Showing posts with label සංකල්පනා. Show all posts
Showing posts with label සංකල්පනා. Show all posts

Friday, July 13, 2018

නුඹ මම අපි...

Image result for painter
මම කොලයක්
හිස්ම හිස් සුදු පාට
තීන්ත පුසුඹට ඉව කරන
බකිරිත්තන් වෙන්න
මග බලන

නුඹ පන්හිදක්
පින්සලක් පැන්සලක්
පාට කූරු පෙට්ටියක්
ඉද හිටක කවි ඔතන
නිතරෝම බලි අදින
.........






Thursday, January 14, 2016

රිද්දනේ නෑ ඇබිඳක්වත් විස්වාස නැද්ද උඹට මාව...



ඇස් කන් ඇලවුණු
ගෝනි බිල්ලන්ට
වගේ වගක් නැතිවම
ලිප්ටන් වට රවුමේ පෝලිමට
අවුරුදු ගණන් බෑගිරි දුන්නු 
අසම්පූර්ණ විප්ලවය..
පොට්ටනි ගහලා දෝතින්
බාර කලේ අනාගතයට
එක හිතින් නොවුනාට
අවුරුදු ගානටම මගෑරුණු
හිඟ පත්තර පුරවන්නේ කෝම
උත්තරීතර විප්ලවයේ බර
මොළ ගෙඩිය උඩ පටවාන..
උපාධිය අරගෙන හනිකට
ගෝනි බිල්ලෙක් නොවුනොත් මම
මෑත පේන ආලකමන්දාවට 
ඉඳ හිට හරි රිංගන්ට
අහලකින් හරි පැලක් අටෝගන්ට
වරම් ගන්නේ කොහොමද..
ඉතිං සමාවෙයන් මට
ඉකි ගහන හෘද සාක්කිය
සිඳලන්න අවසරයි ඔය බොටුව
එක කඩු පාරෙන් වෙන් වෙන්න
සක්කියක් නොතියාම
ඉතිං නඬා ඉදින් ඔතනම
රිද්දනේ නෑ ඇබිඳක්වත්
විස්වාස නැද්ද උඹට මාව...

Wednesday, November 26, 2014

පිටස්තරයා කොටු කිරීම

එකකට එකක් නොදෙවෙනි සබඳකම් පෝලිමක් නඩත්තු කරන්නටම දියවෙන ජීවන කලබගෑනියක අතර මැද්දෙන් නුඹට මා මෙන්ම මට නුඹවද  හෙමි හෙමින් අහිමි වෙන ඛේදාන්තයක ආරම්භය ඉද්දර මම යලිඳු වතාවක් නරඹන්නියක් බවට පත්ව ඇත්තෙමි.පිටපතේ අහුකොන් යාන්තමට වගේ වෙනස් වුවද බොහොමයක් ජවනිකා සමාන විම අහඹුවක්ම යැයි ඇදහීම නම් අසීරුය.
මෙය මට මෙන්ම නුඹටද තව දස දහස් ගනනක් වූ ඇතමුන්ටද වරක් දෙවර තෙවරක් හෝ සිවුවරක් නොව  අනේක වාරයක් සිදුවී ඇතිවාට සැක නැත.ඇසිල්ලකට හෝ නුඹට නුඹම අහිමි බව පසක් වී ඇත්ද?ඇතැම්විට ඒ සිතුවිල්ල නුඹේ හිත් මානයට වරක් වත් ගොඩවී නැතිවා විය හැක.නමුදු නුඹට හොරාට නුඹටම නුඹ අහිමිව ඇතුවා විය නොහකිද?නුඹට නුඹ අහිමි වනු දැක දැකම කිසිවක් කර කියා ගත නුහුණුව බලාන උන්නා විය හැක.කෙසේ නමුදු අවසානයේ දී අපට අපවම අහිමි වී ඇත.කවුදෝ කියා අපටම හරි හැටි හඳුනාගත  නොහැකි ආගන්තුක ප්‍රාණයක් අපගේ සියලු අනන්‍යතාවයන් ඌ සන්තක කරගෙන අප නමින් පෙනී සිටී.

"සැබෑවටම ඒ මමද?"

