Sunday, December 8, 2013

පාරා...

පපුව පුරවලා එළියට එන හුස්ම අගිස්සේ දැවටුන සුදු දුම් වළල්ල ඇස් ඉද්දරින් පාවෙලා නොපෙනී ගියා.බැල්කනියේ කොණක එල්ලිලා උන්නු විදුලි බුබුළගේ මාලානික එළිය යට ඉදන් අඳුරට ගුලි ගැහිලා හැංගිලා යන දුම් වළාවල් දිහා මං ඔහේ බලාන උන්නා. මැදඟිල්ලත් දබර ඇඟිල්ලත් අතරින් දැනුණු ගිණියමින් මගේ දැහැන ඉහිරුණා.

ඇඟිලි කෙළවරටම දැල්විලා ආපු සිගරට්ටු ෆිල්ටරේ අගිස්ස පුටු ඇඳි කොණක ඇතිල්ලිලා අළු බඳුන දිහාවට පා වුණා.ඌත් අළු බඳුන බදු අරං උන්නු උගේ අනික් සහෝදර සිගරට් කොට හැත්ත බුරුත්ත අස්සේ කොණක් අල්ල ගන්න වලි කාලා බැරි උණු තැන බිම උන්නු උන්ගේ ගොඩටම එක්කාසු උනා.

හ්ම්....

පාවෙලා ගිය සුසුමත්, දකුණතින් ගිලිහිලා විස්කි වීදුරු පතුලේ වැදුණු අයිස් කැටයත්, මුළු ගේම ගිල දමාපු සීතල නිහැඬියාව බිඳලා දැම්මා..
විස්කි උගුරක් කටට හලා ගත්තු මම බෝම සීරුවට මලක් ඔතන්න පටන් ගත්තා.මට හිතේ එකලාසය නැතුව සීරුවට කරන්න හැකියාවක් ශේෂ වෙලා තිබුණු එකම කටයුත්ත එච්චරයි.පොඩි කාර්ඩ් බෝඩ් තීරුවකට හිර වෙච්චි ෆිලටර් කෑල්ල වට කර ගත්තු කොළේ මැද්දට මාපට ඇඟිලි දබර ඇඟිලි කෙළවරින් බෝම සීරුවට පොලිතින් පැකට්ටුවෙන් එළියට ඇදිලා ආපු ගංජා කොල ඇතිරෙද්දී මතක වගුරක එරිලා කුණු වෙවී පැහැවමින් විඳවන සන්තානයම එක් ඇසිල්ලකට සන්සුන් උනා..ඔතාපු සුරුට්ටු අගිස්ස දිව අගින් තෙමලා කෙළෝර අලවලා අහවර කෙරුව වහාම නිමේශයකට හිරි වැටුණු හිතට යළිත් වේදනාව කාන්දු වෙන්න පටන් ගත්තා..නොදැනීම සාක්කුවට ඇදිලා ගිය දකුණතේ කෙලෝරක එල්ලුනු ෆිල්ටරේ සාක්කුවෙන් එලියට එබිලා බැලුවා.

"අහුරු පිටින් පපුව අස්සට දුම් පුරෝගෙන මට ඔයාව නැති කරන්න එපා මහත්තයෝ...."

 තාමත් මගේ කන් අස්සෙන් දෝංකාර දෙන ඒ හඬ ඇහිලා ඇහිලා එක අන්තයකදී එකම විලාපයක් වෙන්න පටන් ගන්නවා..

මං එක හුස්මට විස්කි වීදුරුව හිස් කලා..

පාරා... පාරා.. පාරා........

කැම්පස් එක කෙළෝරේ කැන්ටිම පිටිපස්සේ බිත්ති කණ්ඩියට පිට දීලා සිගරට්ටුවක් ඇද ඇද ඉන්දැද්දි ලොකු ඇස් තියෙන, මූණ රතු කර ගත්තු මෙලෝ පිළිවෙලක් නැති කෑල්ලක්, හිස් වතුර බෝතලෙකුත් උස්සගෙන ටැප් එක ලඟට ආවා.අනෙක් අතේ තිබුණු ලොකු බොක්ස් බෝඩ් එක කොට තාප්පෙට හේත්තු කරලා  සාය කෙලොරකින් උස්සගෙන සීරුවට බෝතලේට වතුර පුරවන කෙල්ල දිහා මං ඇල්මැරුණු හිතින් බලාන උන්නා.

රතු දිග සායයි  කළු ටී ශර්ට් එකයි ලෙදර් සෙරප්පු කුට්ටමයි ....නියපොතු කොළ පාටට හුරු නිල් පාටින් පාට වෙලා තිබ්බා.කනෙ කාරඹු හතරයි.බෙල්ලේ යකඩ මාලයයි..අතේ නම් රස්තියාදු පටි කීයක් එල්ලිලා උන්නද කියලා ගනන් කර ගන්න බැරි  උනා.කළු දිග කොන්ඩේ තැනින් තැන තඹ රතු කෙස් තීරු  එළියට දිලිහුනා..

පව් එයා තාමත් සිගරට් බොනවා අතින් වියදම් කරගෙන ලෙඩ දා ගන්නවා"

තාප්පෙට හේත්තු කරලා තිබ්බ බොක්ස් බෝඩ් එකේ ලියලා තිබුණා.වතුර බෝතලය කිහිල්ලේ ගහගෙන බොක්ස් බෝඩ් එක අතට ගත්තු කෙල්ල එක පාරටම හෑරිලා බැලුවා..

අද අමධ්‍යප දිනයලු දන්නවද?"

මං හිනා වෙලා ෆිල්ටර් කොටය කොට බිත්තියෙන් එහා පැත්තට විසික් කළා.

දින සති ගත වෙද්දි වාසිටියෙ අමධ්‍යප සංගමේ සභාපති තුමී ෆයිනල් එයර් එකේ බටයා එක්ක කොක්ක ගැහුවා කියන එක වාසිටියේ අහන අහන කාගෙ කාගෙත් ඇස් ඉහේ ඉන්දෙන තරමේ ප්‍රවෘතියක් උනා.
පරා...පරා ඈ මගෙ ශරීර කුඩුවේ ඇට ලේ මස් නහර කේශ නාලිකා වලට පවා දැනෙන තරමටම ආදරේ කළා.කොටින්ම මිදෙන්න බැරි නොදැක ඉන්න බැරි තරමට මං ඈට අබ්බැහි වුනා.මේ ඇබ්බැහි වීමේ උච්චතම අවස්ථාවෙදි අවුරුදු ගාණක් එකට බටේ බෙදා ගෙන ගහපු සබන් කෑල්ලේ ඉඳන් හපුටු ඩෙනිම වෙනකම්ම හැමදේම බෙදා ගත්තු සකලවිද බැඳීම් අතෑරපු මං බෝඩිං කාමරයෙන් අභිනිශ්ක්‍රමණය කළා.එකම එක බැඳීමකට ඇලෙන්න ඇබ්බැහි වුනු කෑදර හිත අනෙක් සියලු බැඳීම් උදුරලා පසෙකට විසි කලා.

ලට්ට පට්ට ඔක්කෝම අලි මලු දෙහෙකට ඔබාගෙන උරහිසේ එල්ල ගත්තු රනුකගේ නොහොත් බටයාගේ දෙපා බොඩිං කාමරයෙන් පිටමං වෙලා හරියටම ඔරලෝසු පැයකුත්  විනාඩි 07කට පස්සේ පාරගේ ගෙදර දොරකඩ ඉස්සරහා නතර වෙලා තිබුණා.

විවර වුනු දොර පියනෙන් එබිකම් කරපු පාරගේ ඇස් දෙකේ, සබ්බ සකල මනාවම කඳ බැදගෙන දොරකඩ ඉස්සරහා උන්නු මාව දැකලා ප්‍රශ්නාර්ථයක ලකුනක් තරම් වත් තවරිලා තිබුනේ නෑ.මගේ උරහිසෙන් එල්ලුනු එක මල්ලක් හිනා වීගෙනම ඇගේ උරයේ එල්ල ගත්තු පාරා මගේ අතේ එල්ලීගෙනම කාමරේට ආවා.

"අද ඉඳන් මට පාලුත් නෑ තනිත් නෑ.."

හිටි හැටියේම කිසිම පෙර දැනුම් දීමකින් තොරව ගෙදරට කඩා පාත් උන මනුස්සයෙකුගේ මූණට දමලා අතාරින්න පුලුවන් ප්‍රශ්නාවලියක් වෙනුවට ඇගේ මුවින් පිට වුනේ ඔය වචන පේළිය විතරමයි.

ඇගේ පවුලේ බාලයා මද්දුමයා වගේම වැඩිමලා උනෙත් පාරම තමයි.ඈ උපන්නෙත් හැදුනේ වැඩුනෙත් මේ ධරණීතලයෙන් එපිට ලෝක සිතියමේ වෙනත් කෙරෝළක තිබුණු රටක.අම්මගෙත් තාත්තගෙත් නීත්‍යානුකූල වෙන්වීමෙන් පසුව ඈ නිවසින් පිටමන් වුනා.මවත් පියාත් උපන් රටත් අතෑරලා තමුන්ගේ නොවුනත් තමුන්ගේකම ඇට මිදුලු වලට පවා දැනිච්ච මේ පුංචි රටේ ඇගේ ආත්තම්මා ගාව ඇගේ ඔහේ පාවුන සරීර කුඩුව කූඩාරම් ගැහුවා.ඒත් ගෙවුණු දුරුත්තේ ඇයත් නේන ගමනකට පිටමං උනාට පස්සේ පාර ජීවත් උනෙ තට්ට තනියම.මං මෙහාට කඩාපාත් වෙනතුරුම ඒ තනි නිදහස් ජීවිතේට කවුරුවත් එබිකම් කරලා යන්නවත් ගොඩ වැදිලා නම් තිබුනේ නෑ..

අද ඉදන් ලෙක්චර්ස් ඉවර වුනු ගමන් අපිට ගෙදර එන්න පුළුවන්.. මගේ අමධ්‍යප සංගමේ රාජකාරි ඉවර වෙනකම් ඔයාට කැන්ටිම පිටිපස්සට වෙලා ෆිල්ටර කොට එක්කහු කරන්න ඕනි නෑ.."

 දෙන්නාටම බොන්න කියලා ගත්තු, බුජමක් විතර කෝප්පේ, කට කපලා දුන් දාන කෝපි පුරෝලා මගේ අතට දීල, මං උන්නු හාන්සි පුටු ගැට්ටට බර වෙලා මගේ කරට අතකුත් දමා ගන්න අස්සේ පාරා දොඩමළු වුනා.

"අර මොකෝක්‍රියාකාරී අමධ්‍යප සංගමේට අහවල් එකක් වෙලාදමොකෝ දින නියමයක් නැතුව විසුරුවා හැරියද?"

"ඒකට නම් මොකක්වත් වුනේ නැ..ඒත් ඔයා දැන් හිටපු සභාපතිනීගේ වෙන්ඩ හස්බන්ඩා වෙලා ඉන්නෙ.. මං ඒකෙන් ඉල්ලා අස්වුණා කොල්ලෝ"

මං ඇස් උඩ ඉන්දන් පාර දිහාම බලාන උන්නා.මුවින් නෑසුවට ඒ ඇයි කියන පැනය මගේ ඇස් වල කළු ඉංගිරියාව මැද්දෙන් තිබ්බ කණිනිකාවේ පවා ලියවිලා තියෙන්න ඇති.

උඹත් එක්ක ඉඳලම මගේ කොන්ඩේ පවා සිගරට් ගඳයි කොල්ලො. එහෙව් ගෑනිට මොන අමධ්‍යප සංගම්ද?රටටම බණ කිවුවත් අන්තිමේදී මම ගෙදර ආවම බටයගේ ගෑනිමයි.. ඒක වෙනස් වෙන්නේ නැ."

මාව කියවපු පාරා මට උත්තර බැන්දා.ඒත් ඒ ඇබින්දක් තරම් වත් අමනාපෙකින් නම් නෙවෙයි වගට හිනා වුනු මුව පමණක් නොව ඇගේ ලොකු බෝල ඇස් දෙකත් සාක්කි කිවුවා.එදායින් පස්සේ පාරගෙ වගේම බටයගෙ ජිවිතෙත් වෙනසක් උනා...බට ගැහිල්ල නිසා බටය වුණු බටයා නාමිකව පමණක් බටයා වෙලා තිබුණා.

