීරි ගැහෙනවා.දෙතුන් පොලකම අණ්ඩ දාලා තිබ්බ කබායට දැන්  හීතලත් එක්ක ඔට්ටු අල්ලන්ට හයිය හත්තිය මදි.ලොකු පුතයි පොඩි කෙල්ලයි විඩෙන් විඩ ගෙනත් දීපු අලුත් කබා , කම්බිලි , පොරොනා අල්මාරි තට්ටු වල දත් විලිස්සගෙන උන්නත් පරණ කබායට පයින් ගහලා අලුත් එකෙක්ව ලන් කර ගන්ට හිත් දුන්නෙ නෑ.කබාය මගේම එකෙක්ටත් වඩා දැන් මට ලෙන්ගතු වෙලා.ඉතින් මන් කොමෙයි ඌට පිටු පාන්නේ.


සයිමාගේ නයිට් කඩේට ගොඩ වෙන හිතාගෙන ආවට හන්දිය කිට්ටු වෙදිදී ඒ හිතුවිල්ල වෙනස් වෙලා හෙමීට තැබෑරුම පැත්තට ඇදුනේ මේ වැහි හීතලට ඇග රත් වෙන්න ලාවට මොනා හරි දා ගත්තනම් හොදයි කියලා හිතුන හන්දා.මන් හෙමීට ලී බන්කුව උඩ පස්ස තියලා මේසෙට වාරු උනා.අද තැබෑරුමේ හරි සෙනග.බොන ජාති හපන ජාති ඇන්න කලබලේට එහේ මෙහෙ දුවන කොලුවාට තැබෑරුමේ කොනක උන්නු මාව තාම ඇහැ ගැටුනේ නෑ මයෙ හිතේ. තැබෑරුමේ කාල ගෝට්ටිය  හිතේ ශාන්තිය බිදලා දානවා වගේ.කාමරේ අස්සටම රින්ගගෙන ඉන්න හන්දද කොහෙද මිනිස්සු දහ පාලොස් දෙනෙක්ගේ සද්දේ උනත් එක පාර උහුල ගන්ට නාකි මට දැන් අමාරුයි.ඉන්තේරුවෙන්ම මන් මේ ආපු ගමනට සුදු හාමිනේ නම් ඩින්ගිත්තක්වත් මනාප වෙන එකක් නෑ.එක අතකට ශරීර කූඩුව රත් කොරන්ට වඩියකට දෙකකට  ඇහැක් උනාට තට්ට තනියම පාළුවට ගල් ගැහිලා ගිහිල්ලා තියන හදවත උණු කොරන්ට ගිණි වතුර කොප්ප සීයකටවත් බැහැ නොවැ.මන් හෙමීට නැගිටලා සයිමාගේ කඩෙන් තේ කහට කෝප්පයක්ම බොන්ට හිතාන ආපහු හැරුනා.


"අන්කල් මොනාද ගේන්නේ?"


වේටර් කොල්ලා මන් නැගිටින්න හදද්දිම මගෙන් ඇහුවා.මන් ඌගේ මූන දිහා බලලා ඔලුව වනලා ආපහු ආවා.


"මෑන්ස්ට දැන් නට් ලූස් වගේ'


කොල්ලා එතන උන්නු කාත් එක්කදෝ කියවනවා මට ලාවට වගේ අහුනා..


මන් සයිමාගේ කඩෙන්  ප්ලේන්ටීයකුත් බීලා රෑට කන්න ඉදිආප්ප කොත්තුවකුත් ඔතාගෙන පිටත් උනා.අඩි දෙක තුනක් ඉස්සරහින් මල් කුඩයක් යට තුරුල් වෙලා නාඹර ගැටයෙකුයි ගැටිස්සියෙකුයි මුකුළු කර කර අත්වැල් පටලන් යනවා.උන් දෙන්නට නම් වරුසාව නිසාවත් අන්ධකාරෙ නිසාවත් අඩිය ඉක්මන් කොරන්ට අදහසක් නෑ වගේ.මන් උන් දෙන්නව පහු කරගෙන ඇවිත් ගෙට ගොඩ උනා.දූවිලි බැදිලා තිබ්බ වෑර්ලස් එක උඩින් පල්ලෙන් පිහ දාලා වෙලද සේවයට කරකවලා බස්තම් පොල්ලත් අයිනකින් හිටවලා හාන්සි පුටුවට වාරු උනා.