මා අනේකවාරයක් මගෙන් ප්‍රශ්න කර ඇත්තෙමි.ඒ කිසිඳු වතාවක මට හරිහමන් උත්තරයක් අමුණාගත නොහැකිවුයේ මගෙන් මා විමසු පැනය මා වෙතට යොමු නොවුනු නිසා විය නොහැකිද?ඇතැම්විට මා වෙනුවෙන් උත්තර අමුනා දීමට තරම් ආගන්තුකයා මා ගැන නොදන්නවා විය හැක.නැතිනම් ඒ උගේ සටකපට කමයි.කෙලෙසින් හෝ අහුකොන් නෑර අත පත ගගා ඉදහිටක මම මාවම සොයා ගත්තද ක්ශනයකින් මා වියකී ගොස් ආගන්තුකයෙකු මා වෙතට ආරෝපනය වන්නේ මන්දැයි මා නොදනිමි.දැන් මටම දෙකෙන් එකක් වෙන් කරගත නොහැකි  තරමටම සියල්ල පටලැවී ඇත.
ඉඳහිටක නුඹ මා ලෙසින් හඳුනා ගත්තේ මාවමද එමෙන්ම මා නුඹ ලෙසින් හඳුනා ගත්තේ සැබෑවටම නුඹවමද නැතිනම් නුඹ හෝ මා නමින් ආරෝපිත ආගන්තුක ප්‍රාණියෙක්ද යන්න කෙලෙස තෝරා බේරා ගන්නද?මට මාවම නොපෙනෙනා වංකගිරියක මම කෙලෙස නුඹ සොයන්නද?
අවසානයේදී කුමක් සිදුවේදැයි නොදන්නා නමුත් අපි අතරමං වී ඇති බව, අපි අපි අතරම නන්නත්තාර වී ඇති බවම පසක් කොට ගැනුමවත් මේ විශම වූ වංකගිරිය තුල සැනසෙන්නට තරම් වටිනා හේතුවක් නොවන්නේද?ඉදින් අපි අප සොයා උඩු ගං බලා යාත්‍රා කරන්නට තව තවත් තාවර වෙවී සිටිය යුතුමද?පිටත් වන්නට සුදුසු කාලය අප පසුකරගෙන බොහෝ දුර ගොස් ඇත.ඉදින් දැන්වත් අප ගමන් ඇරඹිය යුතු බව පසක් කර ගැනුමට තව කොපමණ කාලයක් මග බලා සිටිය යුතුද?

Friday, October 10, 2014

කළු ලේ පාට සුදු පරෙවියෝ




අලු වලාකුළු අතරින්

සිත්තමක් වූ රිදී රේඛාවේ

ගෑවි ගෑවි දේවදුන්නක් අහලින්

තටු සිඳුනු මුත් පියා සලයි 

කළු පාට සුදු පරවියෝ

ලේ පාට සුදු පරෙවියෝ

නූලෙන් ගිලිහුණ පාට සරුංගල්

ඔහේ පාවි ඉපිළී

කිමිදෙනවා හිස් අහසේ

සන්තකයට තටු ශේෂ නොවුනු මුත්

උන් ඉගිලෙනවා අහසේ

ඉමක් කොණක් ගැන වගක්වත් නැති අහසේ

කුණාටු හුළගින් කඩා හැලුණු තටු 

පිරිමදිමින් මද පවන හමනවා

මුඩු බිම් ඉද්දර තැන තැන හොරාට

ඇකිලුණු මල් පොඩි දෑස් අරිනවා

සුසුම් ඇබින්දක කඳුලක් රහසේම තවරා

අලුත් ලොවට අපි හැල්මේ දුවනවා

Sunday, July 13, 2014

හැලිය බිදන් අපි හැරෙමුද ??


පොළොව පොඟපු ලේ ගංගා
කරුකුට්ටම් වෙලා ගිහින්
ලේ පුසුඹට ඉව කරලම
නාසය හිරි වැටිලා ගිහින්
මෙලෝ වගක් දැනෙන්නේ නෑ
වැරදි පාරේ සැකිලි ලෙසින්
හැල්මේ දුවන් උන් යනවා
අවසානෙට ළඟින් ළඟින්

ෆැන්ටසි වල උන් ලැඟගෙන
ඇලී ගැලී එරී වැතිර
එතනම පස් වෙලා යනවා
මළගමවත් දන්නේ නැතුව
අඩියක් අඩියක් ගානට
පාරක් පාරක් ගානට
හැරුම් ලක්ෂයක් හොයන්න
ෆැන්ටසියේ දොර බිඳින්න
  
මුඩු බිම මත මල් පිපෙන්න
බොල් හුළඟට තෙත පොවන්න
පැටව් ගහන හැරුම් ලක්ෂ
ඕන උන්ගේ ඔළු මකන්න
හැරුම් ලක්ෂ හුඟක් ඕනි
යන පාරෙන් ඉවත් වෙන්න
ගින්න සැරයි හැලිය බරයි
උතුරන්නට ඔන්න මෙන්න

ඉහ මොලගෙඩි තම්බාගෙන
හැලිය උතුරලා නටාවි
හැලිය බිඳන් අපි නාවොත් 
හැලියෙම කරවෙලා යාවි
හැරුම් ලක්ෂ හුඟක් ඕනි
යන පාරෙන් ඉවත් වෙන්න
එහෙම නැතොත් අපට වෙන්නේ
ඉහමොල පිච්චිලා නැහෙන්ට

අඩියක් අඩියක් ගානට
පාරක් පාරක් ගානට
හැරුම් ලක්ෂ හුඟක් ඕන

මේ යන අත හරවන්නට

Wednesday, July 9, 2014

ශිෂ්ටාචාරය නිදොස්ද?

තත් අතරින් 
එලියට බේරෙන
පන ගහන ජීවිතය
විඳගන්න පිං කලේ 
අපි විතරමද?....
කුණු වී පැහැවන
ජීවිත වගුරට පීදුන
නෙලුම ගැන ආරංචි උනෙත්
බඹරු තුන හතරකටද?...
පොඩිවට පිපුණත්
පිපුනෙ නෙළුමක් නම්
මඩකරි අස්සේ දිලිහෙන්න
ඒ නෙළුමට තහනම්ද?...........
ලක්ශ්මී එක්ක 
සන්ධානගත වුනු සරස්වතී
අද නෙළුම් පල්ලෙන් 
මඩට බැහැලද?..
කිල්ලෝට වල
හුනු නොතිබුනාට
කවුරු කවුරුත් 
නිදොස් වේවිද 
එහෙමෙ නිදොස් කොට 
නිදහස් කලොත්
නිවි හැනහිල්ලේ
නින්ද යයිද?