තුවාය බුරුසුව සයනය පමණක් නොව ජීවිතේ ,ආදරේ අපි අතර බෙදිලා ගියා..සුසුම් පොද හද ගැස්ම පවා හුවමාරු වෙනවායි දැනෙන තරමටම මේ අහිකුණ්ඨික හිපිච්චිට මාව ඇලවිලා ගිහින් තිබුණා.මිනිහෙක්ට එහෙම වෙන්නේ කෝමද කියලා මටම තේරුම් ගන්න අපහසු උනත් මගේ මුළු ලෝකයම පාරාව කේන්ද්‍රීයකරණය  කරගෙන භ්‍රමණය වුනා.
අහඹුවකින් නෙත ගැටිලා මගේම වුණු ඈ අද අසිරියක් වෙලා මගේ ළඟ නැවතිලා හිටියා.

මුලදි අපේ එකට ජීවත් වීම ලෝකයාගෙන් සඟවගන්න මට වුවමනා වුනේ පාරා නිසාමයි..ඒත් පාරට එහෙම වුවමනා තිබුනෙ නැති තරම්.ඈට ලෝකයක් ඉදිරියේ පොතක අත්සන් නොතියාම මගේ ජීවිතේ පංගුකාරිය බව පිළිගැන්ම අභිමානයක් මිස අවමානයක් වුනේ නෑ.කච්චේරියකට හරි ගිහින් කසාදේ රෙජිස්ටර් කරලා දාමු කියලා මම පාරට කියපු හැම පාරම ඈ ඊට විරුද්ධ වුණා.

"අපිට මෙහෙම හොදයි රනුක"

දින සති මාස පිටින් ගෙවිල ගිහිල්ලා ඈ ගැබ්බර වුනු දිනේ මම බලෙන්ම වගෙ ඈ ඇදගෙන ගිහින් කසාද බඳින්න දැඟලුවත් ඈ එදාවත් ඊට මනාපය දුන්නේ නෑ..

"මේ නූපන් දරුවට එච්චර ලොකු අසාදාරනයක් කරන්න එපා පාර.. කවදහරි ඌ අපිට සාප කරයි"

මගේ ඇස් වලින් ගින්දර විසි වුණා..මම මහ හයියෙන් බෙරිහන් තලද්දීවත් පාරගේ ඇස් වල බියක් දුකක් පසුතැවිල්ලක් කොටින්ම කිසිම හැඟීමක් වත් ගෑවිලා නැති හිස් බැල්මක් සටහන් වෙලා තිබුනා.මං ඇගේ උරහිස් දෙකෙන් අල්ලලා ඈට රිදෙන තරමටම හොලවද්දී පාරා ඒ හිස් බැල්මම ඇස් දෙකේ අලෝගෙන මං දිහා ඔහේ බලාන උන්නා..

"සාප කරන්නවත්ආදරේ කරන්නවත් ඌට මේ ලෝකෙදී ඇස් අරින්න වාසනාව තියෙයි කියලා මට හිතෙන්නේ නෑ රනුක..ඒක උගෙත් කරුමේ..ඒකට ඔයාටවත් මටවත් කරන්න දෙයක් නෑ..ඌ මගේ බඩට ආවට ඔයාගේ කිසිම වැරැද්දක්වත් ඌ නිසා ඔයාගෙ කර පිටට කිසි වගකීමක්වත් පැටවෙන්නේ නෑ..කොටින්ම ඒක අහම්බයක්..ජෛව විද්‍යාත්මක අත්වැරැද්දක්..එච්චරයි.."

මගේ හිත හිරි වැටුණා.කිසිම හැගීමක් නොදැනෙන තරමට හිරි වැටුණා.මම පාරගේ මුවින් ඒ වගේ වචන පොළිමක් දොට්ට පනිවී කියලා හීනෙකින් වත් බලාපොරොත්තු උනේ නම් නෑ..

"ඔයා මේ දරුවව මරා ගන්නද හදන්නේ?"

"රනුක ප්ලීස් මගෙන් ප්‍රශ්න කරන්න එපා...මං කිවුවනේ ඔයාට කිසි වගකීමක් නෑ..චෝදනාවකුත් නෑ..ඉස්සර හිටියා වගේ ඉන්න රනුක.."
ඒත් කිසිවක්ම දුටුවේ නෑ, වුනේ නෑ, දැක්කේ නෑ, වගේ ඇහැ කන පියාගෙන තව දුරටත් පාරාව පපුවට තුරුළු කරගන් ඒ වහල යට එකම එක රැයක්වත් පහන් කරන්න හිතට එකඟ වුණු හෘද සාක්ෂිය ඉඩ අහුරලා තිබ්බා..

ඉදින් උරහිසේ එල්ලුනු මළු දෙකත් එක්ක මං ආයෙත් වතාවක් බෝඩිං කාමරේ දොරකඩ නතර වුණා.



පාරා මට ඉන්න කිවුවෙත් නෑ යන්න කිවුවෙත් නෑ..ඒත් වාසිටියේදී ඈ මුණ ගැසුණු හැම වේලෙකම මං ඒ ඇස් මඟ ඇරියා..ඒත් මටත් හොරෙන් අනිච්ඡානුගවම මගේ ඇස් ඇගේ කුස ගාව තාවර වුනා.
+++++++++++++++++++++++++++++++++++++++++++++

රනුක..රනුක..

සමින්දි කැන්ටිම පිටුපසට මාව හොයාගෙන එද්දි, මං අන්තිම උගුරත් ඇදපු ෆිල්ටර් කොටේ කොට තාප්පෙන් එපිටට ඉගිල්ලුණා.

 "පාරා හොස්පිටල් එකේලු..ඔයාට කියන්න කිවුවා..පුළුවන් කමක් තියේ නම් එකම එක පාරක් ඇවිත් යන්න එන්න කියලා."

සිද්ධ වුණු නොවුණු දේවල් මොනා වුණත්, දකින දකින හැම ඇසිල්ලකම ඒ නෙතු මඟ ඇරියත්, සමින්දිගේ පණිවුඩය ඇහුණ නෑහුණ ගානට කොට බිත්ති කණ්ඩිය තාවර වෙවී හැල්මේ දුවන වළකුළු දිහා බලන්න තරම් හයියක් නම් මගේ හිතේ ශේෂ වුණේ නෑ..

ඉදින් මගේ දෙපා තවත් වරක්‍, ගෙවන වාට්ටු කාමරයක දොර ඉදිරිපිට වෙවුලමින් නතර වුණා..

බට, කටු, නමක් නොදන්න යන්තර, සේලයින් බෝතල්, ගොඩකට මැදි වුණු ඈ, හිස් බැල්මකින් සීලිම දිහා බලාන උන්නා..මං හෙමී ඇගේ පසෙකින් ගිහින් සුළැඟිලි)  කොණක අතැඟිලි පටලෝ ගත්තා..ඒ ඇස් අගිස්සෙන් වැටුණු කඳුලු බිංදුවක් උදාසීනව රූරා ගිහින් පොරෝනාවේ කෙළෝරක හැංගුනා

පාරා මගේ දෑත් සිප ගත්තා...

"මාව ඉබින්න" ඇහෙන නෑහෙන හඬින් ඈ කෙඳිරුවා.."

"හ්ම්ම්..." 
ඇගේ මුවින් ගිලිහුන සුසුමේ බර මගේ පපුව අස්සට බොහෝම බරසාරෙට කිඳා බැස්සේ ආයෙ උඩට ඇදලා උගුල්ලලා දාන්න බැරි වෙන්නමයි.කොට්ටේ අස්සෙන් ඇදලා ගත්තු තුනට හතරට නමාපු කඩදාසියක් පාර මගේ අතේ ගුලි කෙරුවා...

"යන්න රනුක..ආයේ එන්න එපා"

මට ඇගේ වදන්වලට හා කියා ගන්නවත් බෑ කියා ගන්නවත්බැරිව මුව ගොලු වෙලා උගුර හිර වුණා.මොකක්  කරන්නද මොනවා  කියන්නද කියලා හිතා ගන්න බැරිව මං ඇගේ සයනය ඉදිරිපස ගල් ගැහිලා උන්නා.

"යන්න"
 ඈ සද්දෙට කෑ ගහලා කියන්න හෑදුවත් මුවින් පිටවුණේ කෙඳිරිල්ලක් විතරමයි...

සිත  ඇගේ සයන ඉදිරියේ ගල් ගැහෙද්දි යාන්ත්‍රික දෙපා මාව රෝහලෙන් එළියට අරන් ආවා.ඇඟිලිකරු අස්සට ගුලි ගැහිලා උන්නු ලියමන එළියට ඇදලා අරන් කියවන්න තරම් හයියක් මගේ හිතට තිබුණේ නෑ..

දවස් ගෙවිලා ගියා..කළුවරබෝඩිං කාමරේ අස්සේ සිගරට් දුමෙන් පිරිලා යද්දී ඇඳ වටේට ෆිල්ටර කොට කෑලි ගොඩ ගැහුණා. ඒ කාලේ පුරාවටම කාමරේ පුරාම තියන සිගරට් කොට ඉදහිට අතු ගාලා දමනවාත්, ඉවරවෙන ඉවරවෙන ගානට සිගරට් පැකට්ටුවත් ගිණි පෙට්ටියත් මේස උඩ තබනවාත්, හැරුණු කොට නැවතුමක් නැතුව ඔහෙ වාචාල කමට කියෝන කසුනාවත් මාත් එක්ක වචනයක් කතා කලේ නෑ..

කෑම පංගුව වටේටම මැස්සෝ ඇහිරිලා කුඹි පිරිලා ඔහේ මේස උඩට වෙලා සීලිම දිහා  බලන් උන්නා..ඒත් ඒක අතට ගන්න තරම් පිරියක් හිතේ නොතිබිච්ච හන්දම මමත් ඔහේ ඇද උඩටම වෙලා සීලිම දිහාවේ බලාන උන්නා...මේසේ උඩ උන්නු බත් පිඟානත් මමත් සීලිම උඩ එකින් එකට දිග හැරිච්ච අපේ අතීත මතක සැමරුම් දිහාවේ බලාන උන්නා.. හවසට කසුනා ඇවිත් විසි කරන බත් පිඟාන වෙනුවට පහුවදා වල් වෙද්දී අලුත් සගයෙක් මට එක්කාසු වුනා....

++++++++++++++++++++++++++++++++++++++++++++++++

පාරා වෙනුවෙන් ඇදපු සුදු කොඩි වැල් අනෝරා වැස්සට කඩා වැටිලා..මැයි ගහක එල්ලිලා උන්නු බැනරයේ අකුරු බොඳ වෙලා පාට පිච්චිලා මැකිලා ගිහිල්ලා.කාටවත් ඒක ගලෝලා අයින් කරන්නවත් හිතක් නෑ වගේ..ඒක ඔහේ එල්ලිලා ඉන්නවා.පාරාට මොකද උනේ කියලා මං ඇරෙන්න හැමෝම දැනන් ඉන්න ඇති..ජීවත් වුණු පාරා නිසා නොලද වටිනාකමක් මියැදුනු පාර මගේ හිඟන පෙනුමට ආරෝපනය කරලා තිබ්බා..මාව මුල්ම වතාවට නෙත ගැටුණු ගානට බෝ දෙනෙකුගේ ඇස් මගේ ළඟ තාවර උනා.ඉද හිට කොල්ලෙක් පිටට තට්ටුවක් දැම්මා..බටයක් ගහන්න ප්ලේන්ටීයක් බොන්න අඬ ගැහුවා.ඒත් හිතට පුදුම තරමින් තනි වෙන්න වුවමනා වුනා.

මං පුරුදු කොට බිත්ති කන්ඩියට වාරු දීල බිම ඉඳ ගත්තා.පාරාගේ ලියමන කලිසම් සාක්කුවට මහා බරක් ඉතිරි කරලා..ඒ බරින් දෙපා පන නැති වෙනවා වගේ මට දැනුනා.. එහි කුමක් ලියවිලා තිබුනත් එය කියවා බලන්නට තරම් වාරු නැති හිත ඇඟිලි කොන් හිරිවට්ටලා තිබූනා…සාක්කුවෙන් එලීයට ඇදිලා ආපු ලියමන මගේ දකුණත ඇගිලි අතර පොඩි වෙලා ගුලි ගැහෙද්දී වාසිටියට ඉහළින් හැන්දෑ ආකසේ හැල්මේ පාවෙලා ඇදෙන  රෝස වලාකුළුවලට යටින් තවත් සිගරට්ටු තුන හතරකම දුම් වළාවන් පාවෙලා ගියා...............