මිදුල කෙරවලේ වතුසුද්ද වැටට  එහා පැත්තේ පාරේ අදුරු හෙවනැලි දෙකක් වගේ පා උනෙ අර ගැටයයි ගැටිස්සියි වෙන්ටෑ..මායි සුදු හාමිනේත් ඔහොම ගුලි ගැහිලා ගියපු කාලයක් තිබ්බා.වාසිටියේ කහපාට මල් පිරිච්ච මාර ගහ යට ගල් බන්කුවේ ගුලි ගැහිලා අපි කොච්චර නම් දේවල් කතා කරාද.රාසිගේ අවුව සුදු හාමිනේගේ කම්මුල් වල පාට තවරාපු හැටි බලාන ඉදිල්ල නම් මට කිසි දවසක ඇති උනේ නෑ.වාසිටියෙන්  අවුට් වෙලා ටික කලෙකින්ම මට හා පුරා කියලා කොළඹ කන්තොරුවක රස්සාවක් ලැබුනා.උඩරට වලවුවක එකම ගෑණු දරුවා වෙච්ච සුදු හාමිනේව අම්මෙක් අප්පෙක් නැති අනාථ කොල්ලෙක්ට දෙන්න සුදු හාමිනේලාගේ අප්පච්චිලා මනාප උනේ නෑ.දවසක් දා මාලිගාව වදින්ට ආපු වෙලාවක මගේ අතේ එල්ලිලා පුන්චි කෙල්ලෙක් වගේ කොළඹ ආපු සුදු හාමිනේ එදායින් පස්සේ ආපහු වලවුවට ගියේ නෑ.අපි කච්චේරියට ගොහිල්ල කසදේ රෙජිස්ටාර් කෙරුවා.වාසිටියේ අපිව හිච් කරපු තිස්සයයි පද්මයයිම කසාදේදිත් අපේ සාක්කි කාරයෝ උනා..මාල, හවඩි, කූරු ,නොදාම සුදු සේල නෑදම  සුදු හාමිනේ සින්නක්කරම මගේ උනා.එදා ඉදන් මට උන්නු එකම නෑයා සුදු හාමිනේ තමයි.


ඊට පස්සේ කොච්චරනම් දේවල් වෙනස් උනාද.කුලී ගේක ඉන්න ගමන් ගඩොලින් ගඩොල එකතු කරලා සුදු හාමිනේයි මායි මේ ගෙදර බිත්ති ඉස්සුවා.එතකොට ලොක්කා සුදු හාමිනේගේ බඩට ආවා විතරයි.පොඩ්ඩි හම්බවෙද්දි අපි මේ ගෙදර පදින්චියට අවිදිල්ලා අහවරයි.ඊට පස්සෙ ජීවිතේ වගේම මේ ගෙදරත් විඩෙන් විඩ වෙනස් උනා.දරුවෝ උස් මහත් උනා.කරකාර බැන්දා.දේශ දේශාන්තර වල පදින්චියට ගියා.විඩෙන් විඩ අපිවත් බලන්න නාවම නොවෙයි.ඒ ආපු හැම ගමනකදිම අපි දෙන්නටත් උන් එක්කලා යන්ට අඩ ගැහුවා.එත් නොදන්නා දීපෙක අන්තිම හුස්ම ඩින්ගිත්ත අතාරින්ට සුදු හාමිනේ මනාප උනේම නෑ.ලොක්කයි පොඩ්ඩියි ගමනින් ගමන පාස් පොත් වලට කාසි දැම්මා.ඒත් ඒ කාසි පාස් පොත් වලම පැටවු ගැහුවා විතරයි.පැන්ශොන් පඩිය සුදු හාමිනේටයි මටයි හොදටෝම සෑහුනා.ඒ කාසි කවදාහරි උන්ටම ගියාවේ...