Tuesday, June 24, 2014

එන්නේ නෑ ආයේ මම

ගහෙන් වැටුනෙත් මම
ගොනා ඇන්නෙත්  මට
මගේම උන් වටකරගෙන
ආපහු තැලුවෙත්  මට
අනේ ළගපාතකඋඹ
උන්නා නම් හිතුනා මට 
එහෙනම් ඉඩක් නොතියාවී
වටකරගෙන මට තලන්න
තොල් දෙපොට හපාගෙන
ඇස් රිදෙනකන් ඇඩුවා මම
දැන් නම් හොදටම වැඩි
රතු කට්ටට ඔන්න මෙන්න
හිතුනොත් අම්මපා මම
ලට්ට පට්ට අකුලාගෙන
සකලමනාවම ඔතාන
යනවා හිස් කට්ට 
හැරිච්ච දිහාවක
අමනාප වෙලා නේන්නම
ඔන්න අඩගහන්න එන්න එපා
එන්නේ නෑ ආයේ මම ...



Friday, June 20, 2014

විපරීත ගැජට් එක


මල ඉලව්
පල හිලව්
හැදෙන කැඩෙන ගානට
දුක් වෙන 
සතුටු වෙන
අඬන දොඩන 
හිනාවෙන
කෙල උනාම
මත්තේ හැපෙන
කඳුලු පෙරන
හූල්ලන
 බැන බැන
 මඟ බලන
හොරෙන් හොරෙන්
පස්සෙන් යන
කාලෙකින් යලි ඇලෙන
ඇලි ගැලී ආයේ අඬන
හිනාවෙන පිස්සු කෙලින
පැටෙලෙන දිගහැරෙන
විලම්බීත 
විපරීත
අමුතුම ගැජට් එක
අම්මපා මේ හිත
විකාරයි හොදටෝම

Thursday, June 19, 2014

අපි BUZY අපි BUZY ...


BUZY BUZY
BUZY BUZY
පාරම් බාන්ට
ගැලවිජාවට
ඇබ්බැහි වෙන්නට
තෝන්තු වෙන්නට
අවුල් හදන්නට
අවුල් ලිහන්නට
ඇත්තට
බොරුවට
සෝබනේට
කෝකටත් තෛලය
දන්නා දා සිට
හා හූ නැතුවම
මලලසේකරේ
ඔහේ පල්වුන
හිටි හැටියෙ  තටු ඇවිත්
අළු ගසා
කරලියට වැඩි
21 වෙනි සියවසේ
හිටි හැටියේ HIT වෙච්ච 
"BUZY"
වැඩ ඇතත් 
වැඩ නැතත්
අපිBUZY
 අපි BUZY  ...




Monday, June 16, 2014

නොකී මළගම ....





ඌ ගියා යන්නම

මළගමවත් නොකියම

අනේ මං ඉන්නවා තාමත්

මල්වඩම් සේසත් අටෝගෙන

මල බතකුත් උයාගෙන

හාරපු වලේ පස් කන්ද උඩ

සොහොන් ගලට වත්තම්වී

මතක වස්ත්‍රයේ කොනකින්

හොටු කදුළු පිහ පිහ

අවසන් කටයුතු කරන්නට...

Wednesday, March 19, 2014

විකාරශීලී කැරපොතු තියරිය


සම්බන්ධකමුත් හරියට
නොපිට හැරුණු කැරපොත්තෙක්
 ගානයි වෙලාවකට
කොච්චර දැගලුවත්
හොද පිටට හැරවෙන්න
තාමත් අඩු ගසනවා
උඩු බැල්ලෙන් බුකවගෙන
කොහෙවත් යන කුඹි රොත්තක්
උස්සාගෙන ගොස් මුල්ලකට
ඔලු ගෙඩියෙන් පටන් ගෙන
ලේ මස් උරා බොන තුරුම 
දැනෙන් නෑ ඇබින්දක් තරම්වත් 
කෙලවුණු තරමේ දිග පළල 

Tuesday, March 18, 2014





මල් වෙඩිල්ලක් වගේ 
දිස්නේ දි හතර අත
ඉගිලිළා ආකහේ 
ගෑවී නොගෑවී ගෙන
හිටි හැටියේ ඇද වැටුණි
කඩා බිදගෙන පොළොවට 
දිස්නේ දුන් එළි අකුලාන 
පුස්සක් වූ ප්‍රේමය ....
අනේ නිලංකාරයි තාමත් 
අයාගෙන උන් නෙතු දෑලම...


Sunday, December 8, 2013

පාරා...

පපුව පුරවලා එළියට එන හුස්ම අගිස්සේ දැවටුන සුදු දුම් වළල්ල ඇස් ඉද්දරින් පාවෙලා නොපෙනී ගියා.බැල්කනියේ කොණක එල්ලිලා උන්නු විදුලි බුබුළගේ මාලානික එළිය යට ඉදන් අඳුරට ගුලි ගැහිලා හැංගිලා යන දුම් වළාවල් දිහා මං ඔහේ බලාන උන්නා. මැදඟිල්ලත් දබර ඇඟිල්ලත් අතරින් දැනුණු ගිණියමින් මගේ දැහැන ඉහිරුණා.