++++++++++++++++++++++++++++++++++++++++++++++++

බැල්කනි‍යේ එල්ලුනූ විදුලි බුබුළගේ දිස්නෙට ගිනිකණ වැටිලා උගේ වටේ හැපෙමින් දඟලපු මෙරු එකා දෙන්නා තටු කඩාගෙන බිම වැටිලා දඟලමින් උන්නා.. මං පැකට්ටුවේ ඉතිරිවෙලා තිබ්බ අන්තිම සිගරුට්ටුවත් පත්තු කරගෙන පාවෙලා යන දුම් වලලූ දිහා බලාන උන්නා..

අහුරු පිටින් පපුව අස්සට දුම් පුරෝගෙන මට ඔයාව නැති කරන්න එපා මහත්තයෝ...."

පාරාගේ හඬ යළි යළිත් මගේ සවන් පත් වල හැපෙමින් දෝංකාර දුන්නා..

ඉකිගසන ඇගේ හඬින් මගේ මුළු සන්තානමයම විදවද්දී ඒ විදවීමම මගේ ජීවිතයට ශේෂ උනූ එකම වින්දනය බවට පත් වෙලා ..ඉදින් මම ඊයේ වගේම අදත් ,හෙටත් ,අනිද්දාටත් ,ඇතැම්විට සදාකලිකවමත් මේ මතක වගුරේ එරී මිරිකී ඇඳුම් දෙන ඒ වේදනාවම විදවමින් වින්දනය කරාවී..එයම මගේ ජීවිතය වෙවී…මගෙ සතුටත් , කඳුලත් , ස්නේහයත් , වි‍යෝවත් , විදීමත් ,විදවීමත් ,සිහිනයත් ,සැබෑවත් නුඹ නමින්ම සින්නවෙවි..එය මගෙ අතීතය වේවී..වර්තමානය වේවී අනාගතයද වේවි..සර්වකාලයම සදාකාලිකවම නුඹ නමින්ම සින්න වේවි……

Saturday, November 9, 2013

සරදියෙල් මම මේනකා


ඇඳේ දිගා වෙලා දැකුළු මල් රටා අස්සේ ඇස් පටලෝගෙන නින්ද නොනින්ද අතර පාවේවී උන්නු මගේ දැහැන දෙදරමින්  හඬ තලන ජංගමයාගේ හඬින් ඉහිරිලා ගියා.පුංචි නොරිස්සුමක් හිත් පතුලට කාන්දු වෙද්දී මං ඇඳ පුරාම අතගාලා කොට්ටෙකට යට වෙලා උන්නු ජංගමයව ඇඳලා අරන් උගේ මූණ:තහඩුව දිහා බැලුවා..
හ්ම්.. ඒ ඔයාගෙන් කෙටි පණිවිඩයක්....

"තුංග උතුවන් කන්ද පාමුල
               කෝපි මල් අහුරක් තියා
මම්මලේ මට ඇහෙනවා බන්
               ඉකිබිඳින හඬ මේනකා "
වෙන මොකොවත්ම සටහන් නොකර මෙන්න මේ කවිය විතරක්ම ඔයා මට එවල තිබුණා..
"මේ මොකද්ද? "

"  ආ පිට ගත්තු ඇමතුමට ඔයාගේ පිළිතුරු ස්වරය එකා කෙළවරෙන් ඇහෙන්නත් කලියෙන්ම මං මගේ කුහුල පිරුණු  හිත වචන අහුරක අමුණලා එලියට තල්ලු කෙරුවා..

"මං තාම බස් එකේ නංගෝ ගෙදර එනකම් ඇබින්ඳක් ඉවසලා ඉන්නකෝ"

 නොරිස්සුම් ස්වරයක් ජීවිතේට තැවරුණු නැති ඔයාගේ කුළුණුබර හඬින් ඔයා මට උත්තර බැන්දා...

"ඒත් මට කුතුහලයයි"

"හරි ළමයෝ..කෝ පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ ඉතින්..මං ගෙදර ඇවිත් ස්කයිප් එන්නම්කෝ..හරිද? "
"අනේ.."
මම බොරුවට තොඳොල් උනා..
"ඉන්න තව ටික දුරයි.."
එහෙම කියපු ඔයා ජංගමයව විසන්ඳි කලා.

දන්නවද ඔයා ගෙදර එනකන්ම මම තුන් හතර ගමනකටත් වඩා ජංගමයාගේ මූණතහඩුව උඩ සටහන් වෙලා තිබිච්ච ඒ පද හතර කියෙව්වා.මේකයි කියල කියාගන්න නොතේරෙන්න මොකද්දෝ හේතුවක් නිසා ඒ පද හතර මගේ හිත අලවගත්තා..

" කෝ එන්න කෙල්ලේ ස්කයිප්"
ඒ කෙටි පණිවිඩයත් ඔයාගෙන්ම තමයි..
මං හනි හනිකට ලැප් ටොප් එක දිගහැර ගත්තේ අද ඔයාට කියවන්නමහ ගොඩාක් දේවල් තියෙනවා කියල ඉවෙන් වගේ දැනුණු හන්දා..

"තුංග උතුවන් කන්ද පාමුල
               කෝපි මල් අහුරක් තියා
මම්මලේ මට ඇහෙනවා බං
               ඉකිබිඳින හඬ මේනකා "

ඔය මගේ යාළුවෙක් ලියපු කවියක්...රුවන් බන්දුජීව .මේ ටිකේම දවල් රෑ නැතුව ඔය පද හතර මගේ ඔළු කට්ට අස්සේ හොල්මන් කරනවා නංගෝ.."
"හ්ම්..."
මම මොකොවත්ම නොදොඩා මන්දස්මිතියෙන් ඔයාට අනුබල දුන්නා.
"දන්නවද මම්මලේ මරික්කාර් තමා සරදියෙල්ගේ දකුණු අත."
එහෙම පටන් ගත්තු ඔයා ,
මමම්මලේ මරික්කාර් ගැන මම්මලේගේ නංගී මේනකා ගැන එතකොට මේනකාට සරදියෙල්ගේ පපුව අස්සේ උපන්න ආදරේ ගැන ආරච්ච්ගේ පුතාත් එක්ක දාගත්තු ගෝරිය කෙලවරකදී බයෙන් ගමෙන් පැනල ගිය සරදියෙල් ආයෙමත් ගම එද්දි මේනකා කාදර්ව බැඳලා පවුල් පන්සල් වෙලා උන්නු හැටි මේනකා කාදර්ට සින්න උනත් සරදියෙල්ගේ පපුවේ උපන්න ආදරේ පිටමං නූන හැටි මම්මලේ මේනකා සරදියෙල් ඔයාගේ පපුවට දැනෙන හැටි
මේ වගේ මහ ගොඩක් දේවල් එක දිගට කියෝගෙන ගියා..

තොර තෝංචියක් නැතුව ඔහේ කියවන මං හොඳ අසන්නියක් උනේ ඔයා ලඟදී විතරමයි.ඇත්තට ඔයා කියවපු එකම එක වචනයක්වත් මට කවදාකවත් එපා උනේවත් කම්මැලි උනේවත් නෑ..ඒ වචන අස්සේ ජීවිතේ තිබ්බා.වචන වලින් හිස් වෙච්ච හිත් පුරවන මොකද්දෝ රසයක් ඔයාගෙ වචන ඇතුලේ හැංඟිලා තිබුණා..

භගත් සිං ,බිස්මිල් ,පණ්ඩිත් රාම ප්‍රසාද් ,අසාද් ගැන ඉන්දීය නිදහස් සටන ගැන මහා ගොඩාක් අදහස් ඔයාගේ වචනත් එක්ක ඇමිණිලා එළියට වීසි උනා.
ඔයා කියවාපු හැම දෙයක්ම මගේ ඔළුව අස්සේ එක පිට එක දෝංකාර දෙද්දී මටත් හිතන්න මහ ගොඩාක් 
දේවල් හිත ඇතුළේ ශේෂ උනා..මං දන්නවා  ඔයා ඔය කියෝගෙන කියෝගෙන ගියේ මටම නෙවෙයි ඔයාටමයි කියලා.මෙච්චර දවසක් ඔයාගේ හිත අස්සේ හොල්මන් කරපු හිතිවිලි කියලා

භාශාව නුහුරු උනත් ඔයා කියාපු උර්ඳු පැඳි පෙළේ කාව්‍යයමය ගීතවත් බව මගේ පපුවටත් දැනුණා..

"සර්ෆ රෝෂී කී තමන්නා, අබ් හමාරේ දිල්මේ හේ
දේක්නා හේ සෝර් කිත්නා, බාසු ඒ කා තිල් මෙ හේන්"

භගත් සිං , බිස්මිල් ,අසාද් , රාම් ප්‍රසාද් විතරක් නෙවෙයි මම්මලේ එක්ක සරදියෙලුත් කොටු කරලා බැඳපු සිර කුටියක කෙලවරක ඔයාගේ සුළැඟිළි කොණක එල්ලිලා මමත් ඉන්නවා වගේ හැඟීමක් හිටි හැටියේම මගේ පපුවට දැනුණා.ඒක පපුව හිර කරන් නැගුණු මහ පුදුම උණුසුම් හිතිවිල්ලක්.

පරිගණක තිරය ඉස්සරහා ඇහි පිල්ලම ගහන ඔයාගේ ඔය ඇස් දෙකෙන් බිස්මිල් ගේ භගත් සිං ගේ අසාද් ගේ අව්‍යාජ ඡායාවන් ඇඳිලා හැංඟිලා යනවා මට පෙනුනා.ඒ විතරක් නෙවෙයි ඒ ඇස් අස්සේ  සරදියෙල්ගේ වගේම මම්මලේගේ ඡායවත් හැංඟිලා හිබුණ..මේනකා සරදියෙල්ගේ හිතේ උපන්න ලෙංගතුකම ඒ ආදරේ ඈ අහිමි වීමෙන් සරදියෙල්ගේ පපුවෙ ඇවිළුණු වියෝ ගින්දර සරදියෙල්ට තරමටම ඔයාටත් දැනුන වග මං දැනගෙන උන්නා.

ඔයා හරිම අපූරු මනුස්සයෙක්.මට හැමදාමත් හිතුණා.ඉවක් බවක් නැතුව ඔහේ රස්තියාදු වෙවී ජිවිතේ අහුකොන් හොයන්න දඟලන ඔයාගේ අහිකුණ්ටික ආත්මය දුෂ්ඨයෙක්ට වඩා වීරයෙක්ට නෑකම් කිවුවා.

"වීරයා හා දුෂ්ඨයා කියන්නේ සාපෙක්ෂ ඒ වහේම අන්‍යෝන්‍ය වශයෙන් බද්ධ උනු සංකල්ප දෙකක්.ඔවුනෙගේ පැවත්ම එකිනෙක මත රැඳිලා තියෙනවා..වීරයගේ වීරත්වය දුෂ්ඨයා නැසීමෙන් අවසන් වෙනවා..දුෂ්ටයෙක් නැති තැන තවදුරටත් වීරයෙකුට රැඳෙන්න බෑ..ඔහුට සටන් වදින්න අරමුණක් ශේෂ වෙන්නෙත් නෑ.."



ඔයා නිතරම වාගේ මගෙත් එක්ක ඔය වගේ දේවල් කියෙව්වා.කියවලා ඉවර කරන්න බැරි පොතක් වගේ කියන ජනප්‍රිය උපමාව ඔයාට හරියටම පෑහුණා.මං දිගින් දිගටම හිතිවිලි අතර පැටලෙද්දී අද ඉන්න කොයි තරුණයත් එහෙම නොවෙයිද කියලා මගේ හිත ප්‍රශ්න කලා.කෙනෙකුගේ ආත්මය පතුලෙන් ජීවිතයේ එකම එක වතාවක් හරි බිස්මිල් කෙනෙකුගේ සරදියල් කෙනෙක්ගේ භගත් සිං කෙනෙක්ගේ එහෙමත් නැත්නම් අසාද් කෙනෙක්ගේ ඡායවක් එබිකම් කරනවා කියලා මට හිතුණා.ජීවිතේ කෙලවරක් හොයන්න බැරි සංකීර්ණ අවශ්‍යතා වුවමනා තෘප්ත කරන්න දුවන නොනවතින තරඟයේ කලබලකාරී අහු අස්සේ එහෙන් මෙහෙම් එබිකම් කරලා  බලාපු ඒ ඡායාවල් මැකිලා යනවා.ඒ ඡායාවල් එළියට ඇදලා අරගෙන පොහොර දාලා පණ ගහලා වීරයෙක් රෝපණය කරන්න බොහෝමයක් ආත්ම වලට අවබෝධයක් නෑ, දැනෙන්නේ හැඟෙන්නේ නෑ.එහෙන් මෙහෙන් උපන්න වීරයාත් කාලයාගේ ඇවෑමෙන් දුෂ්ඨයෙක් වෙලා..