පහුගිය අවුරුද්දේ බක් පෝය දා මට අද වාගේ මතකයි.වෙනදාට උදේ රෑයින්ම නැගිටින සුදු හාමිනේ එදා ඔලුව ඉස්සුවේම නෑ,සුදු හාමිනේගේ ඔලුව මගේ පපුව උඩම හීතල වෙලා ගිහිල්ලා තිබුනා.අත පය දරදඩු වෙලා.සුදු හාමිනේ මගේ හදවතේ කෑල්ලක්ම කඩාගෙන මගේ පපුවට තුරුල් වෙලාම නේන ගමන් ගොහිල්ලා...උන්දෑගේ මිනිය සතියක්ම තියගෙන උන්නා.දරුවෝ දෙන්නා රට ඉදන් එනකම්.උන්ට වුවමනා විදියට කටයුතු කාරනා සිද්ධ කොරන්ට මන් බාධා කොළේ නෑ.එත් මන් මයෙ සුදු හාමිනේව වත්ත කෙරවලේ පේන මානෙක භූමදාන කරවාගත්තා.සුදු හාමිනේ මන් නතුව එක රාත්තිරියක්වත් තනියම ගෙයින් පිටමන් වෙල ඉදලා නෑ.ඉතින් මන් කොමේයි මයෙ සුදු හාමිනේව තනි පන්ගලමේ සෝන් පිට්ටනියක දමලා එන්ට හිත එකලස් කොර ගන්නේ..


හත් දොහේ දානෙත් අහවර උනාට පස්සේ ලොක්කයි පොඩ්ඩ්යි දෙන්නා ආපහු උන් එක්ක යන්ට මට අඩ ගැහුවා.මන් කොමේ මේ ගේයි සුදු හාමිනේවයි දාලා යන්නේ..ඉතින් මන් යන්ට බෑ කිවුවා.වචනයක්වත් දොඩන්නැතුව  හාන්සි පුටුවට ඇලවිලාම උන්නා.දීග ආපු දොහේ ඉදන් හුස්ම ඇබින්ද යනකම්ම මාව තනි නොකරපු මේ පොළොව උඩ හිටපු එකම මනුස්ස පරාණේ තමා සුදු හාමිනේ.ඉතින් මන් කොමෙයි උන්දෑව තනි කොරාලා යන්ට හිත එකලස් කොර ගන්නේ..දරුවෝ ආපහු ගියා.ගෙදර වැඩ කටයුතු ටික කුසුමි කෙල්ලට පන්ගරාත්තු කොරලා යන්ටම ගියා.උන්ටත් උන්ගේ ලෝකවල වැඩ රාජකාරි නැතෑ.


වැස්ස නැවතිලාම ගිහිල්ලා..ආකාහේ පෑදිලා මොදු වෙච්ච හදේ එලිය වලකුළු දිගේ පොළොවට බේරෙනවා.සුදු හාමිනේගේ සොහොන් කොත සද වතුරෙන් නෑවෙනවා.මන් හෙමි හෙමිට සොහොන් කොත දිහාවට අදුනා..මුරුගසන් වරුසාව හන්දා දෙදොහක්ම ඒ දිහාවට යන්ට බැරි උනා.ඈත සුදට සුදේ ඔසරියකුත් පටලවාගෙන සුදු හාමිනේ හිනවෙනවා පෙනවා..උන්දෑ මේ රෑ කොහේ යන්ටද ...හිත පුදුම තරමට හෑල්ලු වෙනවා දැනුනා.කීරි ගැහෙන පිට කොන්දේ රුදාවයි කකුල් කෙඩෙත්තුවයි වාශ්ප වෙලාම ගොහිල්ලද කොහෙද.ශරීර කූඩුව ආපහු තිරිහන් වෙලා වගේ.මන් හෙමි සීරුවේ ඈතට ඇවිදන් ගියා.ඇවිදිනවාටත් වඩා ඒක හරියට පාවෙනවා වගේ.මට නිකමට වගේ ආපහු හැරිලා ගේ දිහා බලන්න හිතුනා.හවස ඇන්න ආපු ඉදිආප්ප කොත්තුවට බළල් තඩියා හොට ගහනවා.හිටගෙන උන්නු බස්තම් ලීය දොර හරහාට ඇදගෙන වැටිලා.මට ආපහු යන්න බෑ හිතුනා.සාලේ මැද තිබුනු වෑර්ලස් එකෙන් අමරදේව මහත්තයගේ කටහඩ පාවෙලා එනවා ඈතට ඇදිලා යන ගන්ධබ්බයාට ඇහුනා....




“ කබාය ඉරිල ඊට කමක් නෑ


කවුරු දකින්නද


කවුරු බලන්නද


මා දැන් මහලු වියේ


මා දැන් මහලු වියේ…..”