ඇඟිලි කෙළවරටම දැල්විලා ආපු සිගරට්ටු ෆිල්ටරේ අගිස්ස පුටු ඇඳි කොණක ඇතිල්ලිලා අළු බඳුන දිහාවට පා වුණා.ඌත් අළු බඳුන බදු අරං උන්නු උගේ අනික් සහෝදර සිගරට් කොට හැත්ත බුරුත්ත අස්සේ කොණක් අල්ල ගන්න වලි කාලා බැරි උණු තැන බිම උන්නු උන්ගේ ගොඩටම එක්කාසු උනා.

හ්ම්....

පාවෙලා ගිය සුසුමත්, දකුණතින් ගිලිහිලා විස්කි වීදුරු පතුලේ වැදුණු අයිස් කැටයත්, මුළු ගේම ගිල දමාපු සීතල නිහැඬියාව බිඳලා දැම්මා..
විස්කි උගුරක් කටට හලා ගත්තු මම බෝම සීරුවට මලක් ඔතන්න පටන් ගත්තා.මට හිතේ එකලාසය නැතුව සීරුවට කරන්න හැකියාවක් ශේෂ වෙලා තිබුණු එකම කටයුත්ත එච්චරයි.පොඩි කාර්ඩ් බෝඩ් තීරුවකට හිර වෙච්චි ෆිලටර් කෑල්ල වට කර ගත්තු කොළේ මැද්දට මාපට ඇඟිලි දබර ඇඟිලි කෙළවරින් බෝම සීරුවට පොලිතින් පැකට්ටුවෙන් එළියට ඇදිලා ආපු ගංජා කොල ඇතිරෙද්දී මතක වගුරක එරිලා කුණු වෙවී පැහැවමින් විඳවන සන්තානයම එක් ඇසිල්ලකට සන්සුන් උනා..ඔතාපු සුරුට්ටු අගිස්ස දිව අගින් තෙමලා කෙළෝර අලවලා අහවර කෙරුව වහාම නිමේශයකට හිරි වැටුණු හිතට යළිත් වේදනාව කාන්දු වෙන්න පටන් ගත්තා..නොදැනීම සාක්කුවට ඇදිලා ගිය දකුණතේ කෙලෝරක එල්ලුනු ෆිල්ටරේ සාක්කුවෙන් එලියට එබිලා බැලුවා.

"අහුරු පිටින් පපුව අස්සට දුම් පුරෝගෙන මට ඔයාව නැති කරන්න එපා මහත්තයෝ...."

 තාමත් මගේ කන් අස්සෙන් දෝංකාර දෙන ඒ හඬ ඇහිලා ඇහිලා එක අන්තයකදී එකම විලාපයක් වෙන්න පටන් ගන්නවා..

මං එක හුස්මට විස්කි වීදුරුව හිස් කලා..

පාරා... පාරා.. පාරා........

කැම්පස් එක කෙළෝරේ කැන්ටිම පිටිපස්සේ බිත්ති කණ්ඩියට පිට දීලා සිගරට්ටුවක් ඇද ඇද ඉන්දැද්දි ලොකු ඇස් තියෙන, මූණ රතු කර ගත්තු මෙලෝ පිළිවෙලක් නැති කෑල්ලක්, හිස් වතුර බෝතලෙකුත් උස්සගෙන ටැප් එක ලඟට ආවා.අනෙක් අතේ තිබුණු ලොකු බොක්ස් බෝඩ් එක කොට තාප්පෙට හේත්තු කරලා  සාය කෙලොරකින් උස්සගෙන සීරුවට බෝතලේට වතුර පුරවන කෙල්ල දිහා මං ඇල්මැරුණු හිතින් බලාන උන්නා.

රතු දිග සායයි  කළු ටී ශර්ට් එකයි ලෙදර් සෙරප්පු කුට්ටමයි ....නියපොතු කොළ පාටට හුරු නිල් පාටින් පාට වෙලා තිබ්බා.කනෙ කාරඹු හතරයි.බෙල්ලේ යකඩ මාලයයි..අතේ නම් රස්තියාදු පටි කීයක් එල්ලිලා උන්නද කියලා ගනන් කර ගන්න බැරි  උනා.කළු දිග කොන්ඩේ තැනින් තැන තඹ රතු කෙස් තීරු  එළියට දිලිහුනා..

පව් එයා තාමත් සිගරට් බොනවා අතින් වියදම් කරගෙන ලෙඩ දා ගන්නවා"

තාප්පෙට හේත්තු කරලා තිබ්බ බොක්ස් බෝඩ් එකේ ලියලා තිබුණා.වතුර බෝතලය කිහිල්ලේ ගහගෙන බොක්ස් බෝඩ් එක අතට ගත්තු කෙල්ල එක පාරටම හෑරිලා බැලුවා..

අද අමධ්‍යප දිනයලු දන්නවද?"

මං හිනා වෙලා ෆිල්ටර් කොටය කොට බිත්තියෙන් එහා පැත්තට විසික් කළා.

