Friday, September 13, 2013

පිස්සුද මන්දා ලාවට..

 මං දුන්නු ආදරේට
කණ් දෙකත් පලාගෙන
ඇස් දොට්ට පැනලා
හන්දිපත් පණ නැතුව
අංශ භාගේ වගේලු
අනේ මගේ කොල්ලට
අන්න දැන් හොදටම පිස්සුලු
සිහියක් කටක් නැලු
බලපු හැම මුල්ලේම
පේන්නෙම මාවලු
ලෙංගතු වැඩි කමට
අනුපානෙට දිය කරලා
මං පොවපු ආදරේ
සැර  වැඩි උනාද මන්දා
බයත් හිතෙනවා දැං 
කැරකිල්ල වගේ මටත්
පිස්සුද මන්දා ලාවට..




කීවා නාහන අකීකරු හිත


නුඹය
නුඹමය 
හිතේ
සිවු කොණ
නෑ ඉඩක් වෙන
සුසුම් පොදකට
කෙලෙස යම්
පිටු පාල හිතකට
වාරු නෑ මගෙ
හිත මටම අද
ඇලවිලා මම 
නුඹෙ හිතටම
හිතක් නෑ යලී
යන්න නුඹ හැර 
කීවා නාහන 
අකීකරු හිත
බිදීලා ගියෝතින්
බෑ අඩන්නට
එන්නෙ  නෑ මම
තවත් පාරක්
කදුලු පිහිදාලා
                                              උඹව නළවන්න....

Monday, September 9, 2013

ප්‍රේමය ඉදින් නුඹ



ඇසි පියන් යට මිදී
විටෙක හසරැල් නගන
යලිදු ඒ නෙත් අගින්
කදුළු වැහි වස්සවන 
ලෝකයක් තරම් වූ
සොම්නසක් තිලිණ කර
එ සතුට හංගාන
යළි කදුළු රැගෙන එන
නෙතු අගට එළි නොවෙන
හීන දී බොද කරන
ප්‍රේමය ඉදින් නුඹ 
අරුමයක් නොවන්නෙද?

ගිලිහුන සද



ළැමද පුරවලු
ඇබින්දක පණනළ
නාස්පුඩු අද්දරින්
ගිලිහුන සද දුරකට
කෙලෙස ගෙනයම්
ඇබින්දක සුසුමක්
නොලැබ ජිවිතයම
නොපෙනෙන ඈත ඉමකට 

ජීවිතය නම් අරුමයක්මය.......



සබඳ,
අදද දකින්නෙමි කඳුලින් මිදී පුපුරු ගසන දෙනෙතින් මාගේ ප්‍රේමය මියදී යන අපූරුව..දැනුදු විඳවන්නෙමි හදවතම රිද්දවන් සියොලඟම අවුළුවන වියෝගය.සහසක් සිහින,ප්‍රාර්ථනා,බලාපොරොත්තු සිහිනයක්ම පමණක්ව දෝතින් ගිළිහෙන අපූරුව.දනිමි නුඹද හඬන බව.ජීවිතේ මුල් වරට කීවෙමි මුසාවක් නුඹට..මසිත දවාලන ශෝකය වසන් කළෙමි නුඹෙන් මම.මන්ද එළඹෙන වියෝගය මිහිරක් කරන්නට නොව දුකින් කලඳක් අඩු කරන්නට.අපගේ ප්‍රේමය....අප දෙදෙනා එක්ව බිහි කළ ආදරණීය හිතුවිල්ල, අද පිළිලයක් බවට පත්වී පණ අදී ටිකෙන් ටික කවදා මියේදෝයි නොදන්නා මුත් හොඳින් දැන මියෙන වග.සිහින ,ප්‍රාර්ථනා,බලාපොරොත්තු මතින් ඉදිවූ ප්‍රේමයේ අත්තිවාරම අතරින් අවිනිශ්චිතතාව ඉඩ අවුරා ඇත.මුල මැද අග නොදන්නා කතාවක රූකඩ වූයෙමු අප නූල මා පියන් අතට දී.