වීරයෝ ,දුෂ්ඨයෝ , ආදරවන්තයෝ එදා වගේම අදත් අපේ හිත් අස්සේ අරගල කෙරුවට කෑ මොර දුන්නට අපි ඔවුන් සමඟ කරන ගණුදෙණුව පුදුම තරමින් යාන්ත්‍රීකරණය වෙලා. හැඟීම් අසාමාන්‍ය තරමටම දේශපාලනීකරණය වෙලා.දුෂ්ඨයාගේ හා වීරයාගේ භූමිකාව උඩු යටිකුරු වෙලා.

පැටලෙන දඟල විපරීත සිතිවිලි මගේ හිත අස්සේ පොරකනවා.ඔයාගෙම ආත්මයේත් පතුලක අපූරු විප්ලවවාදියෙක් හැංඟිලා ඉන්නවා.පුහු සරුව පිත්තල කැටයම් දාගෙන අපි රැඩිකල් කියාගෙන  බෝඩ් ලෑලි උස්සගත්තු කාඩ්බෝඩ් වීර විප්ලවවාදියෙකුට වඩා ඔයාගේ පපුව අස්සේ නිද්‍රාගත වෙලා උන්නු සැබෑ විප්ලවවදියාගේ සුවඳ , මට බොහොම අපූරුවට දැනුණා.මා ආසයි ඌට හුස්ම පිඹලා පණ දෙන්න.ගාන්ධිට කස්තූර්බා වගේ ඔයාගෙ විප්ලවයටත් නිහඬ හෙවණල්ලක් වෙන්න.හිතට එකඟව සපත කරගත්තු එක පොදු අරමුණක් වෙනුවෙන් උණ්ඩයකට පපුව දෙන්න.උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිත පරිත්‍යායාගයේ  ප්‍රීතිමත් නිදහස අත්විඳින්න.

දොඩමළු වෙන හිතිවිලි ආගන්තුක උණුසුමකින් පපුව පුරෝනවා.සමහරවිට මේ මගේ ආත්මය පතුලේ හැංඟිලා උන්නු බිස්මිල්ගේ භගත් සිංගේ අසාද්ගෙ සරදියෙල්ගේ ආත්මයන්ගේ ඡායවන් එබිකම්කරපු දවසක්   වෙන්න ඇති..මේ ජීවිතයේ වීරයෙක්ට පණ දෙන්න ,විප්ලවවාදියෙක්    අවදි කරන්න ලැබුණු එකම සහ අවසාන අවස්ථාවත් වෙන්න ඇති.
ඒත්.......
එක් අන්තයක ඇසිල්ලකට පපුව පුරවාපු උණුසුම් විප්ලවාදී උතුම් සිතිවිල්ලත් තවත් අන්තයක මේ වෙනතෙක්ම මා ගෙවා දැමූ මගේම ජීවිතයත් අතර හැරුම් ලක්ෂයකදී ඒ මේ අත දෝලනය වෙච්ච චංචල මගේ හිත ඔයාගේ හඬින් විසිරිලා ගියා.

"සුදු නංගෝ ගොඩාක් රෑ වුණා නේද? අපි නිදා ගමු " 

Friday, November 8, 2013

නියතය

හඬමි
හිනැහෙමි
වෙළෙමි
දැවටෙමි
නුඹේ උරමත
සුසුම් බර දෙමි
නුඹේ පපුතුර
නිවී සැනහී
යළි උපන්නෙමි
නුඹ නිසාවෙන්
නුඹ මගේමය
මා නුඹේමය
ගැහෙන හද
නවතින තුරාවට
අපි අපේමය
මතින් මතුවද
නියතයකි එය
නොම වෙනස් වන 

Thursday, November 7, 2013

මට මමම වෙන්න ඉඩ හරින්න


මගේ නෙතින් ලොව දකින්න
මගේ හිතින් මට හිතන්න
මගෙ මුවින් මට දොඩන්න
මට මමම වෙන්න ඉඩ හරින්න

මගේ සිහින මට දකින්න
මගේ පැතුම් මට පතන්න
මගෙ හිතුවිලි අකුරු කරන්
කැමති තැනක දිග හරින්න

කඳුල සුසුම සොම්නස දුක
මගේ පිළිවෙලට විඳින්න
අහිතක් නොහිතා මං ගැන
මට මමම වෙන්න ඉඩ හරින්න

මගේ ලෝකෙන් මා මුදන්න
ඉදහිට එබිකම් කලාම
මහ ගොඩකට ටිකක් වැඩිය
මට රිදෙනවා දන්නවාද?





Friday, September 13, 2013

පිස්සුද මන්දා ලාවට..

 මං දුන්නු ආදරේට
කණ් දෙකත් පලාගෙන
ඇස් දොට්ට පැනලා
හන්දිපත් පණ නැතුව
අංශ භාගේ වගේලු
අනේ මගේ කොල්ලට
අන්න දැන් හොදටම පිස්සුලු
සිහියක් කටක් නැලු
බලපු හැම මුල්ලේම
පේන්නෙම මාවලු
ලෙංගතු වැඩි කමට
අනුපානෙට දිය කරලා
මං පොවපු ආදරේ
සැර  වැඩි උනාද මන්දා
බයත් හිතෙනවා දැං 
කැරකිල්ල වගේ මටත්
පිස්සුද මන්දා ලාවට..




කීවා නාහන අකීකරු හිත


නුඹය
නුඹමය 
හිතේ
සිවු කොණ
නෑ ඉඩක් වෙන
සුසුම් පොදකට
කෙලෙස යම්
පිටු පාල හිතකට
වාරු නෑ මගෙ
හිත මටම අද
ඇලවිලා මම 
නුඹෙ හිතටම
හිතක් නෑ යලී
යන්න නුඹ හැර 
කීවා නාහන 
අකීකරු හිත
බිදීලා ගියෝතින්
බෑ අඩන්නට
එන්නෙ  නෑ මම
තවත් පාරක්
කදුලු පිහිදාලා
                                              උඹව නළවන්න....

Monday, September 9, 2013

ප්‍රේමය ඉදින් නුඹ



ඇසි පියන් යට මිදී
විටෙක හසරැල් නගන
යලිදු ඒ නෙත් අගින්
කදුළු වැහි වස්සවන 
ලෝකයක් තරම් වූ
සොම්නසක් තිලිණ කර
එ සතුට හංගාන
යළි කදුළු රැගෙන එන
නෙතු අගට එළි නොවෙන
හීන දී බොද කරන
ප්‍රේමය ඉදින් නුඹ 
අරුමයක් නොවන්නෙද?

ගිලිහුන සද



ළැමද පුරවලු
ඇබින්දක පණනළ
නාස්පුඩු අද්දරින්
ගිලිහුන සද දුරකට
කෙලෙස ගෙනයම්
ඇබින්දක සුසුමක්
නොලැබ ජිවිතයම
නොපෙනෙන ඈත ඉමකට 

ජීවිතය නම් අරුමයක්මය.......



සබඳ,
අදද දකින්නෙමි කඳුලින් මිදී පුපුරු ගසන දෙනෙතින් මාගේ ප්‍රේමය මියදී යන අපූරුව..දැනුදු විඳවන්නෙමි හදවතම රිද්දවන් සියොලඟම අවුළුවන වියෝගය.සහසක් සිහින,ප්‍රාර්ථනා,බලාපොරොත්තු සිහිනයක්ම පමණක්ව දෝතින් ගිළිහෙන අපූරුව.දනිමි නුඹද හඬන බව.ජීවිතේ මුල් වරට කීවෙමි මුසාවක් නුඹට..මසිත දවාලන ශෝකය වසන් කළෙමි නුඹෙන් මම.මන්ද එළඹෙන වියෝගය මිහිරක් කරන්නට නොව දුකින් කලඳක් අඩු කරන්නට.අපගේ ප්‍රේමය....අප දෙදෙනා එක්ව බිහි කළ ආදරණීය හිතුවිල්ල, අද පිළිලයක් බවට පත්වී පණ අදී ටිකෙන් ටික කවදා මියේදෝයි නොදන්නා මුත් හොඳින් දැන මියෙන වග.සිහින ,ප්‍රාර්ථනා,බලාපොරොත්තු මතින් ඉදිවූ ප්‍රේමයේ අත්තිවාරම අතරින් අවිනිශ්චිතතාව ඉඩ අවුරා ඇත.මුල මැද අග නොදන්නා කතාවක රූකඩ වූයෙමු අප නූල මා පියන් අතට දී.

පසක් කර ගතිමි වෙන් වීමක් මිස එක් වීමක් නොවන වග.දනිමි නුඹේ නමින් ,නුඹේ ලෙයින් කිසිඳු ප්‍රාණියෙකු මා කුසට නො එන වග.දනිමි නුඹ මා නමින් අශ්ඨක නොගැයෙන වග.දනිමි නුඹ සයනයේ පංගුකාරිය මා නොවෙන වග.දනිමි නුඹගේ පාද පරිචාරිකාවියද මා නොවන වග.නමුඳු අවසඟ මගේ හිත පසක් කර නොගනී එය..දැනුදු පතයි නුඹේම පතිනිය වන්නට.නුඹේම පුතණුවකගේ මවුන් වන්නට..නුඹේ සයනයෙ පසෙක හිඳ නුඹේ පපුතුරේ හිස හොවන් සැනහෙන්ට.දැවී අළුවෙන බව දැන දැනම සලබයා පෙම් බඳී ඉටි පහන් සිලට.මමද එසේමය..අසිපත් තුඩක් මැද හිඳ කොයි දෙසකට වැටෙම්දෝයි නොදැන විඳවයි සන්තානෙම.

නුමුදු දනිමි ,සියල්ලම අහිමි මුත් නුඹේ සෙනෙහස  මටම වග. එහෙත් දිනන්නේ කුමක් මම..සටන් කරන්නේ කුමට මම.නුඹ ඒකපාර්ශවිකවම පරාජය වන්නට හිඳින කල.අවිනිශ්චිතතාවයෙන් මිදෙන්නට එකදු පියවරක්වත් නොතබන කල.බලා හිඳිනුයේ කෙලෙස මම,බිළිඳෙකු සේ සෙනෙහසින් තුරුළු වී  හෙමි හෙමින් හැදී වැඩුනු මාගේ කුළුඳුල් ප්‍රේමය , මාගේ දෑත් මතම මියැදෙන සඳ.දිවිය මට හිමි නැත.දැන් එය නුඹගේය.තීරණය  නුඹ අතය.

මියැදෙමි මා සිතින් දස දහස්වර ...එනමුදු නුඹ...,නෙතු කඳුලු ,වේදනා සගවාගෙන තවමත් වැට උඩය.මට යශොදරාවක් වීමට නොහැක..අයදිමි දස දහස්වර මම නුඹගෙන් මගේම ජීවිතය.නමුදු නුඹ තවමත් තවමත් රකිනුයේ මුනිවතමය.කෑ ගසා හඬා හෝ නිමාවක් නම් නොවේ තුන් සිතම දවාලන සෝ ගින්න.ඉඳින් කෑ ගසා වැළපෙන හදෙහි දුක වසන්නට සිනහවක් අලවමි මුව උඩින් මූනිච්චාවට.එහෙත් සිත් සන්තානයම ඉකි ගසමින් වැළපෙනු ඇත. කළා සොලොස පිරි සුපුන් සඳ මගේ ලොවට එළිය නොදෙනු ඇත.සීතල ගණඳුරක් පමණක්ම ශේෂ වනු ඇත.නමුදු නුඹ හැර යන්ට දෙපා අවසඟය.නුඹෙන් වෙන් වන්නට වුවද නුඹ ලඟ රැඳෙමි මම.එහෙත් මේ මතකය .....?

නුඹ මා නමින් සිතේ සිවු කොන රැඳුනු මතකය.........?

ජීවිතය නම් අරුමයක්මය........

Thursday, September 5, 2013

ඔව්ද නැද්ද ?