දින සති ගත වෙද්දි වාසිටියෙ අමධ්‍යප සංගමේ සභාපති තුමී ෆයිනල් එයර් එකේ බටයා එක්ක කොක්ක ගැහුවා කියන එක වාසිටියේ අහන අහන කාගෙ කාගෙත් ඇස් ඉහේ ඉන්දෙන තරමේ ප්‍රවෘතියක් උනා.
පරා...පරා ඈ මගෙ ශරීර කුඩුවේ ඇට ලේ මස් නහර කේශ නාලිකා වලට පවා දැනෙන තරමටම ආදරේ කළා.කොටින්ම මිදෙන්න බැරි නොදැක ඉන්න බැරි තරමට මං ඈට අබ්බැහි වුනා.මේ ඇබ්බැහි වීමේ උච්චතම අවස්ථාවෙදි අවුරුදු ගාණක් එකට බටේ බෙදා ගෙන ගහපු සබන් කෑල්ලේ ඉඳන් හපුටු ඩෙනිම වෙනකම්ම හැමදේම බෙදා ගත්තු සකලවිද බැඳීම් අතෑරපු මං බෝඩිං කාමරයෙන් අභිනිශ්ක්‍රමණය කළා.එකම එක බැඳීමකට ඇලෙන්න ඇබ්බැහි වුනු කෑදර හිත අනෙක් සියලු බැඳීම් උදුරලා පසෙකට විසි කලා.

ලට්ට පට්ට ඔක්කෝම අලි මලු දෙහෙකට ඔබාගෙන උරහිසේ එල්ල ගත්තු රනුකගේ නොහොත් බටයාගේ දෙපා බොඩිං කාමරයෙන් පිටමං වෙලා හරියටම ඔරලෝසු පැයකුත්  විනාඩි 07කට පස්සේ පාරගේ ගෙදර දොරකඩ ඉස්සරහා නතර වෙලා තිබුණා.

විවර වුනු දොර පියනෙන් එබිකම් කරපු පාරගේ ඇස් දෙකේ, සබ්බ සකල මනාවම කඳ බැදගෙන දොරකඩ ඉස්සරහා උන්නු මාව දැකලා ප්‍රශ්නාර්ථයක ලකුනක් තරම් වත් තවරිලා තිබුනේ නෑ.මගේ උරහිසෙන් එල්ලුනු එක මල්ලක් හිනා වීගෙනම ඇගේ උරයේ එල්ල ගත්තු පාරා මගේ අතේ එල්ලීගෙනම කාමරේට ආවා.

"අද ඉඳන් මට පාලුත් නෑ තනිත් නෑ.."

හිටි හැටියේම කිසිම පෙර දැනුම් දීමකින් තොරව ගෙදරට කඩා පාත් උන මනුස්සයෙකුගේ මූණට දමලා අතාරින්න පුලුවන් ප්‍රශ්නාවලියක් වෙනුවට ඇගේ මුවින් පිට වුනේ ඔය වචන පේළිය විතරමයි.

ඇගේ පවුලේ බාලයා මද්දුමයා වගේම වැඩිමලා උනෙත් පාරම තමයි.ඈ උපන්නෙත් හැදුනේ වැඩුනෙත් මේ ධරණීතලයෙන් එපිට ලෝක සිතියමේ වෙනත් කෙරෝළක තිබුණු රටක.අම්මගෙත් තාත්තගෙත් නීත්‍යානුකූල වෙන්වීමෙන් පසුව ඈ නිවසින් පිටමන් වුනා.මවත් පියාත් උපන් රටත් අතෑරලා තමුන්ගේ නොවුනත් තමුන්ගේකම ඇට මිදුලු වලට පවා දැනිච්ච මේ පුංචි රටේ ඇගේ ආත්තම්මා ගාව ඇගේ ඔහේ පාවුන සරීර කුඩුව කූඩාරම් ගැහුවා.ඒත් ගෙවුණු දුරුත්තේ ඇයත් නේන ගමනකට පිටමං උනාට පස්සේ පාර ජීවත් උනෙ තට්ට තනියම.මං මෙහාට කඩාපාත් වෙනතුරුම ඒ තනි නිදහස් ජීවිතේට කවුරුවත් එබිකම් කරලා යන්නවත් ගොඩ වැදිලා නම් තිබුනේ නෑ..

අද ඉදන් ලෙක්චර්ස් ඉවර වුනු ගමන් අපිට ගෙදර එන්න පුළුවන්.. මගේ අමධ්‍යප සංගමේ රාජකාරි ඉවර වෙනකම් ඔයාට කැන්ටිම පිටිපස්සට වෙලා ෆිල්ටර කොට එක්කහු කරන්න ඕනි නෑ.."

 දෙන්නාටම බොන්න කියලා ගත්තු, බුජමක් විතර කෝප්පේ, කට කපලා දුන් දාන කෝපි පුරෝලා මගේ අතට දීල, මං උන්නු හාන්සි පුටු ගැට්ටට බර වෙලා මගේ කරට අතකුත් දමා ගන්න අස්සේ පාරා දොඩමළු වුනා.

"අර මොකෝක්‍රියාකාරී අමධ්‍යප සංගමේට අහවල් එකක් වෙලාදමොකෝ දින නියමයක් නැතුව විසුරුවා හැරියද?"

"ඒකට නම් මොකක්වත් වුනේ නැ..ඒත් ඔයා දැන් හිටපු සභාපතිනීගේ වෙන්ඩ හස්බන්ඩා වෙලා ඉන්නෙ.. මං ඒකෙන් ඉල්ලා අස්වුණා කොල්ලෝ"

මං ඇස් උඩ ඉන්දන් පාර දිහාම බලාන උන්නා.මුවින් නෑසුවට ඒ ඇයි කියන පැනය මගේ ඇස් වල කළු ඉංගිරියාව මැද්දෙන් තිබ්බ කණිනිකාවේ පවා ලියවිලා තියෙන්න ඇති.