පසක් කර ගතිමි වෙන් වීමක් මිස එක් වීමක් නොවන වග.දනිමි නුඹේ නමින් ,නුඹේ ලෙයින් කිසිඳු ප්‍රාණියෙකු මා කුසට නො එන වග.දනිමි නුඹ මා නමින් අශ්ඨක නොගැයෙන වග.දනිමි නුඹ සයනයේ පංගුකාරිය මා නොවෙන වග.දනිමි නුඹගේ පාද පරිචාරිකාවියද මා නොවන වග.නමුඳු අවසඟ මගේ හිත පසක් කර නොගනී එය..දැනුදු පතයි නුඹේම පතිනිය වන්නට.නුඹේම පුතණුවකගේ මවුන් වන්නට..නුඹේ සයනයෙ පසෙක හිඳ නුඹේ පපුතුරේ හිස හොවන් සැනහෙන්ට.දැවී අළුවෙන බව දැන දැනම සලබයා පෙම් බඳී ඉටි පහන් සිලට.මමද එසේමය..අසිපත් තුඩක් මැද හිඳ කොයි දෙසකට වැටෙම්දෝයි නොදැන විඳවයි සන්තානෙම.

නුමුදු දනිමි ,සියල්ලම අහිමි මුත් නුඹේ සෙනෙහස  මටම වග. එහෙත් දිනන්නේ කුමක් මම..සටන් කරන්නේ කුමට මම.නුඹ ඒකපාර්ශවිකවම පරාජය වන්නට හිඳින කල.අවිනිශ්චිතතාවයෙන් මිදෙන්නට එකදු පියවරක්වත් නොතබන කල.බලා හිඳිනුයේ කෙලෙස මම,බිළිඳෙකු සේ සෙනෙහසින් තුරුළු වී  හෙමි හෙමින් හැදී වැඩුනු මාගේ කුළුඳුල් ප්‍රේමය , මාගේ දෑත් මතම මියැදෙන සඳ.දිවිය මට හිමි නැත.දැන් එය නුඹගේය.තීරණය  නුඹ අතය.

මියැදෙමි මා සිතින් දස දහස්වර ...එනමුදු නුඹ...,නෙතු කඳුලු ,වේදනා සගවාගෙන තවමත් වැට උඩය.මට යශොදරාවක් වීමට නොහැක..අයදිමි දස දහස්වර මම නුඹගෙන් මගේම ජීවිතය.නමුදු නුඹ තවමත් තවමත් රකිනුයේ මුනිවතමය.කෑ ගසා හඬා හෝ නිමාවක් නම් නොවේ තුන් සිතම දවාලන සෝ ගින්න.ඉඳින් කෑ ගසා වැළපෙන හදෙහි දුක වසන්නට සිනහවක් අලවමි මුව උඩින් මූනිච්චාවට.එහෙත් සිත් සන්තානයම ඉකි ගසමින් වැළපෙනු ඇත. කළා සොලොස පිරි සුපුන් සඳ මගේ ලොවට එළිය නොදෙනු ඇත.සීතල ගණඳුරක් පමණක්ම ශේෂ වනු ඇත.නමුදු නුඹ හැර යන්ට දෙපා අවසඟය.නුඹෙන් වෙන් වන්නට වුවද නුඹ ලඟ රැඳෙමි මම.එහෙත් මේ මතකය .....?

නුඹ මා නමින් සිතේ සිවු කොන රැඳුනු මතකය.........?

ජීවිතය නම් අරුමයක්මය........

Thursday, September 5, 2013

ඔව්ද නැද්ද ?


ඔව්ද නැද්ද
ඔව්ද නැද්ද
ඔව්ද නැද්ද
ඔව්ද නැද්ද ?
මන්දා
ඒක උත්තරයක් නෙවෙයි
එහෙනම්
ඔව්ද නැද්ද?
දන්නෙ නෑ
කියන්න
මොකද්ද
ඔව්ද නැද්ද?
ම්ම්ම්..දෙකම
එහෙම බෑ
එහෙනම්
එකක් කියන්න
අපි මේ කොහෙද යන්නෙ
ගිහිල්ලම බලමු
මම නවතින්නද?
එපා
ඔයා නවතිනවද?
බෑ
එහෙනම්?
පාවෙමු
පාවෙමු?
ඔව් පාවෙමු
කොහාටද?
හැරුම් ලක්ෂයක්  මුණගැහෙනකම්
ඊට පස්සේ...
හිත කියාවි මොනා හරි
හ්ම්...
යමුද ?
යමු.... 