ඔව්ද නැද්ද
ඔව්ද නැද්ද
ඔව්ද නැද්ද
ඔව්ද නැද්ද ?
මන්දා
ඒක උත්තරයක් නෙවෙයි
එහෙනම්
ඔව්ද නැද්ද?
දන්නෙ නෑ
කියන්න
මොකද්ද
ඔව්ද නැද්ද?
ම්ම්ම්..දෙකම
එහෙම බෑ
එහෙනම්
එකක් කියන්න
අපි මේ කොහෙද යන්නෙ
ගිහිල්ලම බලමු
මම නවතින්නද?
එපා
ඔයා නවතිනවද?
බෑ
එහෙනම්?
පාවෙමු
පාවෙමු?
ඔව් පාවෙමු
කොහාටද?
හැරුම් ලක්ෂයක්  මුණගැහෙනකම්
ඊට පස්සේ...
හිත කියාවි මොනා හරි
හ්ම්...
යමුද ?
යමු.... 

සලබ කුලේ මං


ගිනි පෙළෙල්ලක් ඇවිත්
බැට දුන්නු දා හිතට 
මං උන්නෙ බිය වෙන්න
පොඩි කණා මැදිරින්ට
අනේ හරි පුදුමයක්
බය නැලු මගෙ හිතට
මෙන්න කියනවා යළිත්
ඕනෑලු ළං වෙන්න 
තවත් ගිණි පෙල්ලකට
ගිණි පුපුරු ඉහිරවන
ගිණි පෙල්ළ ළං කරන්
කිටි කිටියෙ ගුලි වෙලා
ඕනැලු විඳගන්න
ඇට මිදුලු දිය කරන
ගිණි සිසිලෙ අමා සුව
එකත් එකටම මමත්
සලබ කුලේ වෙන්න ඇති 
ඒ නිසයි දඟලන්නේ 
දැවෙන බව දැන දැනත්
ළං වෙන්න ගින්දරට

Tuesday, September 3, 2013

අප්පච්චී...



නොනවත්වාම ජංගමයා හඬ තලයි..ඇහුණා නෑහුනා මෙන් උන්නත් නවතින පාටක් නම් නැත.යාන්තම් ඇහැ පියවේගෙන එන විට කෑ මොර තලන ජංගමයා ගැන තදබල ලෙසට හිතට කාන්දු වෙන  නොරිස්සුමක්  සමඟ මම නෙත් පියාගත් වනම උගේ බොටුව මිරිකා විසන්ඳි කර දැමුවෙමි.නමුදු තත්පර කිහිපයක්වත් ගත වන්නට නැත.නැවතත් කිසිදු අනුකම්පාවක් නොමැතිව මගේ කොට්ටය අස්සට රිංගාගෙන උන් ඌ දෙදරමින් මහ හඬින් මොර දෙන්නට විය.

"මොන මළ කරුමයක්ද මන්දා..නිවාඩු දවසේ මොකාද මේ වද දෙන්නේ "

 මම හිතෙන් දෙස් තියමින් ජංගමයාගේ කෙස්සෙන් අල්ලා කොට්ටය යටින් එළියට ඇද උගේ මූණතහඩුව දෙස නිදිමත පෙරෙන තනි ඇසෙන් බැලීමි.

"අප්පච්චී" ජංගමයාගේ මූණතහඩුවේ සටහන්ව තිබුණේ එලෙසය.

මම උගුර පාදා කටහඬ සකසා ගතිමි.අප්පච්චි දවල්ට නිදා ගන්නවාට බිඳකුදු මනාප නැත.

"හෙලෝ අප්පච්චි කියන්න"

ආ.... පුතා නිදාගෙනද උන්නේ?"

කෙතරම් බොරු ගෙතුවද පලක් නැත්.අප්පච්චී තරම් හොඳින් මා ගැන දන්නා අනෙකෙකු නොමැති තරම්ය.

අනේ නෑ අප්පච්චි .. මේ බාත් රූම් එකේ හිටියේ .. ඇහුනේ නෑ.."

මම මුසාවක් ඇමිණූවෙමි..මගේ බෝඩිම් ජීවිතයට නම් පිළිවෙලක් කියා දෙයක් ගෑවිලාම නැත.නිදා ගැනීමට අවදි වීමට වෙලවක් කලාවක් මොකොවත්ම නැත.රැයක් දවාලක්ද නැත. ඉදින් අදද එලෙස හොඳටම එලිය වැටුණු පසු ඇඳට ගොඩ වූ දිනයකි.එපමණක්ම නොව මේ අද දිනයට අප්පච්චිගෙන් පැමිණි සිවුවන ඇමතුමයි.

"මොනා කරන්නේ? මේ අප්පච්චීගේ මීලඟ සුපුරුදු පැනයයි."

ඉන්පසු කෑවද, බීවද ,ඉව්වද, ඉව්වේ මොනාද ,කොහේද ගියේ ,කවුද එහේ හිටියේ, එයා මොනාද කිවුවේ මෙකී නොකී ප්‍රශ්නාවලියකි.

අප්පච්චීගේ හැටි එහෙමය.ඔහු එලෙස විමසන්නේ වුවමනාවකට හෝ සැකයක් නිසාවෙන් නොව නිකමටය.ඒ ආදරේට විය හැකිය.ඔහු අපි කාටත් එහෙමය.මට මල්ලීට අම්මාට කිසිදු වුවමනාවක් නොමැතිව වුවද දිනකට හත් අට වතාවක් අමතයි.කියන්නට තරම් දෙයක් නැතත් මොනවාම හෝ පවසයි.ඔහු කොයිතරම් කාර්යබහුල වුවද මේ පුරුද්දේ නම් පුංචියට තරම්වත් වෙනසක් නොවෙයි.වරක් ඇමතූ පසු ජංගමයාට පිළිතුරු නොදුනහොත් පිළිතුරු දෙන තෙක්ම එකපෙළට ඇමතුම් ගලා එයි.

මා නිවිහැනහිල්ලේ මා ගැනම සිතූ බොහෝ අවස්ථාවලදී මා පසක් කොට ගත්තේ මා අම්මාට වඩා අප්පච්චිට ආදරය කරන බවයි.ඔහුද එසේම වන්නට ඈත.පවුලෙන්ම මගේ ප්‍රියතමයා වන්නේ ඔහුය.දුවලා වැඩිපුර ආදරේ අප්පච්චිලාට යන කතාවනම් අසත්‍යක් වීමට නොහැක.මන්ද මා එතරම්ම ඔහුට ඇලුම් කරන බැවිනි. මට බාල සොහොයුරෙකු සිටියද ඔහු කවදත් මට ඇමතුවේ පුතා දුව ලෙසය. කොහේ සිට නිවසට පැමිණියද ඔහු දොරට ගසමින් අඬගසන්නේ මටය.

මට හොඳින්ම පෑහෙන පවුලේ සාමජිකයා ඔහුය.අපි දෙදෙන එක්වූ තැන්හී අපට දෙඩීමට ඇති දෑ හී ලැයිස්තුව බොහෝමත්ම දීර්ඝය.අප දෙදෙනාගේ සංවාදයන්ට කිසි විටෙකදී අම්මා හෝ මල්ලි එක් නොවෙන අතර අප කතා කරන කිසිවක් ඔවුනට රිසි මාතෘකාද නොවේ.මා බාලේ පටන්ම පොත් ගුල්ලියෙකි.අදද මා වචන තුන හතරක් අමුණා කුමක් හෝ කුරුටු ගෑමට තරම් හපන් කමක් ඇත්නම් ඒ අප්පච්චී නිසාමය.සාහිත්‍ය, බෞද්ධ දර්ශනය, ඉතිහාසය ,දෙශපාලනය ,ගුප්ත විද්‍යාව අප්පච්චීගේ සංවාදවල සුලබ ප්‍රස්තූථයන්ය.ඔහු දන්නා දේ බොහෝය.

විද්‍යා විශයන් උගත් මගේ අම්මාට නම් කලාව අපුලය.ඒත් අප්පච්චීටනම් කලාව යනු රස ගුලාවකි.අප අම්මට ඉඳ හිට බලෙන්ම වාගේ කියවන්නට පොතක් දෙකක් ගෙනැවිත් දුන්නද ඈ කිසි දිනයක පොතක් ඈවර වනතුරුම නොකියවයි.අහම්බයකින් හෝ කියවා අවසන් කළහොත් ඒ පිටු සියයක් තරම් වූ පොතක් මසකදී පමණ කියවා නිමකල අවස්ථාවකදී පමණි.මා ජනිත වූයේ අම්මාගේ හා අප්පච්චීගේ රුචි අරුචිකම් ගති සිරිත් හුරු පුරුදු වලින් පමණක්ම යැයි යමෙක් කොතනකදී හෝ පැවසූවොත් අම්මගෙන් මට උරුම වන්නට ඇත්තේ ඇට්ටර දඩබ්බර ගුණය පමණක්ම යැයි නිසැකවම පැවසිය හැකිය.ශේෂ වන්නාවූ සියල්ල ඇබින්ඳක තරම්වත් දෙගිඩියාවකින් තොරව අප්පච්චිගේ යැයි කිව හැකිය.

අප්පච්චී පන්සල හා සමීප ඇසුරෙකින් හැඳී වැඩුනෙකි.ඔහුට ගුත්තිලය සැලලිහිණිය එක කවියක් නෑර කට පාඩම්ය.ඔහු ඕනෑම කවි පදයක් සැනින් ධාරණය කර ගැනීමේ හපනෙකි.ඔහුට වූ ඒ හැකියාව පවුලෙන්ම උරුම වූයේ මට පමණකි.මගේ මල්ලිට කවි පද හතරක් මතකයෙහි ගබඩා කොට ගත හැකි  දිනක් වී නම් එදිනට සක්වල කලඹා මිහිකත කම්පා වනු නිසැකය.පුංචි සන්ධියේ පටන් අප්පච්ච්යි මමයි තරඟයට කවී කීවෙමු.වාද කලෙමු.වරු ගණන් කියෙව්වෙමු.මේ තරමටම ලොකු මහත් වූ පසු පවා ඔහුට තුරුළු වී කතා කිරීමට දැනුදු  ශේෂ වී ඇති දෑ බොහෝමය.

අප්පච්චීට පාලි හා සංස්කෘත දැනුමක් ඇත. පිරුවානා පොත් වහන්සේ ඔහුට සම්පූරණයෙන්ම කට පාඩම්ය.අප්පච්චිගේත් අප්පච්චි කුඩා කාලයේදී ඔවුනට සකස්කඩ , බුද්ද ගජ්ජය ,ශත්‍රශතකය, නවරාශ්ටශතකය වැනි විවිද ග්‍රන්ථ ගෙනවිත් දුන්නේලු.ඇතැම් පොත් වල නම් මා අසාවත් නොමැති අතර සමහර නම් ගම් මගේ මතකයේ පවා ශේෂ වී නොමැත.පාසල් ගොස් පැමිණි පසු පන්සලේ ලොකු හාමුදුරුවන් මුණ ගැසී මේ පොත් උගැන්ම ඔහුගේ නිවසේ අනිවාර්ය නීතියක්ව තිබුණු බැව් අප්පච්චි වරෙක මා සමග පැවසූ බව මතකය.අදද ඔහු විවේක පාඩුවේ පසුවන ඇතැම් අවස්තාවලදී අප අසාවත් නැති කවි ,ශ්ලෝක , ගාථා මුමුණනු මම අසා ඇත්තෙමි.

අප්පච්චී යනු මට නම් අපූරු අපූර්වතමයෙකි.පුංචිම කාලයේ මම සෙල්ලම් බෝනික්කන්ගෙන් සෙල්ලම් කලද දැන් ඒවා කාමරයේ ගොඩ ගසාගෙන සිටින්නේ සෙල්ලම් කිරීමට නොව කාමරය හැඩ කිරීම සඳහාය.නමුදු අප්පච්චීට නම් එසේ නැත. මම කාමරය අතු ගා අස්පස් කර බෝනික්කන් ඇඳේ පෝළිමට ඇසිරූ එක් දිනක් මට අද වාගේ මතකය.ඒ වන විටද මට වයස අවුරුදු විසි දෙකක් හෝ විසි තුනක් වන්නට ඇත.එසේ වුවද ඔහු මාගේ කාමරයට ඇතුලු උනේ පුංචි සන්ධියේ මගේ සල්ලම් ගෙදරට ගොඩ වෙනවා හා සමානවමය.

"ඔන්න ඔයාගේ ගෙදරට නෑදෑයෝ ඇවිල්ලලු..තේ බොන්න තේ වතුර ලිපේ තියන්න."

බෝනික්කන් ගොඩේ වාඩි වී ඔහු කියූ සැටි මට අද වාගේ මතකය.ඒ සිනා මුසු මුව මඬල මට දැනුදු දෑස් පියා ගත් ඇසිල්ලක අනාසයෙන්ම  නෙත් ඉද්දර මවා ගත හැකිය.

