Wednesday, July 10, 2013

හිතුවක්කාර විසේකාරී


ෆයිල් කවරය දිහා බලන් උන්නු ජුගුප්සාජනක විපරීත දෑස් කණ්නාඩි රාමුවට යටින් නිනව්වක් නැතුව මගේ නාරි දේහයේ දිග පළල උස් මිටි තැන් අතරේ උඩ යට දුවනවා..එකත් එකටම මේ මිනිහා දැනටමත් මාව මනෝමයෙන් ඇඳක් උඩට පෙරළගෙනත් ඇති..යටිහිත අතෝරක් නැතුව ඒ විපරීතයාට චරිත සහතික නිකුත් කරද්දී විපරීතයා මගේ සහතික මිටියේ නෙත් පටලවාගෙන සුදුසු නුසුදුසුකම් කිරමින් හිටියා...

නුසුදුසු පැත්තේ බර වැඩි වෙද්දී දෑස් කරකවමින් ඇද පැද සුදුස්සට බර තියන්න ඇරයුම් ගේන ඉඟිය හොඳහැටි තේරුම් ගියත් නොතේරුණා වගේ බකන්නිලන් උන්නේ කලබගෑනියකට වඩා මෝඩ මන්දස්මිතිය හොඳයි කියලා ගෑනු ඉව හෙමීට කොඳුරපු  හන්දා..


"මීට කලින් පත්තර කන්තෝරුවක වැඩ කරලා තියනවද?"


වචන වලට කලින් පිට පන්න කෙළ තලිය මූණට විසිවෙන්න නොදී හෙමීට පස්සට වෙන ගමන් මම නෑ කියන්න ඔළුව වැනුවා...වචන පිට නොකලේ කතා කරන්න බය හන්දා නම් නෙවේයි..ඇරිච්ච කට ඇතුලෙන් කුණු කෙළ අස්සට රිංගගනී කියලා තිබිච්ච අපුල  හන්දා.. 


දරුවෝ වගේ පරිස්සමට ඇහේ තියාගෙන හදපු , ලියපු කියපු ලිපි ලේඛන ගොන්න උඩින් පල්ලෙන් බලලා කිසි සැලකිල්ලක් නැතුව දඹර ඇඟිලි තුඩින් පැත්තකට තල්ලු කරලා දැම්මේ  පුස් කාපු පාන් පෙත්තක් තල්ලු කරලා විසි කරන ගාණට..

 "...ම්ම්...ආර්ට්ස් කරලත් නෑ නේද....?උපාධි මොකවත් එහෙමත් නෑනේ..දැනුම් තේරුම් අත්දැකීම් ගන්න තරම් වයසකුත් නෑ මගෙ හිතේ...පත්තරකාරියක් වෙන්න නම් දරුවෝ......."

මිනිහා ඇදලා පැදලා අන්තිම වචන ටික කියපු තාලෙට නම් මගේ  ඉහ මොල රත් උණා...


"ඇයි හත්වලාමේ මේ ලෝකෙ උන්නු හැම පත්තරකාරයාම ආර්ට්ස් ද කලේ..උපාධිකාරයෙකුට විතරමද පෑන අහුවෙන්නේ... මගේ සරීර කූඩුව පුරාවටම උඩ යට දුවන තමුසේගේ ඔය වලත්ත බැල්මට එක ඉඟියකින් හා කිවුවානම් වෙන දේ මීට වඩා හුගාක් වෙනස් කියලා නොතේරෙන තරමටම මම බබෙක් නෙවෙයි මිනිහෝ .." කියන්න මගෙ දිව නළියව්වත් මං වචනයක්වත් නොදොඩාම ඔහේ බලාන උන්නා...උඩු හිත කැරළි පිට කැරළි ගහද්දී යටි හිත කිවුවා ඉවසපන් ඉවසපන් තව ඉවසපන් කියලා..


"ඔය ළමයා නිවාඩුපාඩු වෙලාවක මාව මුණගැහෙන්න ආවොත් නම් මට පුළුවනි ඔය ළමයට ලේඛන කලාව වැඩි දියුණු කර ගන්න දැනමුතුකම් දෙන්න...."