සලබ කුලේ මං


ගිනි පෙළෙල්ලක් ඇවිත්
බැට දුන්නු දා හිතට 
මං උන්නෙ බිය වෙන්න
පොඩි කණා මැදිරින්ට
අනේ හරි පුදුමයක්
බය නැලු මගෙ හිතට
මෙන්න කියනවා යළිත්
ඕනෑලු ළං වෙන්න 
තවත් ගිණි පෙල්ලකට
ගිණි පුපුරු ඉහිරවන
ගිණි පෙල්ළ ළං කරන්
කිටි කිටියෙ ගුලි වෙලා
ඕනැලු විඳගන්න
ඇට මිදුලු දිය කරන
ගිණි සිසිලෙ අමා සුව
එකත් එකටම මමත්
සලබ කුලේ වෙන්න ඇති 
ඒ නිසයි දඟලන්නේ 
දැවෙන බව දැන දැනත්
ළං වෙන්න ගින්දරට

Tuesday, September 3, 2013

අප්පච්චී...



නොනවත්වාම ජංගමයා හඬ තලයි..ඇහුණා නෑහුනා මෙන් උන්නත් නවතින පාටක් නම් නැත.යාන්තම් ඇහැ පියවේගෙන එන විට කෑ මොර තලන ජංගමයා ගැන තදබල ලෙසට හිතට කාන්දු වෙන  නොරිස්සුමක්  සමඟ මම නෙත් පියාගත් වනම උගේ බොටුව මිරිකා විසන්ඳි කර දැමුවෙමි.නමුදු තත්පර කිහිපයක්වත් ගත වන්නට නැත.නැවතත් කිසිදු අනුකම්පාවක් නොමැතිව මගේ කොට්ටය අස්සට රිංගාගෙන උන් ඌ දෙදරමින් මහ හඬින් මොර දෙන්නට විය.

"මොන මළ කරුමයක්ද මන්දා..නිවාඩු දවසේ මොකාද මේ වද දෙන්නේ "

 මම හිතෙන් දෙස් තියමින් ජංගමයාගේ කෙස්සෙන් අල්ලා කොට්ටය යටින් එළියට ඇද උගේ මූණතහඩුව දෙස නිදිමත පෙරෙන තනි ඇසෙන් බැලීමි.

"අප්පච්චී" ජංගමයාගේ මූණතහඩුවේ සටහන්ව තිබුණේ එලෙසය.

මම උගුර පාදා කටහඬ සකසා ගතිමි.අප්පච්චි දවල්ට නිදා ගන්නවාට බිඳකුදු මනාප නැත.

"හෙලෝ අප්පච්චි කියන්න"

ආ.... පුතා නිදාගෙනද උන්නේ?"

කෙතරම් බොරු ගෙතුවද පලක් නැත්.අප්පච්චී තරම් හොඳින් මා ගැන දන්නා අනෙකෙකු නොමැති තරම්ය.

අනේ නෑ අප්පච්චි .. මේ බාත් රූම් එකේ හිටියේ .. ඇහුනේ නෑ.."

මම මුසාවක් ඇමිණූවෙමි..මගේ බෝඩිම් ජීවිතයට නම් පිළිවෙලක් කියා දෙයක් ගෑවිලාම නැත.නිදා ගැනීමට අවදි වීමට වෙලවක් කලාවක් මොකොවත්ම නැත.රැයක් දවාලක්ද නැත. ඉදින් අදද එලෙස හොඳටම එලිය වැටුණු පසු ඇඳට ගොඩ වූ දිනයකි.එපමණක්ම නොව මේ අද දිනයට අප්පච්චිගෙන් පැමිණි සිවුවන ඇමතුමයි.

"මොනා කරන්නේ? මේ අප්පච්චීගේ මීලඟ සුපුරුදු පැනයයි."