ලාලිත්‍යයෙන් ඔබ්බට......



ගැහණිය , කත , වනිතාව , ලිය , කෙල්ල , ලලනාව......මෙලෙස නා නා විද නමින් හදුන්වන ඇට ලේ මස් වලින් සැදි නාඩි වැටෙන හදවත ගැහෙන සොබා මෑණියගේ විසල් නිමවුමක් වූ මේ අසිරිමත් අපූරු සත්වයාට පූර්ණ වශයෙන් නම්‍ය හෝ අනම්‍ය  වූ ප්‍රාණියෙකු වශයෙන් පැවතිය හැකිද?ඇය  සීමා ලකුණු කළ හතරස් ඉඩ පරාසයකට කොටු වී ඇත්ද?නැතිනම් ඈ එවැනි රාමු කළ ඉඩ වපරිසරියකට සීමා විය යුතුද?ඇයට සිතීම හා පැවසීම යන කාරණා ද්විත්වය එක කාරණාවක් ලෙසින් ගෙන පූර්ණ විවෘත භාවයෙන් පැවතිය හැකිද?පූරණ විවෘත මනසක් ඇති ලියක් පවා ඇගේ ජීවිතයේ බොහෝ අවස්ථාවල දී සංවෘත්ත ජීවන රටාවක් පවත්වාගෙන නොයයිද?

ඉහතින් වූයේ මා මින් ඉදිරියට කුරුටු ගෑමට තතනන පරිච්ඡේද කීපයකට ප්‍රස්තුථය ලෙසින් මාගේ මනසේ ජනිත වූ පැන බොහෝමයකින් අහඹු ලෙස අහුලාගත් නියැඳියකින් සැදි ප්‍රශ්නාවලියයි.මාගේ වෑයම මගේ මනසේ ඇතුලාන්තයට වී හොල්මං කරන නා නා විද මත , ගැටලු , ගැටුම් එකිනෙක හප්පවා මගෙ මනසට ඒත්තු ගැන්විය හැකි එක් තනි මතයක් ගොඩ නැගීමයි..මා අද තේරුම් ගන්නා කරුණුම තව දිනකින් , දෙකකින් , තුනකින් , සතියකින් මසකින් , වසරකින් අනෙකක් වීමට ඇති ඉඩකඩ බොහෝය.නිරන්තර විචලනයන්ට භාජනය වීමේ ගුණයත් , පරිණත භාවයත් මිනිසාගේ පුද්ගලික මතිමතාන්තරයනට එල්ල කරන්නා වූ බලපෑම  එකී වෙනසට හේතු කාරණා විය හැකිය.මෙය කිසිසේත්ම සාම්ප්‍රදායික ස්ත්‍රී විමුක්තිවාදිනියක් වීමට දරන වෙර වෑයමක් නොවන වග සඳහන් කළ යුතුමය.මා ද ගැහැණියක් ලෙසින් උප්පත්තිය ලැබීම නිසා හෝ පුරුෂයෙකු ලෙස උප්පත්තිය නොලබීම හේතු කොටගෙන අන්තවාදී රචකයෙකු නොවී මැද මාවතක සිට ගැහැණියෙකු, පිරිමියෙකු හෝ නපුංසකයෙකු ලෙසින් නොව තෙවන පර්ශවයක් ලෙසින් දුරස්ථ ඇසකින් බලා හැකිතාක් අපක්ෂපාතී වීමට දරණ නිර්ව්‍යාජ වෑයමකි.