අප්පච්චී කිසි දිනෙක කිසිවකින් කම්පා වනු මම දැක නොමැත්තෙමි.ඇසුවා නම් ඒ එක් වරක් පමණක්ය.ඒ මා කොලඹ බෝඩිමක නතර කර ගිය දිනයේය. සතියක් දෙකක් යනතුරු ඔහු අමුතූ වී සිටි බව දිනක් අහම්බෙන් වගේ මගෙ ලොකු අම්මා කෙනෙකුගේ මුවින් පිට විය.ඒ වනතෙක්ම මම ඒ ගැන හාන්කවිසියක්වත් දැන නොසිටියෙමි.එහෙත් පැයකට වතාවක් පමණ මට දුරකතන ඇමතුම් දුන්න බවත් බෝඩිමේ ඉන්න බැරි නම් දමල ගහලා ගෙදර එන ලෙසත් කියූ අයුරුත් නම් මට හොඳ හැටියට මතකය.

අප්පච්චී තරම් නිවුණු දැමුණු කිසිවෙකුත් මම මෙතෙක් මුණ ගැසී නැති තරම්ය..සිව් විසි වසරකටත් වඩා මාස කිහිපයකට දීර්ඝ වූ මාගේ ජීවිත කාලය තුල මම අප්පච්චී කෝපයෙන් සිටිනවා දැක ඇත්තේ දෙවරක් පමණකි.අද වනතුරුම මා ඔහුගෙන් නිය තුඩක් තම් වත් වූ පහරක් නොලද අතර අතැඟිලි වලටත් වඩා අල්ප අවස්ථාවන් කිහිපයකදී පමණක් බැනුම් අසා ඇත්තෙමි.දන්නා කාලයේ දී පටන් ඉතා දඩබ්බර ඇට්ටර කෙල්ලකු වූ මගේ හිතුවක්කාරකම් අනෙකෙකු නම් කෙලෙසකවත් ඉවසාවි යන්න ඇදහිය නොහැකි නියතයකි.

තුරුණු දරුවන් සිටින කුටුම්භයක දූ දරු මා පිය  සිතැඟි තුලනය නොවීම  නිසා සිදුවන ඝට්ටන , දබර , සිත් රිදවීම් නම් එමටය.මාද එලෙස මා පියන් හා ගැටුණු අවස්ථා වැඩි මිස අඩුවක් නම් නැත.එවැනි දබර වලදී මාද අනන්තවත් විස පිරුණු වචන වලින් අම්මාට අප්පච්චීට දමා ගසා ඇත්තෙමි.එවැනි දිනයන්හී අප්පච්චි රිදවීම පිළිබඳව මා පශ්චාත්තාප වී හඬා වැටුණු අවස්ථාවන් එමටය.අම්මාටත් වඩා හිත වඳ වින්ඳේ අප්පච්චී නිසාමය.විටෙක එහි අමුත්තක් දැනුනද ඇතැම් විට එයට හේතුව බාලේ පටන්ම අම්මාගෙන් නම් ඉහේ කෙස් ගාණට කිහිප ගුණයකටත් වඩා  බැනුම් අසා පහර කා දබර වී ඇති නිසා මගේ හිතත් කම්මලේ බල්ලාගේ ගාණට පදම් වී තිබීම විය හැක.මම අම්මාටද බොහෝ සෙයින් ආදරය කරන්නෙමි.නමුදු මම මටම අවංක වී සිතා කිරා මැන බැලුවොහොත් අම්මාට වඩා සුවිශේෂ වූ කුමක්දෝ බැඳීමක් අප්පච්චී කෙරෙහි මා අලවා තබා ඇත.

නැවතත් ජංගමයා මහ හඬින් මොර දෙයි.මා මෙලෙස සිතිවිලි දාමයක වෙලී කෙතරම් වෙලාවක් දිය කර දැමුවාදැයි මට නිනව්වක් නොමැත.මම ඇල්මැරුණු නෙතින් ජංගමයාගේ මුහුණ කියවීමි.

හ්ම්...පස්වන වතාවටත් ඒ අප්පච්චීය.............

Friday, August 9, 2013

පියානෝවී (තෙවැනි දිගහැරුම )

625425_547819538618056_1027541937_n.jpg


සීතල වැඩි නිසාම මට මහ පාන්දරින්ම ඇහැරුණා.ඇහැරුණා කිවුවට රැය පුරාම වරු ගණන් ඇඳේ එහාට මෙහාට පෙරලුණා මිසක නින්දක් නම් ඇස් අහලකටවත් කිට්ටු උනේ නෑ...පාන්දර ජාමේ යාන්තමට වගේ ඇහැ පියවේගෙන ගියත් කොඳු ඇට පෙළ පසාරු කරන් ඇදුණු නුහුරු සීතලක්  ආපහු මගේ නින්ද මංකොල්ලකාලා තිබුනා.

හ්ම්.. සීතල නොවී තියේවිද?

රෑ නින්දේදී පා පහරවල් ඉවසගන්න බැරුව මාව අතෑරලා දමලා ගිහින් ඇඳ පාමුල එල්ලිලා දිවි නහගන්න දඟලන පොරෝනාව ඇඳලා අරන් ඇඟට දමා ගන්න ගමන් මම මටම මුමුණගත්තා...

ඊයේ රෝස මාර ගහ ගාව බංකුව ලඟ ඉඳන් මට අතවනලා කලවම් කෙල්ල ඈතට ඇඳිලා ගියත් මේ වෙනකන්ම හෙල්ලෙන්නෙවත් නැතුව හිත අස්සේ හොල්මන් කරනවා..

අනේ ඇත්තට එක බිංදුවක්වත් එහාට මෙහාට වෙන්නේ නැති හැටියක්.රෑ එළි වෙනකන්ම නින්ද ගියෙත් නෑ මේ පිස්සු කෝච්චිය හන්දා.හිනා වෙනවා , ඔරවනවා ආයේ හොරෙන් බලනවා හැරිලා බලනවා ..එක විකාරයයි..කෝ ඔච්චර ඉඳලත් තවමත් ඇති වෙලා නෑනේ..දැන් ඇස් වහගෙන මදිවට ඇස් ඇරගෙනත් හීන පේන්න පටන් අරගෙනද කොහෙද.හපෝයි....ඒ පාර දොර මුල්ලෙනුත් එබිලා බලලා මාත් එක්ක ඔලොක්කුවට හිනා වෙනවා.මේ කෙල්ල නම්....

අනේ අම්මපා...හීනේකට උනත් මෙච්චරටම පෙනිලා හති වැටෙන්නේ නැද්ද මන්දා..කොච්චර බලාන හිටියත් මේ ඇස් ගෙඩි දෙකටත් ඇති වෙන්නේ නෑනේ ඇත්තට.ඇස් ගෙඩි දෙකටනම් මොකද පොට්ට වෙනකම් හරි බලියගෙන ඉඳීවි මේ අඟර දාන කලවම් කෝච්චිය දිහාවේම...

"අනේ අනේ කසුපයෝ..තොටත් වෙච්ච හරියක් හැබෑවට..කොහේවත් ඉඳන් ආපු කෙල්ලෙක් වචන දහයක් කතා කොරලා යන්න ගියා..හැබැයි උඹ නම් තාමත් ඒකිව ගම්මාලු ගුලියක් වගේ හිතේ අලෝගෙන ඉන්නවා"

මං කණනාඩිය අස්සට රිංගගෙන මං දිහා බලාන උන්නු මගෙන්ම ඇහුවා.

ඇත්තට ඊයේ දවසේම ලෙක්චර්ස් වෙල උන්නත් ඇස් දෙක නිනව්වක් නැතුව හෙව්වේම නොරිකෝව..ඒත් එකම එක වතාවක්වත් මගේ ඇස් මානෙට ආවේ නෑනේ..හවස එද්දිත් මම ගඟ අද්දර රෝස මාර ගහ යට බංකුව ගාව නැවතිල්ලේ උන්නේ තව පාරක් නොරිකෝව දැක ගන්න ආසවක් හිත් කෙලෝරක අලවගෙන..අන්තිමට බංකුව තට්ට තනියම උන්නු මට තනි රැක්කා මිසක නොරිකෝගේ හෙවණැල්ලක් තරම්ම්වත් ගං දියට වැටුණේ නෑ..

මං පොරෝනාවේ සුරුට්ටුවක් වගේ එතිලා ජනේලේ අයිනට ගියා.හෙමීට විවර කරපු ජනෙල් පළුව අස්සෙන් පොරකාගෙන ආපු හීල් හුළං රැල්ලක් මගේ මූණතහඩුවේ හැපීගෙන කාමරේ අස්සට රිංග ගත්තා..

අනේ හැබෑට මට මේ මොනවා වේගෙනද එන්නේ...උපන්තේකට කිසිම ගෑණු පරානයක් නිසා හෙල්ලිච්ච නැති මගේ මේ හිත් පොඩ්ඩ අස්සේ හැම අස්සක් මුල්ලක් නෑරම දැන් නොරිකෝ හොල්මං කරන්න පටන් අරන්..ඒත් ඇයි?.... මොකද්ද මාව මෙච්චරම අලවගන්න තරම් ඒ කලවම් කෙල්ලගේ තිබ්බ අමුත්ත?අනේ මන්දා මෙච්චර කාලෙකට කිසිම ගෑණු දැරිවියෙක් මාත් එක්ක සැහැල්ලුවෙන් හිනාවෙලා කතා නොකරපු හන්දා හිතට අමුතු නුහුරක් දැනෙනවා වෙන්න ඇති..ඒ කෝඩුකාර හිතුවිල්ලටනේ මාත් මේ කෙන්ද කන්ද කරගෙන ඒකත් විසිපස් ගුණයකින් විතර වැඩි කරලා ඒකෙත් දහවෙනි බලය විතර හොයාගෙන දඟලන්නේ..මෙහෙම මේ හිත අතෑරියොත් නම් අනන්තෙට යනකම්වත් අල්ලනවා බොරු.පස්ස පැත්තට පයින් දෙකක් දීලා කණෙන් ඇදලා ගැට ගහලාවත් තියා ගන්න ඕන මුගේ ඇට්ටරකම ඩිංගිත්තක් අඩුවෙලා යන්න. 

"කසුප..පරක්කුයි..එන්න කෑම කන්න"

දොරටත් තට්ටුවක් දාන ගමන් අප්පච්චි එහෙම කියන හඬ මහේ හිතුවිල කන්ද එහෙම් පිටින්ම බිමට සමතලා කලා.

"හරි අප්පච්චි මම විනාඩි පහෙන් පහළට එන්නම්"

හප්පද බොල..කිරි අප්පට බල්ලො පැනලා පූසොත් කාපි කිවුවලු.විනාඩි පහෙන් එන්නම් කිවුවට මොකද මම තවම දත කට මැදගෙනවත් නෑ..මං  ඩබල් එකේ සිං සිං ගාල නාන කාමරේට රිංගුවා..අප්පොච්චියේ මට තිබ්බ තදියමට තව පොඩ්ඩෙන් ලිස්සලා වැටිලා සිරි සඟබෝ වෙනවා..

සින්ක් එක උඩින් බිත්තියේ එල්ලිලා උන්නු කන්ණාඩියේ මූණ පේන්නේවත් නැති තරමටම මීදුම බැඳිලා..මං දබර ඇඟිළි තුඩින් කන්ණාඩි මුහුණතේ නොරිකෝ කියල ලිවුවා..

"ඒ පාර ආයේමත් විළිස්සගෙන බලාන ඉන්නවා"

කන්නඩි මුහුණතේ බැඳිච්ච මීදුම් පටලේ පිටිපස්සේ වැහිලා හැංඟිලා හිටපු කසුපයා අමාරුවෙන් එහෙන් මෙහෙන් ඔළුව දාල ආඩපාලි කියන්න පටන් ගත්තා..මම ඌව හේදිලාම යන්න දෝත පුරෝලා වතුර පාරක් ගැහුවා..හ්ම්.. ඌත් එක්කම නොරිකෝවත් හේදිලා ගියා...

මම දනි පනි ගාල ඇඳගෙන කරගෙන පහළට දිව්වා..දනි පනි කිවුවට මොකද සෑහෙන වෙලාවක් ගිහිල්ලා වගේ. අප්පච්චි කාල බීලා යන්නත් ගිහින්.

මම සීතල වෙලා තිබ්බ කෝපි එක උගුරට දෙකට ගිල දාන ගමන් ජෑම් බටර් මොකොවත්ම නැතුව වාටි කඩලා දාල නිකන්ම නිකන් සුදු පාන් මද දෙකක් කටට ඔබාගෙන පාරට බැස්සා.

