Monday, September 9, 2013

ජීවිතය නම් අරුමයක්මය.......



සබඳ,
අදද දකින්නෙමි කඳුලින් මිදී පුපුරු ගසන දෙනෙතින් මාගේ ප්‍රේමය මියදී යන අපූරුව..දැනුදු විඳවන්නෙමි හදවතම රිද්දවන් සියොලඟම අවුළුවන වියෝගය.සහසක් සිහින,ප්‍රාර්ථනා,බලාපොරොත්තු සිහිනයක්ම පමණක්ව දෝතින් ගිළිහෙන අපූරුව.දනිමි නුඹද හඬන බව.ජීවිතේ මුල් වරට කීවෙමි මුසාවක් නුඹට..මසිත දවාලන ශෝකය වසන් කළෙමි නුඹෙන් මම.මන්ද එළඹෙන වියෝගය මිහිරක් කරන්නට නොව දුකින් කලඳක් අඩු කරන්නට.අපගේ ප්‍රේමය....අප දෙදෙනා එක්ව බිහි කළ ආදරණීය හිතුවිල්ල, අද පිළිලයක් බවට පත්වී පණ අදී ටිකෙන් ටික කවදා මියේදෝයි නොදන්නා මුත් හොඳින් දැන මියෙන වග.සිහින ,ප්‍රාර්ථනා,බලාපොරොත්තු මතින් ඉදිවූ ප්‍රේමයේ අත්තිවාරම අතරින් අවිනිශ්චිතතාව ඉඩ අවුරා ඇත.මුල මැද අග නොදන්නා කතාවක රූකඩ වූයෙමු අප නූල මා පියන් අතට දී.

පසක් කර ගතිමි වෙන් වීමක් මිස එක් වීමක් නොවන වග.දනිමි නුඹේ නමින් ,නුඹේ ලෙයින් කිසිඳු ප්‍රාණියෙකු මා කුසට නො එන වග.දනිමි නුඹ මා නමින් අශ්ඨක නොගැයෙන වග.දනිමි නුඹ සයනයේ පංගුකාරිය මා නොවෙන වග.දනිමි නුඹගේ පාද පරිචාරිකාවියද මා නොවන වග.නමුඳු අවසඟ මගේ හිත පසක් කර නොගනී එය..දැනුදු පතයි නුඹේම පතිනිය වන්නට.නුඹේම පුතණුවකගේ මවුන් වන්නට..නුඹේ සයනයෙ පසෙක හිඳ නුඹේ පපුතුරේ හිස හොවන් සැනහෙන්ට.දැවී අළුවෙන බව දැන දැනම සලබයා පෙම් බඳී ඉටි පහන් සිලට.මමද එසේමය..අසිපත් තුඩක් මැද හිඳ කොයි දෙසකට වැටෙම්දෝයි නොදැන විඳවයි සන්තානෙම.

නුමුදු දනිමි ,සියල්ලම අහිමි මුත් නුඹේ සෙනෙහස  මටම වග. එහෙත් දිනන්නේ කුමක් මම..සටන් කරන්නේ කුමට මම.නුඹ ඒකපාර්ශවිකවම පරාජය වන්නට හිඳින කල.අවිනිශ්චිතතාවයෙන් මිදෙන්නට එකදු පියවරක්වත් නොතබන කල.බලා හිඳිනුයේ කෙලෙස මම,බිළිඳෙකු සේ සෙනෙහසින් තුරුළු වී  හෙමි හෙමින් හැදී වැඩුනු මාගේ කුළුඳුල් ප්‍රේමය , මාගේ දෑත් මතම මියැදෙන සඳ.දිවිය මට හිමි නැත.දැන් එය නුඹගේය.තීරණය  නුඹ අතය.

මියැදෙමි මා සිතින් දස දහස්වර ...එනමුදු නුඹ...,නෙතු කඳුලු ,වේදනා සගවාගෙන තවමත් වැට උඩය.මට යශොදරාවක් වීමට නොහැක..අයදිමි දස දහස්වර මම නුඹගෙන් මගේම ජීවිතය.නමුදු නුඹ තවමත් තවමත් රකිනුයේ මුනිවතමය.කෑ ගසා හඬා හෝ නිමාවක් නම් නොවේ තුන් සිතම දවාලන සෝ ගින්න.ඉඳින් කෑ ගසා වැළපෙන හදෙහි දුක වසන්නට සිනහවක් අලවමි මුව උඩින් මූනිච්චාවට.එහෙත් සිත් සන්තානයම ඉකි ගසමින් වැළපෙනු ඇත. කළා සොලොස පිරි සුපුන් සඳ මගේ ලොවට එළිය නොදෙනු ඇත.සීතල ගණඳුරක් පමණක්ම ශේෂ වනු ඇත.නමුදු නුඹ හැර යන්ට දෙපා අවසඟය.නුඹෙන් වෙන් වන්නට වුවද නුඹ ලඟ රැඳෙමි මම.එහෙත් මේ මතකය .....?

නුඹ මා නමින් සිතේ සිවු කොන රැඳුනු මතකය.........?

ජීවිතය නම් අරුමයක්මය........

No comments:

Post a Comment