ඉන්පසු කෑවද, බීවද ,ඉව්වද, ඉව්වේ මොනාද ,කොහේද ගියේ ,කවුද එහේ හිටියේ, එයා මොනාද කිවුවේ මෙකී නොකී ප්‍රශ්නාවලියකි.

අප්පච්චීගේ හැටි එහෙමය.ඔහු එලෙස විමසන්නේ වුවමනාවකට හෝ සැකයක් නිසාවෙන් නොව නිකමටය.ඒ ආදරේට විය හැකිය.ඔහු අපි කාටත් එහෙමය.මට මල්ලීට අම්මාට කිසිදු වුවමනාවක් නොමැතිව වුවද දිනකට හත් අට වතාවක් අමතයි.කියන්නට තරම් දෙයක් නැතත් මොනවාම හෝ පවසයි.ඔහු කොයිතරම් කාර්යබහුල වුවද මේ පුරුද්දේ නම් පුංචියට තරම්වත් වෙනසක් නොවෙයි.වරක් ඇමතූ පසු ජංගමයාට පිළිතුරු නොදුනහොත් පිළිතුරු දෙන තෙක්ම එකපෙළට ඇමතුම් ගලා එයි.

මා නිවිහැනහිල්ලේ මා ගැනම සිතූ බොහෝ අවස්ථාවලදී මා පසක් කොට ගත්තේ මා අම්මාට වඩා අප්පච්චිට ආදරය කරන බවයි.ඔහුද එසේම වන්නට ඈත.පවුලෙන්ම මගේ ප්‍රියතමයා වන්නේ ඔහුය.දුවලා වැඩිපුර ආදරේ අප්පච්චිලාට යන කතාවනම් අසත්‍යක් වීමට නොහැක.මන්ද මා එතරම්ම ඔහුට ඇලුම් කරන බැවිනි. මට බාල සොහොයුරෙකු සිටියද ඔහු කවදත් මට ඇමතුවේ පුතා දුව ලෙසය. කොහේ සිට නිවසට පැමිණියද ඔහු දොරට ගසමින් අඬගසන්නේ මටය.

මට හොඳින්ම පෑහෙන පවුලේ සාමජිකයා ඔහුය.අපි දෙදෙන එක්වූ තැන්හී අපට දෙඩීමට ඇති දෑ හී ලැයිස්තුව බොහෝමත්ම දීර්ඝය.අප දෙදෙනාගේ සංවාදයන්ට කිසි විටෙකදී අම්මා හෝ මල්ලි එක් නොවෙන අතර අප කතා කරන කිසිවක් ඔවුනට රිසි මාතෘකාද නොවේ.මා බාලේ පටන්ම පොත් ගුල්ලියෙකි.අදද මා වචන තුන හතරක් අමුණා කුමක් හෝ කුරුටු ගෑමට තරම් හපන් කමක් ඇත්නම් ඒ අප්පච්චී නිසාමය.සාහිත්‍ය, බෞද්ධ දර්ශනය, ඉතිහාසය ,දෙශපාලනය ,ගුප්ත විද්‍යාව අප්පච්චීගේ සංවාදවල සුලබ ප්‍රස්තූථයන්ය.ඔහු දන්නා දේ බොහෝය.

විද්‍යා විශයන් උගත් මගේ අම්මාට නම් කලාව අපුලය.ඒත් අප්පච්චීටනම් කලාව යනු රස ගුලාවකි.අප අම්මට ඉඳ හිට බලෙන්ම වාගේ කියවන්නට පොතක් දෙකක් ගෙනැවිත් දුන්නද ඈ කිසි දිනයක පොතක් ඈවර වනතුරුම නොකියවයි.අහම්බයකින් හෝ කියවා අවසන් කළහොත් ඒ පිටු සියයක් තරම් වූ පොතක් මසකදී පමණ කියවා නිමකල අවස්ථාවකදී පමණි.මා ජනිත වූයේ අම්මාගේ හා අප්පච්චීගේ රුචි අරුචිකම් ගති සිරිත් හුරු පුරුදු වලින් පමණක්ම යැයි යමෙක් කොතනකදී හෝ පැවසූවොත් අම්මගෙන් මට උරුම වන්නට ඇත්තේ ඇට්ටර දඩබ්බර ගුණය පමණක්ම යැයි නිසැකවම පැවසිය හැකිය.ශේෂ වන්නාවූ සියල්ල ඇබින්ඳක තරම්වත් දෙගිඩියාවකින් තොරව අප්පච්චිගේ යැයි කිව හැකිය.