හොඳටෝම පරක්කු වෙල හන්දා හනි හනිකට දිවුව මගේ ගොන් මොලේට උදේ වරුවේ ලෙක්චර්ස් නෑ කියන එක මතක් උනේ ගෙදර ගේට්ටුවත් පහු කරගෙන සෑහෙන්න දුරක් ගියාට පස්සෙයි..අපරාදේ නිවි හැනහිල්ලේ බඩට මොනාහරි දාගෙන එන්න තිබ්බ..දැන් ඉතින් මොනා කරන්නද.මං හැටට හැටේ පාගලා ගියපු ස්පීඩ් එක පොඩ්ඩක් බාල කරලා රෝස මාර මල් පෙති වියනේ හැඩ බැලුවා..වට පිටාව වෙනදා වගේම ලස්සන උනත් මට ඒ ලස්සන අස්සේ අමුතු පාළුවක් කාන්සියක් හැංඟිලා තියෙනවා වගෙ දැනුනා..

මං බොහෝම ඈලි මෑලි සෝමාරි ගමනින් වාසිටිය පැත්තට ඇඳුනා.ගඟ අද්දර රෝස මාර මල් ගහ යට ලී බංකුව පහු කරද්දී මටත් හොරාට ඉබේටම වාගේ මගේ ඇස් ඒ ඉස්සව්වේ පැටලෙන්න දැඟලුවත් බංකුව අදත් තනියම මඟ බලාන ඉන්න හැටි දැකලා මගේ හිත ඉහිරුණා..
මං මගේ ඇස්දෙක බිමට අලවගෙනම වාසිටියේ පඩිපෙළ නැග්ගා..

කසුප ඕප්පා..ගුඩ් මෝර්නින්"

ලතාවක ඇඳිලා පැඳිලා ඇහිච්ච ඒ වචන තුන හතර අද්දර මං ඉද්ද ගැහුවා වගේ නැවතුණා.
පුංචි කෙල්ලෙක් වගේ කූරු කොන්ඩේ කරල් දෙකක් වෙන්න ගොතාන පඩිපෙළ මුදුනේ එරමිණියා ගොතාන ඉඳගෙන දෙකපොල්  දෑත්   අතරේ හිර කරන් හිනා වෙවී මා දිහාම බලාන උන්නේ කිම් නූරි නොරිකෝ වර්ණාසි කියන කලවම් කෙලි පොඩිත්තයි..

Monday, July 29, 2013

මට එරෙහිව මම (ME vs ME)


කුඩේකට ඔරොත්තු නොදෙන තරමේ මුරුගසන් වරුසාව හිස් මුදුනේ ඉඳන් පා ඇඟිලි කෙළවර වෙනකම්ම තෙතබරියම් කරලා..කොහෙදෝ ඉඳලා ගහගෙන ආපු ඇට්ටර හුළං කෝඩෙකට අහු වෙලා දෑතින් ගිලිහිච්ච කුඩය අඩි කීපය ඈතට වීසි වෙලා ගියා.දැනටමත් අමුතුවෙන් තෙමෙන්න ඉඩක් නොතියාම බකිරිත්තමෙක් වෙලා උන්නු හන්දා මං ආපහු නොහැරී අඩිය ඉක්මන් කලා.හුළඟ එන්න එන්නම මුරණ්ඩු වෙනවා.අඹරෙමින් කැරකෙමින් පෙරළි කරන රුක් කඳන් වල අතු ඉති ඉඳලා හිටලා ආකාසේ දෙදරවමින් පුපුරලා කඩා හැලෙන විදුලි එලි එක්ක මුහු වෙලා හොල්මං රූප අඳිනවා...අනෝරා වැස්සයි  දඟර ගැහිලා ගහගෙන  එන  හුළං පාරයි කුණාටුවක නිමිති කියනවද මන්දා..කොඳු නාරටිය දිගේ ඇට මිඳුලු වලට යනකම්ම ගල් ගැහිලා පා සුලැඟිලි නිය තුඩක් වෙනකන්ම හිරි වැටිච්ච සරීර කූඩුව, දත් ඇඳි සට සට ගාල වදින තරමට වෙවුලනවා...මොකෙක් හරි ඇවිත් ඉහේ ඇහේ ඇනුණත් නොපෙනෙනා තරමටම පට්ට තිත්ත ඝණ කළුවරක් මූසල පාළුවකුත් එක්ක කලවම් වෙලා වීදියේ හැම අහු කොණක්ම ගිල දමලා..අන්ධකාරය මැදින් මොකෙක්දෝ ඇවිත් මගේ ඇඟේ හැපුනා...  


ආකාසේ දෙබෑ කරගෙන පුපුරලා හැලුණු හෙන පාරේ එළියෙන් මං උගේ මූණ දැක්කා...එකදු රේඛාවකවත් කෙස් ගහක තරම්වත් වෙනසකට ඉඩක් නොදී මගේ නෙත් ඉදිරියේම හුස්ම වැටෙන, ඇහි පිල්ලම් ගහන මාවම , මම දැක්කා. ඇහිබැම, ඇස් , මූණ , කට, නහය ,අත් පා පපුව හැම රෝම කූපයකම කිසිම අඩුවක් නැතුව කන්ණාඩියෙන් මං මාව දුටුවටත් වඩා පැහැදිලිවට ඌ මං දිහා එක එල්ලේම බලාන උන්නා.. වෙනෙකක් තියා වම් කම්මුල් කෙළවරේ තිබුණු උපන් ලපයත් ඒ විදියටම දකිද්දී නෙත් අදහා ගන්න බැරුව හෘදය මොහොතකට ගල් ගැහුණා.. අදහන්න අපහසු උනත් උත්ප්‍රාසයෙන් පිරුණු මදහසක් දෙතොල් කෙළවරක අලවගෙන "මම" මං දිහාම බලාන උන්නා..හත් දෙයියනේ.. අන්ධකාරය මැදින් ජීවිතේ පළමු වතාවට, මුහුණට මුහුණ, මට මට මාවම මුණ ගැහිලා...කතා කරම්ද නොකරම්දෝ කියලා දෙගිඩියාවක වල්මත් වෙලා මාව පාවෙනවා..මගේ ඇස් දෙකේ ඇනි ඇනී මාවම දකිත්දිත් මං පිටුපාලා යන්න අඩිය ඉස්සුවා..වැහි හීතලට මගේ මොළේ හිරි වැටිලාද මන්දා...ගැස්සිච්ච පපුව දත් ඇඳිවලටත් වඩා වේගෙන් ගැහෙනවා...


"ඔහොම හිටපන්"


හ්ම්..පුංචිවටවත් වෙනසක් නැති මගේම හඬින් ඌ මට  කතා කලා..ඌ දිහා නොබලා උගේ හඬ කණට වැටෙන්න නොදී පය උස්සලා යන්න ශේෂ වෙලා තිබිච්ච චිත්ත ධෛර්යයේ අන්තිම බිංදුවත් ගුරු පාටට ගලාන යන වැහි වතුරත් එක්ක කලවම් වෙලා කාණුව දිගේ ඈතට ගහගෙන ගියා..


"මොකටද"

මගේ හදවතේ ගැස්ම මුවින් දොට්ට පැන්න  වචන වල ලාවට වගේ තැවරිලා තිබ්බද මන්දා..

"අපි කතා කරමු"


හෙවණල්ලක්වත් පේන්නෙ නැති තිත්ත කළුවරේ මේ හීතලේ ...උඹට පිස්සුද? මට යන්න දීපන්..පේන්නේ නැද්ද මිනිහෝ කුණාටුව එන්නයි හදන්නේ.." මම නොඉවසිල්ලෙන් කිව්වා.


 "පොඩ්ඩක් හිටපන්...ආයෙ අපි මුණ නොගැහෙන්නත් පුළුවන්" ඌ කිව්වා.


"ඒ මොකද?" මම ඇහුවා


"කුණාටුවෙන් උඹ මලොත්" බැරෑරුම් ස්වරයකින් ඌ කිව්වා. 


"මූසල තකතීරු කතා නොකියා පාරෙන් අයින් වෙයන්"


"උඹ දන්නවද? "


"මොකද්ද?"


“මට  ඈතට හමාගෙන යන්න ඕනි”


"උඹට පිස්සුද? විකාරද? උඹ කෝමද හමාගෙන යන්නේ? "


"මං හුළඟක් නිසා "


"නෑ උඹ හුළඟක් නෙවෙයි ඉතින් උඹ කෝමද හමාගෙන යන්නේ..මේ වැහි හීතලට උඹෙ ඔලු කට්ට ගල් වෙලා.උඹට මනෝ විකාර මැවෙනවා.. "


"උඹ මගේ කකුලෙන් අදිනවා..මං හුළඟක් තමයි..මට යන්න දීපන්..මට අර ඈත පේන ගස් කොලන් වල එතීගෙන හැපීගෙන යන්න දීපන්..ඔව් මං පාවෙලා යනවා..ඈතට ඈතට ඈතටම.. දුර පේන ක්ශිතිජයෙනුත් එහා අනන්තෙට..හෙමි හෙමීට පාවෙලා ගිහින් එක හුස්මට හැලමේ දුවනවා..ගිම්හානේ වේලිලා ගියපු අතු අගිස්සේ එල්ලිලා ඉන්න කොළ සේරෝම එක්කාසු කරගෙන දූලි වලා පීරගෙන ගහගෙන යනවා..කාන්තාර වැල්ලේ පුරාවටම හරි අපූරුවට රටා අඳිනවා..ඈත ගොඩ ගැහිලා ඉන්න වැලි කඳු උස්සාගෙන ගිහින් තවත් තැනකින් ඊටත් වඩා ලොකුවට උසට වැලි කන්දක් හදනවා..දකින හැමෝම කියාවි අන්න මහා වැලි කන්දක් කියලා..පෝලිමට හිටගෙන මූද දිහා අනිමිස ලෝචන කරන පොල් ගස් වල කරටි එක පෙලට නවාගෙන මං ඇදිලා යනවා.මන් බෝම සීරුවට සනීපෙට හමාගෙන යන මද පවනක් වෙනවා..හිතුවක්කාරෙට දබර කරන ඇට්ටර බොල් කඨෝර හුලඟක් වෙනවා...හැමෙදේම පොළවට සමතලා කරන් ඇදිලා යන මහ කුණාටුවක් වෙනවා..

එතකොට මිනිස්සු මට නානාප්‍රකාර නම් පට බඳීවි..මං ඈතට ඈතට ඇදිලා ගියාට පස්සෙත් මං ආපහු එනකන්ම මං ගැන කතා කරාවි.ගම් ගොඩේ ඉන්න වයසක උන්දෑලා ගිණි මැල වටේට ඇන තියාන මගේ පුරාජේරුව කියවද්දී පුංචි එව්වෝ ඇස් ගෙඩි දොබ ගෙඩි තරම් ලොකු කරගෙන කණ් දික් කරගෙන අහන් ඉදීවි.."


"උඹට පිස්සු..උඹ දවල් හීන දකිනවා"

මං දුවලා ගිහින් අත දිගෑරලා පුපුරු ගහන තරම් සැර අතුල් පාරක් උගේ කම්මුලට අතෑරියා...

"උඹ හුළඟක් නෙවෙයි මෝඩයෝ..මේ අහපන්....උඹ හිතුවට උඹ හතර අන්තෙටම හෑල්ලුවට පාවෙලා යන හුළං කෝඩයක් කියලා ඒක මායවක් විතරයි...උඹත් ගිණි මැලේ වටේ ඉඳන් මහා කුණාටුවේ විත්ති අහන නිකන්ම නිකන් පුංචි එකෙක් විතරමයි..ගිණි මැලේ එළියට උඹෙ ඇස් ගිණිකණ වැටිලා..මහා හුළගේ හපන්කම් අහන් ඉඳලම උඹේ ඔළුගෙඩිය ඇතුලටත් උඹ හුළඟක් කියන මෝඩ බූරු හිතුවිල්ලා රිංගගෙන..නැගිටපන්.නැගිටලා උඹේ අත් දෙකෙන්ම ඔය ඇස් ගෙඩි දෙක පිහ දාලා හොඳට ඇරල බලාපන්..නිවිලා යන ගිණි මැලේ දැල්වෙන්න දඟලමින් පණ අදින ගිණි පුපුරු එකින් එක මියදෙනවා උඹටම පෙනේවි.."