උඹත් එක්ක ඉඳලම මගේ කොන්ඩේ පවා සිගරට් ගඳයි කොල්ලො. එහෙව් ගෑනිට මොන අමධ්‍යප සංගම්ද?රටටම බණ කිවුවත් අන්තිමේදී මම ගෙදර ආවම බටයගේ ගෑනිමයි.. ඒක වෙනස් වෙන්නේ නැ."

මාව කියවපු පාරා මට උත්තර බැන්දා.ඒත් ඒ ඇබින්දක් තරම් වත් අමනාපෙකින් නම් නෙවෙයි වගට හිනා වුනු මුව පමණක් නොව ඇගේ ලොකු බෝල ඇස් දෙකත් සාක්කි කිවුවා.එදායින් පස්සේ පාරගෙ වගේම බටයගෙ ජිවිතෙත් වෙනසක් උනා...බට ගැහිල්ල නිසා බටය වුණු බටයා නාමිකව පමණක් බටයා වෙලා තිබුණා.

තුවාය බුරුසුව සයනය පමණක් නොව ජීවිතේ ,ආදරේ අපි අතර බෙදිලා ගියා..සුසුම් පොද හද ගැස්ම පවා හුවමාරු වෙනවායි දැනෙන තරමටම මේ අහිකුණ්ඨික හිපිච්චිට මාව ඇලවිලා ගිහින් තිබුණා.මිනිහෙක්ට එහෙම වෙන්නේ කෝමද කියලා මටම තේරුම් ගන්න අපහසු උනත් මගේ මුළු ලෝකයම පාරාව කේන්ද්‍රීයකරණය  කරගෙන භ්‍රමණය වුනා.
අහඹුවකින් නෙත ගැටිලා මගේම වුණු ඈ අද අසිරියක් වෙලා මගේ ළඟ නැවතිලා හිටියා.

මුලදි අපේ එකට ජීවත් වීම ලෝකයාගෙන් සඟවගන්න මට වුවමනා වුනේ පාරා නිසාමයි..ඒත් පාරට එහෙම වුවමනා තිබුනෙ නැති තරම්.ඈට ලෝකයක් ඉදිරියේ පොතක අත්සන් නොතියාම මගේ ජීවිතේ පංගුකාරිය බව පිළිගැන්ම අභිමානයක් මිස අවමානයක් වුනේ නෑ.කච්චේරියකට හරි ගිහින් කසාදේ රෙජිස්ටර් කරලා දාමු කියලා මම පාරට කියපු හැම පාරම ඈ ඊට විරුද්ධ වුණා.

"අපිට මෙහෙම හොදයි රනුක"

දින සති මාස පිටින් ගෙවිල ගිහිල්ලා ඈ ගැබ්බර වුනු දිනේ මම බලෙන්ම වගෙ ඈ ඇදගෙන ගිහින් කසාද බඳින්න දැඟලුවත් ඈ එදාවත් ඊට මනාපය දුන්නේ නෑ..

"මේ නූපන් දරුවට එච්චර ලොකු අසාදාරනයක් කරන්න එපා පාර.. කවදහරි ඌ අපිට සාප කරයි"

මගේ ඇස් වලින් ගින්දර විසි වුණා..මම මහ හයියෙන් බෙරිහන් තලද්දීවත් පාරගේ ඇස් වල බියක් දුකක් පසුතැවිල්ලක් කොටින්ම කිසිම හැඟීමක් වත් ගෑවිලා නැති හිස් බැල්මක් සටහන් වෙලා තිබුනා.මං ඇගේ උරහිස් දෙකෙන් අල්ලලා ඈට රිදෙන තරමටම හොලවද්දී පාරා ඒ හිස් බැල්මම ඇස් දෙකේ අලෝගෙන මං දිහා ඔහේ බලාන උන්නා..

"සාප කරන්නවත්ආදරේ කරන්නවත් ඌට මේ ලෝකෙදී ඇස් අරින්න වාසනාව තියෙයි කියලා මට හිතෙන්නේ නෑ රනුක..ඒක උගෙත් කරුමේ..ඒකට ඔයාටවත් මටවත් කරන්න දෙයක් නෑ..ඌ මගේ බඩට ආවට ඔයාගේ කිසිම වැරැද්දක්වත් ඌ නිසා ඔයාගෙ කර පිටට කිසි වගකීමක්වත් පැටවෙන්නේ නෑ..කොටින්ම ඒක අහම්බයක්..ජෛව විද්‍යාත්මක අත්වැරැද්දක්..එච්චරයි.."

මගේ හිත හිරි වැටුණා.කිසිම හැගීමක් නොදැනෙන තරමට හිරි වැටුණා.මම පාරගේ මුවින් ඒ වගේ වචන පොළිමක් දොට්ට පනිවී කියලා හීනෙකින් වත් බලාපොරොත්තු උනේ නම් නෑ..

"ඔයා මේ දරුවව මරා ගන්නද හදන්නේ?"