අප්පච්චී පන්සල හා සමීප ඇසුරෙකින් හැඳී වැඩුනෙකි.ඔහුට ගුත්තිලය සැලලිහිණිය එක කවියක් නෑර කට පාඩම්ය.ඔහු ඕනෑම කවි පදයක් සැනින් ධාරණය කර ගැනීමේ හපනෙකි.ඔහුට වූ ඒ හැකියාව පවුලෙන්ම උරුම වූයේ මට පමණකි.මගේ මල්ලිට කවි පද හතරක් මතකයෙහි ගබඩා කොට ගත හැකි  දිනක් වී නම් එදිනට සක්වල කලඹා මිහිකත කම්පා වනු නිසැකය.පුංචි සන්ධියේ පටන් අප්පච්ච්යි මමයි තරඟයට කවී කීවෙමු.වාද කලෙමු.වරු ගණන් කියෙව්වෙමු.මේ තරමටම ලොකු මහත් වූ පසු පවා ඔහුට තුරුළු වී කතා කිරීමට දැනුදු  ශේෂ වී ඇති දෑ බොහෝමය.

අප්පච්චීට පාලි හා සංස්කෘත දැනුමක් ඇත. පිරුවානා පොත් වහන්සේ ඔහුට සම්පූරණයෙන්ම කට පාඩම්ය.අප්පච්චිගේත් අප්පච්චි කුඩා කාලයේදී ඔවුනට සකස්කඩ , බුද්ද ගජ්ජය ,ශත්‍රශතකය, නවරාශ්ටශතකය වැනි විවිද ග්‍රන්ථ ගෙනවිත් දුන්නේලු.ඇතැම් පොත් වල නම් මා අසාවත් නොමැති අතර සමහර නම් ගම් මගේ මතකයේ පවා ශේෂ වී නොමැත.පාසල් ගොස් පැමිණි පසු පන්සලේ ලොකු හාමුදුරුවන් මුණ ගැසී මේ පොත් උගැන්ම ඔහුගේ නිවසේ අනිවාර්ය නීතියක්ව තිබුණු බැව් අප්පච්චි වරෙක මා සමග පැවසූ බව මතකය.අදද ඔහු විවේක පාඩුවේ පසුවන ඇතැම් අවස්තාවලදී අප අසාවත් නැති කවි ,ශ්ලෝක , ගාථා මුමුණනු මම අසා ඇත්තෙමි.

අප්පච්චී යනු මට නම් අපූරු අපූර්වතමයෙකි.පුංචිම කාලයේ මම සෙල්ලම් බෝනික්කන්ගෙන් සෙල්ලම් කලද දැන් ඒවා කාමරයේ ගොඩ ගසාගෙන සිටින්නේ සෙල්ලම් කිරීමට නොව කාමරය හැඩ කිරීම සඳහාය.නමුදු අප්පච්චීට නම් එසේ නැත. මම කාමරය අතු ගා අස්පස් කර බෝනික්කන් ඇඳේ පෝළිමට ඇසිරූ එක් දිනක් මට අද වාගේ මතකය.ඒ වන විටද මට වයස අවුරුදු විසි දෙකක් හෝ විසි තුනක් වන්නට ඇත.එසේ වුවද ඔහු මාගේ කාමරයට ඇතුලු උනේ පුංචි සන්ධියේ මගේ සල්ලම් ගෙදරට ගොඩ වෙනවා හා සමානවමය.

"ඔන්න ඔයාගේ ගෙදරට නෑදෑයෝ ඇවිල්ලලු..තේ බොන්න තේ වතුර ලිපේ තියන්න."

බෝනික්කන් ගොඩේ වාඩි වී ඔහු කියූ සැටි මට අද වාගේ මතකය.ඒ සිනා මුසු මුව මඬල මට දැනුදු දෑස් පියා ගත් ඇසිල්ලක අනාසයෙන්ම  නෙත් ඉද්දර මවා ගත හැකිය.