ලේඛන කලාව කෙසේ වෙතත් ළමයට ළමයෙක් හම්බුවෙන තැනට නම් වැඩ සිද්ද කරන්න නම් බැරි වෙන එකක් නැති වෙයි මං හිතන්නේ.. උඩු හිත මහා හයියෙන් බෙරිහන් තලද්දී යටි හිත නම් කිවුවේ අල්ලලා දාල යන්න නැකත හරි කියලයි...


"බොහෝම ස්තූතියි සර්....මම පුරුදු වෙන්න ආධුනික කොළමට ලියලා තැපල් කරන්නම්කෝ..හොඳයි නම් අඩුපාඩු එහෙම හදලා පල කරන්න පුළුවන්නේ.."


දනි පනි ගාල ෆයිල් කවරෙට ලට්ට පට්ට දාගෙන හැරිලා එන්න කලින් මං බොහෝම විනීතව විපරීතයගේ ඔළු ගෙඩියට හීන් ටොක්කක් ඇන්නා...

...................................................................................................................................................................


හ්ම්... ස්වාධීන නිදහස් ජීවිතයක් හොයාගෙන ඇවිල්ලා මූණ දීපු පළවෙනි සම්මුඛ පරීක්ෂණේ.....නිදහස් නිවහල් චින්තනේ තරම්ම ප්‍රායෝගික නිදහස බුක්ති විඳින එක ලේසි නෑ කියලා කියලා සතිය දෙක ගත වෙදවෙද්දීම තේරුම් ගියා  ..සම්මුඛ පරීක්ෂණ දහයක් පහළොවක් නෙවෙයි මහා ගොඩක් කෙළවර උනේ පත්තර කන්තෝරු විතරක් නොවෙයි දන්න නොදන්න හැම මලදානෙකම තිබ්බ පුරප්පාඩු වලට දාපු ඉල්ලුම් පත්තර පුස්සක් කරමිනුයි..පුංචි කාලේ ඉඳන් තිබිච්ච යාළු කමට කාමර කෑල්ලේ වැටිලා ඉන්න දුන්නට තාරුකාටත් මාව මහ මෙරකට පොඩියක් අඩු වෙන්න මහා බරක් උනා කියලා නොදැනුනාම නෙවෙයි...ඒත් ගෙවෙන හැම තත්පරයකදිම ඉවෙන් වාගේ මට උරුම ජීවිතය , මගේ ඉරණම මේක නොවෙයි කියලා තදින්ම දැනුනා...ඒත් ඒ ඉව පාර දිගේ උඩු හිත යටි හිත පීරාගෙන හැම අහුමුල්ලක්ම අතගෑවත් උරුමයට නිසිතැන ලැබෙන  ඉසව්වක් හොයා ගන්න නම් බැරි උනා..අවිනිශ්චිතතාවය රතු කට්ටක් පන්නගෙන ඉහළටම ගිහින් තිබ්බත් ලාවට වගේ තිරසාර හැගීමක කළලයක් හිත් ගැබේ මුල්ලක මෝරන්න පටන් අරන් තිබුණා.පුංචි සන්ධියේදී දැකපු හැම හීනයක්ම අස්සේ පත්තර කාරියෙක් ජීවත් උනත් බිළිඳු හීන වලට හැබෑ ජීවිතේ තියන ඉඩ කඩේ දිග පළල ගැන ගඳ ගහන කඨෝර තිත්ත ඇත්ත තේරුම් කරවන්න  සති දෙකක් තුනක් යන්නත් කලින්ම කුණු කෙල විසිරුවන විපරීතයාටත් , විපරීතයාට පක්ෂ විපක්ෂ සමකාලීන මාධ්‍ය සගයන්ටත් බොහෝම අපූරුවට පුළුවන් උනා.එහෙම උනා කියලා මොකක් හරි පිදුරු ගහක එල්ලිලා ජීවිතේ හොයනවා මිසක ස්වාධීන ජීවිතයක් හොයන්න පයින් ගහල අතෑරලා දමාපු පරධීන හණමිටි සිපිරි ගෙයට ආපහු අඩිය ගහන්න ඇට්ටර උඩු හිතේ තියා යටි හිතේවත් ඇබින්දක තරමේ මනාපයක් තිබුණේ නෑ..ඉතින් තුනෙන් දෙකේ මනාපයක් හොයාගන්න බැරුව අසරණ වෙච්ච ආපහු ගෙදර යන යෝජනාව සභාවට ගේන්නත් කලින්ම නිශ්ප්‍රභ උනා....