"රනුක ප්ලීස් මගෙන් ප්‍රශ්න කරන්න එපා...මං කිවුවනේ ඔයාට කිසි වගකීමක් නෑ..චෝදනාවකුත් නෑ..ඉස්සර හිටියා වගේ ඉන්න රනුක.."
ඒත් කිසිවක්ම දුටුවේ නෑ, වුනේ නෑ, දැක්කේ නෑ, වගේ ඇහැ කන පියාගෙන තව දුරටත් පාරාව පපුවට තුරුළු කරගන් ඒ වහල යට එකම එක රැයක්වත් පහන් කරන්න හිතට එකඟ වුණු හෘද සාක්ෂිය ඉඩ අහුරලා තිබ්බා..

ඉදින් උරහිසේ එල්ලුනු මළු දෙකත් එක්ක මං ආයෙත් වතාවක් බෝඩිං කාමරේ දොරකඩ නතර වුණා.



පාරා මට ඉන්න කිවුවෙත් නෑ යන්න කිවුවෙත් නෑ..ඒත් වාසිටියේදී ඈ මුණ ගැසුණු හැම වේලෙකම මං ඒ ඇස් මඟ ඇරියා..ඒත් මටත් හොරෙන් අනිච්ඡානුගවම මගේ ඇස් ඇගේ කුස ගාව තාවර වුනා.
+++++++++++++++++++++++++++++++++++++++++++++

රනුක..රනුක..

සමින්දි කැන්ටිම පිටුපසට මාව හොයාගෙන එද්දි, මං අන්තිම උගුරත් ඇදපු ෆිල්ටර් කොටේ කොට තාප්පෙන් එපිටට ඉගිල්ලුණා.

 "පාරා හොස්පිටල් එකේලු..ඔයාට කියන්න කිවුවා..පුළුවන් කමක් තියේ නම් එකම එක පාරක් ඇවිත් යන්න එන්න කියලා."

සිද්ධ වුණු නොවුණු දේවල් මොනා වුණත්, දකින දකින හැම ඇසිල්ලකම ඒ නෙතු මඟ ඇරියත්, සමින්දිගේ පණිවුඩය ඇහුණ නෑහුණ ගානට කොට බිත්ති කණ්ඩිය තාවර වෙවී හැල්මේ දුවන වළකුළු දිහා බලන්න තරම් හයියක් නම් මගේ හිතේ ශේෂ වුණේ නෑ..

ඉදින් මගේ දෙපා තවත් වරක්‍, ගෙවන වාට්ටු කාමරයක දොර ඉදිරිපිට වෙවුලමින් නතර වුණා..

බට, කටු, නමක් නොදන්න යන්තර, සේලයින් බෝතල්, ගොඩකට මැදි වුණු ඈ, හිස් බැල්මකින් සීලිම දිහා බලාන උන්නා..මං හෙමී ඇගේ පසෙකින් ගිහින් සුළැඟිලි)  කොණක අතැඟිලි පටලෝ ගත්තා..ඒ ඇස් අගිස්සෙන් වැටුණු කඳුලු බිංදුවක් උදාසීනව රූරා ගිහින් පොරෝනාවේ කෙළෝරක හැංගුනා

පාරා මගේ දෑත් සිප ගත්තා...

"මාව ඉබින්න" ඇහෙන නෑහෙන හඬින් ඈ කෙඳිරුවා.."

"හ්ම්ම්..." 
ඇගේ මුවින් ගිලිහුන සුසුමේ බර මගේ පපුව අස්සට බොහෝම බරසාරෙට කිඳා බැස්සේ ආයෙ උඩට ඇදලා උගුල්ලලා දාන්න බැරි වෙන්නමයි.කොට්ටේ අස්සෙන් ඇදලා ගත්තු තුනට හතරට නමාපු කඩදාසියක් පාර මගේ අතේ ගුලි කෙරුවා...

"යන්න රනුක..ආයේ එන්න එපා"

මට ඇගේ වදන්වලට හා කියා ගන්නවත් බෑ කියා ගන්නවත්බැරිව මුව ගොලු වෙලා උගුර හිර වුණා.මොකක්  කරන්නද මොනවා  කියන්නද කියලා හිතා ගන්න බැරිව මං ඇගේ සයනය ඉදිරිපස ගල් ගැහිලා උන්නා.

"යන්න"
 ඈ සද්දෙට කෑ ගහලා කියන්න හෑදුවත් මුවින් පිටවුණේ කෙඳිරිල්ලක් විතරමයි...

සිත  ඇගේ සයන ඉදිරියේ ගල් ගැහෙද්දි යාන්ත්‍රික දෙපා මාව රෝහලෙන් එළියට අරන් ආවා.ඇඟිලිකරු අස්සට ගුලි ගැහිලා උන්නු ලියමන එළියට ඇදලා අරන් කියවන්න තරම් හයියක් මගේ හිතට තිබුණේ නෑ..

දවස් ගෙවිලා ගියා..කළුවරබෝඩිං කාමරේ අස්සේ සිගරට් දුමෙන් පිරිලා යද්දී ඇඳ වටේට ෆිල්ටර කොට කෑලි ගොඩ ගැහුණා. ඒ කාලේ පුරාවටම කාමරේ පුරාම තියන සිගරට් කොට ඉදහිට අතු ගාලා දමනවාත්, ඉවරවෙන ඉවරවෙන ගානට සිගරට් පැකට්ටුවත් ගිණි පෙට්ටියත් මේස උඩ තබනවාත්, හැරුණු කොට නැවතුමක් නැතුව ඔහෙ වාචාල කමට කියෝන කසුනාවත් මාත් එක්ක වචනයක් කතා කලේ නෑ..