අප්පච්චී කිසි දිනෙක කිසිවකින් කම්පා වනු මම දැක නොමැත්තෙමි.ඇසුවා නම් ඒ එක් වරක් පමණක්ය.ඒ මා කොලඹ බෝඩිමක නතර කර ගිය දිනයේය. සතියක් දෙකක් යනතුරු ඔහු අමුතූ වී සිටි බව දිනක් අහම්බෙන් වගේ මගෙ ලොකු අම්මා කෙනෙකුගේ මුවින් පිට විය.ඒ වනතෙක්ම මම ඒ ගැන හාන්කවිසියක්වත් දැන නොසිටියෙමි.එහෙත් පැයකට වතාවක් පමණ මට දුරකතන ඇමතුම් දුන්න බවත් බෝඩිමේ ඉන්න බැරි නම් දමල ගහලා ගෙදර එන ලෙසත් කියූ අයුරුත් නම් මට හොඳ හැටියට මතකය.

අප්පච්චී තරම් නිවුණු දැමුණු කිසිවෙකුත් මම මෙතෙක් මුණ ගැසී නැති තරම්ය..සිව් විසි වසරකටත් වඩා මාස කිහිපයකට දීර්ඝ වූ මාගේ ජීවිත කාලය තුල මම අප්පච්චී කෝපයෙන් සිටිනවා දැක ඇත්තේ දෙවරක් පමණකි.අද වනතුරුම මා ඔහුගෙන් නිය තුඩක් තම් වත් වූ පහරක් නොලද අතර අතැඟිලි වලටත් වඩා අල්ප අවස්ථාවන් කිහිපයකදී පමණක් බැනුම් අසා ඇත්තෙමි.දන්නා කාලයේ දී පටන් ඉතා දඩබ්බර ඇට්ටර කෙල්ලකු වූ මගේ හිතුවක්කාරකම් අනෙකෙකු නම් කෙලෙසකවත් ඉවසාවි යන්න ඇදහිය නොහැකි නියතයකි.

තුරුණු දරුවන් සිටින කුටුම්භයක දූ දරු මා පිය  සිතැඟි තුලනය නොවීම  නිසා සිදුවන ඝට්ටන , දබර , සිත් රිදවීම් නම් එමටය.මාද එලෙස මා පියන් හා ගැටුණු අවස්ථා වැඩි මිස අඩුවක් නම් නැත.එවැනි දබර වලදී මාද අනන්තවත් විස පිරුණු වචන වලින් අම්මාට අප්පච්චීට දමා ගසා ඇත්තෙමි.එවැනි දිනයන්හී අප්පච්චි රිදවීම පිළිබඳව මා පශ්චාත්තාප වී හඬා වැටුණු අවස්ථාවන් එමටය.අම්මාටත් වඩා හිත වඳ වින්ඳේ අප්පච්චී නිසාමය.විටෙක එහි අමුත්තක් දැනුනද ඇතැම් විට එයට හේතුව බාලේ පටන්ම අම්මාගෙන් නම් ඉහේ කෙස් ගාණට කිහිප ගුණයකටත් වඩා  බැනුම් අසා පහර කා දබර වී ඇති නිසා මගේ හිතත් කම්මලේ බල්ලාගේ ගාණට පදම් වී තිබීම විය හැක.මම අම්මාටද බොහෝ සෙයින් ආදරය කරන්නෙමි.නමුදු මම මටම අවංක වී සිතා කිරා මැන බැලුවොහොත් අම්මාට වඩා සුවිශේෂ වූ කුමක්දෝ බැඳීමක් අප්පච්චී කෙරෙහි මා අලවා තබා ඇත.

නැවතත් ජංගමයා මහ හඬින් මොර දෙයි.මා මෙලෙස සිතිවිලි දාමයක වෙලී කෙතරම් වෙලාවක් දිය කර දැමුවාදැයි මට නිනව්වක් නොමැත.මම ඇල්මැරුණු නෙතින් ජංගමයාගේ මුහුණ කියවීමි.

හ්ම්...පස්වන වතාවටත් ඒ අප්පච්චීය.............