...................................................................................................................................................................
මං කේතකී...ගම නුවර...අකුරු කලේ කන්ද උඩරට ජනප්‍රිය බාලිකා පාසැලක..පවුලේ බඩ පිස්සි..බඩ පිස්සි උනා කියලා නම් හැම බඩ පිස්සියෙකුටම උරුම හුරතලේ , නිදහස , ආදරේටත් වඩා මට උරුම උනේ දණ්ඩ නීති සංග්‍රහයක්...රදළ පැලැන්තියේ පුරාජේරුවයි , නම්බු පිස්සුවයි , පුහු මාන්නෙයි අතර හිර වෙලා උන්නු ලොකු අප්පොයි, කුමාරිහාමියි, පුංච් අප්පොලා දෙන්නයි සන්ධාන ගතවෙලා මගේ නිදහස් චින්තනය කීතු කීතු වලට ඉරලා දාලා පවුරු පිට පවුරු බැඳලා කොටු කරලා තිබ්බා..

පුංචිම කාළේ ඉඳන් එක පෙළට කිසි අඩුවක් නැතුව සිද්ධ වෙච්චි හිත් රිදවීම් , අතුල් පාරවල් ,ගැලුම් ගණන්  ලුණු රහට රූටලා ගියපු හොටු කඳුළු ,කා කොටා ගැනිලි බෝහොමයක උච්ඡතම අන්තයේදී මං වලව්වෙන් අභිනිශ්ක්‍රමණය කළා..දෑල බණ්ඩාර වාසගමයි උප්පැන්න සහතිකේ කොටු පුරවලා තිබුණු අම්මගෙයි අප්පච්චිගෙයි නම් ඇරෙන්න මං වලව්වෙන් උරුම වෙච්ච සබ්බසකලමනාවම දොර දන් දුන්නා..නැතුවම බැරි හන්දම ලඟ තියාගත්තු උප්පැන්නෙයි , වාසගමයි උනත් අවශ්‍යම උනු වෙලාවක ඇරෙන්න එළියට නොගෙන වහුං කරන් ඉන්න මම පරෙස්සම් උනා..

හිතේ වේගෙට මේ ගෙන්දගම් පොළොවට පය ගහලා යා යුතු මං හසරක් ගැන මෙලෝ නිනව්වක් නැතුව පිටකොටුව බෝ ගහ ඉස්සරහා දෙනෝ දාහක් මැද්දේ මංමුලා වෙද්දී පිටු නොපෑ බිතු සිතුවම් රුවක් වෙලා පිහිටට ආවේ තාරුකා විතරමයි..ඇට්ටර කමට දමලා ගහලා ආපු කෙල්ලට මොකක් උනාද කියලා හොයල බලන්නවත් වලව්වේ ඇත්තන්ගේ හිත් වල තෙතමනයක් ගෑවිලා තිබුණේ නෑ.. ඉතිං ස්වකැමැත්තෙන්ම අනාථ වෙච්ච කේතකීට බැඳගත්තු බෙරේ ගහනවා ඇරෙන්න මේ මහ පොළොව උඩ යන්න වෙන මඟක් ශේෂ වෙලා තිබෙණේ නෑ.....



13 comments:

  1. ඉගෙන ගන්න දෙයක් ඇත.

    ReplyDelete
  2. ලස්සනට ලියන්න පුළුවන් කෙනෙක් තමා ඔබ. හැබැයි උඩින් කියාගෙන ආපු දේ යටට එන කොට වෙනස් වෙලා ගලපු විදිය ඒ තරං පැහැදිලි මදි..