සාම්ප්‍රදායික ස්ත්‍රී විමුක්තිවාදිනියක් වීම වෑයම් නොදරණ බැව් මම වරෙක සඳහන් කළෙමි. ගැහැණියකගේ විමුක්තිය අනෙකෙකුට දිනා දිය නොහැක.මගේ මතය නම් එය ඈ විසින්ම අත්පත් කරගත යුත්තක් යන්නයි. වර්තමානයේ නේක නම් වලින් සැදි කාන්තා සංවිධාන මාර්තු 08 වෙනිදාට රැස්වී බෝඩ් ලෑලි උස්සාගෙන සටන් පාඨ කියමින් දිනා ගැනීමට දඟලන විමුක්තියට වඩා සත්‍ය විමුක්තිය අනෙකක්ය.ඔවුන් විමුක්තිය දිනා ගැනීමට අරගල කරන්නේ සමාජයේ විවිධ පාර්ශව සමඟින් ගැටෙමින්ය.නමුදු මාගේ මතය නම් ගැහැණිය අරගල කළ යුත්තේ තමා සමඟින්ම යන්නයි.තමුන්ගේම මනස හා තමුන්ගේම අතුළාන්තය හා ඝට්ටණය වී අරගල කර තමා නිවරදිව හඳුනාගැනීම තුලින් ඇයට විමුක්තිය දිනා ගත හැක.මන්ද වඩා වැදගත් වනුයේ තමා තමුන් දෙස බලන ආකරය මිස සමාජය තමුන්ව දකින ආකාරය නොවේ.තමා පිළිබඳ නිවරදි දෘශ්ඨිය තුලින් ලෝකයා තමුන් අරබයා දරණ නේකවිද මත ගැටුම් හේතුවෙන් ඇතිවන ශාරීරික මෙන්ම මානසික පීඩන , ආබාධ , අවපාතයන්ට නොසලී මුහුණ දිය හැකිය.


විමුක්තිය එක් කතකගෙන් තවත් කතකට වෙනස් විය හැකිය.මෙය ඇගේ බුද්ධිය, මානසික මට්ටම, අත්දකීම් මෙන්ම පුද්ගලයෙකු වශයෙන් අත්විඳීමට අපේක්ෂා කරන අවශ්‍යතාවයන් සහ වුවමනාවන් මත විචලනයන්ට භාජනය විය හැක.


උදාහරණයක් ලෙස ගැහැණු ළමයෙකුට තවත් පිරිමි ළමයෙකු ගොන,බඩ්ඩ,කෑල්ල,බඩුව ලෙස ඇමතුවහොත් එම අවස්ථාවේදී එම තරුණිය විශාල ලැජ්ජාවකට , මානසික අවපීඩනයකට ලක්විය හැක.එසේම එම වදන් නැවත නැවත සිහිපත්වීම තුලින් කෝප වීම , දුක් වීම සිදුවිය හැකිය.උක්ත අවස්ථාවටම මුහුණ පෑ තවත් තරුණියක් මුණින් කළ පාත්‍රයකට දිය පිරවිය නොහැකි ලෙස එම වදන් බැහැර කළ හැක.එහිදී මුල් තරුණියගේ මනසේ හටගත් කිසිඳු හැඟීමක් මෙම තරුණියගේ චිත්ත සමාධියට බාධා පමුණුවන්නේ නැත.එසේම මෙම තරුණියන් දෙදෙනාගේ අතරමැද විවිධ අවස්ථාවල ස්ත්‍රීයකගේ මානසික මට්ටම පැවතිය හැක.


මා උක්ත කී අවබෝධය ,මානසික හා ආකල්පමය සූදානම බොහෝමයක් කාන්තාවන් තුළ දක්නට නොමැත. ඇතමුන්ගේ මනස් තුළ සමහර අවස්ථාවන්හිදී පමණක් මතුවී යලි යටපත්ව යාමක් දක්නට ඇත.එසේම කාන්තාවක් හෝ වේවා පුරුශයෙකු හෝ වේවා තමන්ගේම මනසේ අතුළාන්තය වෙත එබිකම් කර බැලීමට ඇති විවේකය අල්පය. රැකියාවක් කළා හෝ නොකළා , ශාරීරික මෙන්ම මානසික කාර්යබහුලත්වය පුද්ගලයාගේ මානසික විවේකයට ඉඩ අවුරා දැමීමට හේතු කාරණා වී ඇත.මෙවන් වාතාවරණයක් තුළ ගැහැණියකට නිදහස් සත්වයෙකු වශයෙන් හුස්ම ගැනීමට , ජීවිතය විඳීමට සමාජීය අවබෝධය මෙන්ම අවකාශය ලබා දීමද අත්‍යවශ්‍යය.