කෑම පංගුව වටේටම මැස්සෝ ඇහිරිලා කුඹි පිරිලා ඔහේ මේස උඩට වෙලා සීලිම දිහා  බලන් උන්නා..ඒත් ඒක අතට ගන්න තරම් පිරියක් හිතේ නොතිබිච්ච හන්දම මමත් ඔහේ ඇද උඩටම වෙලා සීලිම දිහාවේ බලාන උන්නා...මේසේ උඩ උන්නු බත් පිඟානත් මමත් සීලිම උඩ එකින් එකට දිග හැරිච්ච අපේ අතීත මතක සැමරුම් දිහාවේ බලාන උන්නා.. හවසට කසුනා ඇවිත් විසි කරන බත් පිඟාන වෙනුවට පහුවදා වල් වෙද්දී අලුත් සගයෙක් මට එක්කාසු වුනා....

++++++++++++++++++++++++++++++++++++++++++++++++

පාරා වෙනුවෙන් ඇදපු සුදු කොඩි වැල් අනෝරා වැස්සට කඩා වැටිලා..මැයි ගහක එල්ලිලා උන්නු බැනරයේ අකුරු බොඳ වෙලා පාට පිච්චිලා මැකිලා ගිහිල්ලා.කාටවත් ඒක ගලෝලා අයින් කරන්නවත් හිතක් නෑ වගේ..ඒක ඔහේ එල්ලිලා ඉන්නවා.පාරාට මොකද උනේ කියලා මං ඇරෙන්න හැමෝම දැනන් ඉන්න ඇති..ජීවත් වුණු පාරා නිසා නොලද වටිනාකමක් මියැදුනු පාර මගේ හිඟන පෙනුමට ආරෝපනය කරලා තිබ්බා..මාව මුල්ම වතාවට නෙත ගැටුණු ගානට බෝ දෙනෙකුගේ ඇස් මගේ ළඟ තාවර උනා.ඉද හිට කොල්ලෙක් පිටට තට්ටුවක් දැම්මා..බටයක් ගහන්න ප්ලේන්ටීයක් බොන්න අඬ ගැහුවා.ඒත් හිතට පුදුම තරමින් තනි වෙන්න වුවමනා වුනා.

මං පුරුදු කොට බිත්ති කන්ඩියට වාරු දීල බිම ඉඳ ගත්තා.පාරාගේ ලියමන කලිසම් සාක්කුවට මහා බරක් ඉතිරි කරලා..ඒ බරින් දෙපා පන නැති වෙනවා වගේ මට දැනුනා.. එහි කුමක් ලියවිලා තිබුනත් එය කියවා බලන්නට තරම් වාරු නැති හිත ඇඟිලි කොන් හිරිවට්ටලා තිබූනා…සාක්කුවෙන් එලීයට ඇදිලා ආපු ලියමන මගේ දකුණත ඇගිලි අතර පොඩි වෙලා ගුලි ගැහෙද්දී වාසිටියට ඉහළින් හැන්දෑ ආකසේ හැල්මේ පාවෙලා ඇදෙන  රෝස වලාකුළුවලට යටින් තවත් සිගරට්ටු තුන හතරකම දුම් වළාවන් පාවෙලා ගියා...............


++++++++++++++++++++++++++++++++++++++++++++++++

බැල්කනි‍යේ එල්ලුනූ විදුලි බුබුළගේ දිස්නෙට ගිනිකණ වැටිලා උගේ වටේ හැපෙමින් දඟලපු මෙරු එකා දෙන්නා තටු කඩාගෙන බිම වැටිලා දඟලමින් උන්නා.. මං පැකට්ටුවේ ඉතිරිවෙලා තිබ්බ අන්තිම සිගරුට්ටුවත් පත්තු කරගෙන පාවෙලා යන දුම් වලලූ දිහා බලාන උන්නා..

අහුරු පිටින් පපුව අස්සට දුම් පුරෝගෙන මට ඔයාව නැති කරන්න එපා මහත්තයෝ...."

පාරාගේ හඬ යළි යළිත් මගේ සවන් පත් වල හැපෙමින් දෝංකාර දුන්නා..

ඉකිගසන ඇගේ හඬින් මගේ මුළු සන්තානමයම විදවද්දී ඒ විදවීමම මගේ ජීවිතයට ශේෂ උනූ එකම වින්දනය බවට පත් වෙලා ..ඉදින් මම ඊයේ වගේම අදත් ,හෙටත් ,අනිද්දාටත් ,ඇතැම්විට සදාකලිකවමත් මේ මතක වගුරේ එරී මිරිකී ඇඳුම් දෙන ඒ වේදනාවම විදවමින් වින්දනය කරාවී..එයම මගේ ජීවිතය වෙවී…මගෙ සතුටත් , කඳුලත් , ස්නේහයත් , වි‍යෝවත් , විදීමත් ,විදවීමත් ,සිහිනයත් ,සැබෑවත් නුඹ නමින්ම සින්නවෙවි..එය මගෙ අතීතය වේවී..වර්තමානය වේවී අනාගතයද වේවි..සර්වකාලයම සදාකාලිකවම නුඹ නමින්ම සින්න වේවි……