    ReplyDelete
  3. ම්ම් මම මෙහෙම කියන්නම්...මම කතාව පටන් ගත්තේ මැදින් එක සිද්දියකින්... මෙතන තියනව පරිච්ඡේද තුනක්....දිග තිත් පේළි වලින් වෙන් කෙරුවේ ඒවා තමයි...තැන් තැන් වල වෙච්ච සිද්ධි කීපයකින් කතාව පටන් අරන් පසුව එක කතාවක් විදියට
    ගලා යන්න සැලැස්වීමයි මගේ අරමුණ උනේ... ඒත් කොටස් වශයෙන් පල කරද්දී එක හුස්මට නවකතාවක්කියවන් යනවා වාගේ නොදැනෙනා හන්දා පාඨකයාට මුලදී මේකෙ පොඩි අච්චාරු ගතියක් දැනෙන්න පුළුවන්..ඉදිරි කොටස් වලදීත් මේ අඩුව මේ විදියට දැනෙනවාද කියලා මට කියන්නකෝ..බෝම ඉස්තූත්යි කොමෙන්ටුවට

    ReplyDelete
    Replies
    1. ලස්සනයි,අමුතුයි වගේ :)
      පලවෙනි කොටස් දෙක කියවද්දි කතාව ගලාගෙන යනවා.ඒත් අන්තිම කොටස එක පාරටම මැද්දෙන් පැනල කතාව මුල් කතාව වෙනම කතාවක් කරනවා වගේ දෙයක් දැනුනෙ .. මං කේතකී...ගම නුවර.. එක පාරටම මේ විදිහට පටන් අරන් තියන නිසා වෙන්නැති එහෙම දැනෙන්නෙ..

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. බොහෝම ඉස්තූත්යි ජෙමා අයියේ කොමෙන්ටුවට..සෑහෙන වටිනවා මට ඒවා අඩුපාඩු හදා ගන්න..අපි ඉතින් තාම අංකුරනේ...ඉදිරි කොටස් වලදී මම වැරදී අඩු කරන් ලියන්න බලන්නම්කෝ....

      Delete
  5. මගේ සරීර කූඩුව පුරාවටම උඩ යට දුවන තමුසේගේ ඔය වලත්ත බැල්මට එක ඉඟියකින් හා කිවුවානම් වෙන දේ මීට වඩා හුගාක් වෙනස් කියලා නොතේරෙන තරමටම මම බබෙක් නෙවෙයි මිනිහෝ .." මෙන්න මෙහෙම වෙනස් කලා දැන් හරිද බලන්න...

    ReplyDelete
  6. "තමුසේගේ ඔය මනමාල ඇස් දෙක මගේ ඇඟ පුරාවටම උඩ යට දුවන්නේ වලත්තකම නෙවෙයි කියලා නොතේරෙන්න තරම් මම බබෙක් නෙවෙයි මිනි" නංගියෝ මෙතැන වචන ගැලපීමේ පොඩි වැරැද්දක් තියෙනවා වගේ දැනෙනවා. (නැගිටිව් වැඩි කිරීම නැගිටිව් උනාම පොසිටිව් වෙනවා නේද?)

    "විපරීතයගේ ඔළු ගෙඩියට හීන් ටොක්කක් ඇන්නා..." මේ කෑල්ල නොතිබුනා නම් හොදයි කියලා හිතනවා. මේක පාඨකයාට කැමති විදියට හිතා ගන්න තිබුනා නම් වඩා හොදයි. ඒ වගේම උත්තරයෙන් ඕනෑම කෙනෙකුට මේ කොටස දැනෙනවා. (මගේ අදහස විතරයි. පාඨකයාටත් යමක් හිතන්න ඉතුරු වෙන විදිහේ කතා වලට මම කැමති නිසා)

    වචන වලින් දමා ගැසීමේ කලාව, උඩු හිත යටි හිත අතර සංවාදය සෑහෙන්න හිතට වැදුනා. මට නම් මේ කතාවේ කොටස් අතර තිබෙන නොගැලපීමත් කලාවක් කියලයි හිතෙන්නේ..

    ReplyDelete
  7. ලියපු රටාව නියමයි. මේක දිග කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් මදාරා දිග කතාවක්..ස්තූතියි

      Delete
  8. මේකේ භාෂාව නම් එල . ඒත් කියවන්න අමාරුයි . මේකේ පසුබිම හරිම අවුල් . අක්කේ පොඩ්ඩක් ඒ ගන හිතලා බලන්නෝ . මට විතරද දන්නේත් නෑ ප්‍රශ්නේ තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. ම්ම් ..හරි මල්ලියෝ මම බලන්නම්..ටෙක්නිකල් අවුල් ලිහන්න මට තෙරෙන්නේ නැතුවානේ..විදේශාධාරයක් එනකම් ඉන්න වෙනවා.. තැන්කූ හොඳේ...

      Delete