කවුරුන් කෙලෙස පැවසුවද ගැහැණිය යනු අවිවාදයෙන්ම අසිරිමත් ජීවයකි.මම ඇය ජලයට උපමා කරමි.ඔබට ඇයව විවිධ හැඩැති බෝතල් , කෝප්ප , වීදුරු ආදී බඳුන් වලට දමා ඈ දෙස බැලිය හැකිය.ඔබ තෝරා ගන්නේ කිනම් බඳුනද එය විසින් ඔබ දකින  ඇගේ හැඩය තීරණය කරයි.සැබැවිම ඇයට විවිධ හැඩයන්ගෙන් පෙනී සිටිය හැක.එකම ගැහැණියකට දියණියක්, සොයුරියක්, බිරිඳක්, මවක්, මිත්තණියක්, මෙහෙණියක් මෙන්ම වෙසඟනක්ද විය හැක.එයයි ඇගේ අපූර්වත්වය...එක් අවදියකදී පයේ ඇණුනු වීදුරු කටුවක වේදනාව දරා ගත නොහැකිවා හඬා වැටුණු ගැහැණියම තවත් අවදියකදී ප්‍රසූත වේදනා සියල්ලක්ම විද දරා ගෙන තවත් ප්‍රාණියෙකුට ජීවය දීමම අසිරියක් නොවන්නේද?


ගෝලීයකරණය විසින් මේ පෘතුවි ගොලයේ වූ සියලුම දෑ එක් පියසක් යටට ගෙන ඒමට සමර්ථව ඇති නමුදු මිනිස් සත්වයාගේ ආකල්ප එක් පියසක් යටට ගෙන ඒම නම් තව  සාරසංකේය කල්ප ලක්ෂයක්  ගත වූවත් සිදු කිරීමට අපොහොසත් වන කර්තව්‍යයක් බැව්  නියතයක්ය.ආසියාව , අප්‍රිකාව, යුරෝපය, මැදපෙරදිග මෙන්ම පෘතුවී තලයේ සියලු අන්තයන්ගේ වෙසෙන පුරුෂයා ගැහැණිය දෙස බලන දෘශ්ඨි කෝණය මෙන්ම  ගැහැණියක තවත් ගැහැණියක දෙස බලන දෘශ්ඨි කෝණයද විවිධය.ගැහැණියක , ශාරීරික , මානසික ලිංගික වශයෙන් අපයෝජනයට ලක්වීම කෙරෙහි සෑම අවස්ථාවකම දබර අඟිල්ල පුරුශ පාර්ශවය වෙත එල්ල වූවද ඒ සඳහා සැලකිය යුතු වශයෙන් ගැහැණියම පංගුකාරිනියක වී ඇත.ගැහැණියකගේ වේදනාව , සතුට , ආකල්ප , අපේක්ෂා තවත් ගැහණියක විසින්ම පවා අවබෝධ කරගන්නා අවස්ථා විරලය.අප ආගමික හා සංස්කෘතික වශයෙන් , ජාතීන් වශයෙන් , ගැහණුන් වශයෙන් , පිරිමින් වශයෙන් නේක පවුරු වලින් අපේ මනස කොටුකර , රාමු කර , දෑස් බැඳ ලෝකය දකින්නට වෑයම් කරන බව මගේ අදහසයි.එම දැක්ම  එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට  විචලනය විය හැක. උච්චාවච්නයන්ට භාජනය විය හැක.


එසේම මෙම කොටු , පවුරු , පදනම් බිඳ දැමීමද අපහසු විය හැක.නමුදු අප වට කර ගන්නා ඉඩ වපරිසරය විශාල වන තරමට අපගේ දෑස් ජීවිතයේ නව මානයකට විවර වෙනු ඇත.ගැහැණියක හෝ පුරුෂයෙකු ලෙස ඔබට උස් තැන මිටි තැන හෝ සම තැන නොව මිනිසෙකු ලෙසට නිසි තැන උරුම වනු ඇත...... මෙම පරිච්ඡේද කීපය මෙම ධරණීතලය තුළ වෙසෙන මිලියන ගණනක් වූ මිනිස් ප්‍රාණීන්ගෙන් එක් මිනිස් ප්‍රාණියෙකුගේ මනස් ගැබ තුළ  ජනිත වූ එක්  බිළිඳු සංකල්පනාවක් පමණක්මය.මෙය  කිරා  මැන බලා එකඟ වීමට මෙන්ම නොවීමටද , පුස්සක් සේ සිතා බැහැරලීමටද පූර්ණ නිදහස හා අයිතිය පාඨක ඔබ සතුය.නමුදු මදක් සිතන්න......ඔබේම ඇතුළු හදින් මොහොතක් විමසා බලන්න.....මිනිසෙකු ලෙසින් ඔබට නිසි තැන උරුමද?