 "මේ යාළුවා.., මාව අතෑරපං..මට යන්න දීපං,,උඹටත් ඕනේ නැද්ද මාත් එක්ක ඔහේ ගහගෙන යන්න.ඔය මනස්ගාත අතෑරලා උඹත් වරෙන් මාත් එක්ක යන්න.මාව විශ්වාස කරපන් යාළුවා...මං හුළඟක් තමයි..මාත් එක්ක ඔහේ නිදහසේ ඉමක් කොණක් නැතුව ඈතින් ඈතට ගහගෙන යන්න උඹත් වරෙන්..උඹට තේරෙයි උඹ ජීවත් වෙනවා කියලා..හුස්ම වැටෙනවා කියලා..පපුව ගැහෙනවා කියලා..අයිලය මැදින් ඇවිදගෙන යන අල්තිනායිගේ රෝස පාටට ලේ පුරපු කම්මුලක් ඉඹින්න, පොප්ලර් ගහේ කඳන් වල එතිලා සිලි සිලි තාලෙට තනුවක් වයාගෙන ඈතට  ඇදෙන්න මගේ අතේ එල්ලිලා වරෙං.."


"නෑ.......... නෑ......... ඕක හීනයක් ..ඔය හීනෙන් නැගිටලා ඇස් ඇරලා බලාපන්..ඔහොම හිටපන් ..උඹට යන්න බෑ..නැවතියන්"


"නෑ මං හුළඟක්..මාව විශ්වාසෙ කරපන්..මං ඈතින් ඇදිලා එන මහ කුණාටුවේ අගිස්සේ පැටලිලා ගහගෙන යනවා ලොකේ පුරාවටම..මට යන්න දීපන්..."

"උඹටත් ලොකීගේ ආත්මේ වැහිලද..මේ තරමටම නාහෙට නාහන තරමේ හිතුවක්කාරකමක්..පිස්සු දොඩවන්නේ නැතුව මෙතනම ඉඳපන්.."


'අනේ දෙවියනේ..ආං බලාපන්..මහා කුණාටුව ඇදිලා යනවා උඹත් එක්ක වාදෙට පැටලිලා මට ඒක මග ඇරුණා..දැන් මට ආයෙමත් වෙන්නේ ගිණි මැලේ ලඟ වාඩි වෙලා ආයෙමත් මහ කුණාටුව එනකම් බලාන ඉන්න..අනේ උඹ මං කියපු දේ ඇහුවානම්.."


"මම නෙවෙයි උඹයි කොහෙදෝ ඉඳන් ඇවිත් මාව වාදෙක පටලවගත්තේ...ඒත් කමක් නෑ මේ අහපන්..දැන්වත් තෙරුම් ගනින්..උඹට යන්න බෑ ඔය අදහස අතෑරපන්..උතුරු හුළඟෙ කතාන්දර ඇහුව කිසිම කෙනෙක් පවනක්වත් උනේ නෑ..තේරුම් ගනින්"


"හ්ම්ම්..... මං යන්නම්...වැස්ස තුරල් වෙලා අහස පෑදිලා..."


"ඒත් උඹ ඔය කොහේද යන්නේ"


“ආපහු ගිණි මැලේ ලඟ ලී බංකුවට ...ඇස් ගෙවෙනකම් බලාන ඉඳලා හරි මං මහ කුණාටුවේ එල්ලිලා ගහගෙන යනවා..මේ වතාවේ නම් මං යනවා යනවමයි...”


Saturday, July 27, 2013

.....පියානෝවී.......(දෙවැනි දිගහැරුම..)

Posted Image

වැහි පොද නොවැටුණත් අහස බර කරගත්තු හීන් මන්දාරමක් දිගන්තේම පැතිරිලා ගිහිල්ලා.රාත්‍රිය පුරාවටම කඩා හැලුණු වරුසාවෙන් ශේෂ වුනු පිනි මුතු කැට පිසගෙන හමන් ආපු තෙත් හුළඟ කමිස කර අතරින් පපුව අස්සට රිංගගත්තේ මුලු සර්වාංගෙම හී ගඩු නංවමින්. මම ඝණ ලොම් කබායේ බොත්තම් කර මුලටම පියවා ගන්න ගමන්ම ඇඟිලි ටික පතුලේ ගෑවෙන තරමටම සක්කු අස්සට අත් දෙක ඔබා ගත්තේ නුහුරු හීතලෙන් බේරෙන්න හිතාගෙනයි.

හතර අතට අතු ඉති විහිද ගත්තු නමක් නොදන්නා මහ දැවැන්ත රුක් කදන් පේළියක් මැදිනුයි යුනි එකට යන්න පාර වැටිලා තිබුණේ.දළු කොල නොපෙනෙනා තරමටම ගහේ අතු ඉති වහගත්තු මේ නිර්නාමික මල් ගහේ පෙති හරි අපූරු ලා රෝස පාට පාවඩයකින් මුළු මාවතම හැඩ කරලා තිබුණා.මට ඉස්සර අපේ පන්තිය ඉස්සරහා මල් පුරෝගෙන සීරුවට උන්නු ඇහැළ ගස් පේලිය මතක් උනා..ඇහැළ ගස් පේළියත් අපේ පන්තිය ඉස්සරහින් වැටිච්ච තාර පාර දිගටම එකම එක දවසක්වත් වරද්දන්නේ නැතුව කහම කහ පාටින් කෝළම් රටා අඳිනවා.

නමක් නොදන්නවා උනාට මේ ලා රොස පාටට පාර පුරාවට විසිරිලා තිබිච්ච මල් පෙති පාගන්න මට මහ පුදුම තරමේ ලෝබකමක් හිතුනා..

විහඟයා හිටියනම් ආයෙ දෙකක් නෑ කියනවා " උඹට තියෙන්නේ නම මහම මහ ගෑණු හිතක් බං: කියලා..
ඉස්සර ඇහැළ මල් පෙති පාගන්න ලෝබයි කිය කිය මං ගස් ගෙම්බෙක් වගේ එහාට මෙහාට පැන් පැන ඇවිදිද්දී විහඟයා හැමදාමත් මට කිවුවේ ඔය කතාවම තමයි..

"සොබා දහමේ ලස්සන දකින්න ,විඳින්න ,ආදරේ කරන්න පුළුවන් ගෑණු හිතකට විතරක්ම නම් අනිවා ඩෙෆා උඹ හරි ඇති මචෝ..ඒත් යකෝ ඔය ඉන්න තරමක් පරිසර වෙදියෝ ඔක්කොම ගෑණු නෙවෙයිනේ බං..
මං හිනා වෙවී එහෙම කියද්දී විහඟය උගේ තඩි සපත්තුවේ අඩියට කහ මල් පෙති අහුරු අහුරු පිටින් පාගලා දැම්මේ මගේ මල ජනිත කරන්න හිතාගෙන වෙන්න ඇති..

"උඹලා අම්මා උඹට කුරුල්ලෙක් කියලා නම දැම්මට රජෝ උඹන නම් ගහකට වැලකට සතෙකුට මෙලෝ ප්‍රේමයක් තියන එකෙක් නම් නෙවෙයි.උඹට දාන්න තිබ්බේ විහඟ නෙවෙයි දෙව්දත්තර අජාසත්ත වගේ නමක්."

" අඩෝ මේ කසුපයා.., තොට බුදු කෙනෙක්ගේ නමක් තිබ්බා කියලා මෙතන බණ දෙසන්න තියාගන්නෙ නැතුව වැඩක් බලාගෙන පල ඩෝ යන්ඩ..තොට ඔච්චරම මහා කරුණාව පහල වෙලා නම් අර පහළ කැන්ටිමෙන් මෙගේ බඩ ඇතුලේ බල්ටි ගගහා සර්කස් පෙන්නන පණු නැන්දිලා මාමිලාට කිඹුලෙක් ප්ලේන්ටීයක් අරන් දීපිය..අනේ උඹයි උඹේ අසතු රුක් ප්‍රේමයයි."
"යකෝ ඇසතු කියන්නේ ඇහැළ ගහට නෙවෙයි හරකෝ..බෝ ගහට..මෙන්න මෙහේ වර තොගෙ බඩ පණුවොන්ට දොළ පිදේනිය පුදන්න..
මං පර්ස් එක ඇරගෙන අය වැය පිරික්සන ගමන් කැන්ටිම පැත්තට ඇදුනා...


හිතක් පපුවක් නැති අපාය සහයකයා කිය කිය කසුපයාට කොච්චර බැන අඬගැහුවත් මං කටුණායකින් එන දවසේ මහා හයියෙන් මාව බදාගෙන ඇඬුවෙත් මගේ ගෑණු හිතට විහිළු කර කර උගේ අප්‍රතිහත පුරුෂ ධෛර්ය ගැන මහා ලොකුවට පුරාජේරු දොඩවන විහඟයාම තමයි.මොනා උනත් අවුරුදු දොලහටම මගේ රූමා උනෙත් සහෝදරයා උනෙත් බඩ බැඳ ගත්තු කල්‍යාණ මිත්‍ර රත්නය උනෙත් විහඟයා විතරමයි.

..................................................................................................................................................................

ගඟක් අද්දර තිබ්බ යුනි එක වටේටම ගඟට මූණ දාලා මහා විසාල ගස් හෙවණ කරගෙන ලී බංකු හදලා තිබුණා.නගරෙන් ටිකක් ඈතට වෙන්න නිස්කලංක වටපිටාවක ගොඩනැගිච්ච යුනි එක නෙතට ගැටුණු පළමු ඇසිල්ලේම හිතට ඇති කලේ ලොකු පැහැදීමක්..ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් උනත් ඒ සඳහා ප්‍රවේශ හිමිකම ලැබුණේ නම් බොහොම අතලොස්සකටයි.ප්‍රවේශය සඳහා ලොකු තරඟයක් තියන තැනකට අප්පච්චී මුල් පුටුවේ හිඳීමේ වරප්‍රසාදයෙන් ඇතුල් වෙන්න ලැබුණත් මං හන්දා දක්ෂයෙකුට මං ඇහිරුණාදෝයි මගේ හිතේ මෝදු උනු පශ්චාත්තාපය හිත් කොණක ලොකු සන්තාපයක් ශේෂ කලා....
උස උල් උළු වහලවල් ,දිග පඩිපේළි තිබිච්ච පරණ තාලේ මෝස්තරේට හැදිච්ච වාසිටිය පුරාණ චීන පන්සලක් වගේ.ගෘහ නිරමාණ ශිල්පය හෝ වාස්තු විද්‍යාව ගැන මගේ දැනුම බිංදුවෙනුත් සෑහෙන පහල තිබුණත් ඒ බිත්ති පියස් මට චීන ජපන් ච්ත්‍රපටි වල තිබ්බ ආරාම පන්සල් මතකෙට ගෙනාවා..


සිසු පිරිස සීමිත හන්දමද කොහෙද මහා ලොකු කලබගෑනියක් වාසිටිය ඇතුලේ තිබුණේ නෑ.හැබැයි නා නා විද සංගීත සර හතර අන්තෙටම පාවෙලා ගියා.නිස්කලංක වටපිටාවත් හතර අතින් ඇහෙන වැයෙන සත්සර රාවයත් කුළුඳුලේම ඒ බිමට පය තියන ඕනෑම පිටස්තරයෙකුගේ හිත නිවන නෙතු සනහන දසුනක් උනා.එහෙව් අඩවියකට සරසවියගේ ඇල්ම බැල්ම නොවැටුණානම් ඒක මහම මහා ආශ්චර්යයක්....


මං කලිසම් සාක්කු දෙකේ දෑත් ඔබාගෙන කුසීත ගමනින් සරසවියේ සිරි අසිරි වින්දා..රූස්ස ලා රෝස මල් ගහක ආරුක්කු හැඩේකට නැවිච්ච අත්තක් පහලට ගලාන යන ගං දියට මල් පෙති ඉහිරවනවා..මං හෙමි හෙමීට ඒ පැත්තට ඇවිදගෙන ගියා.."රෝස මාර"....නමක් නොදන්න රූස්ස මල් ගහට මම මගේ මනාපෙට නමක් දුන්නා...
ගඟ අද්දරට වෙන්න හදලා තිබ්බ දිග ලී බංකුවේ කෙලවරකට වෙන්න ඉඳගත්තු මං ගං දිය දිගේ රෝස මාර මල් පෙති පාවී පාවී ඈතට ඇදෙනවා බලාන උන්නා..ඝණ සැරේට ගලාන යන දිය කඳ දිගේ කැරකි කැරකි පාවෙලා ගියපු මල් පෙති නෙත් මානෙන් ගිලිහිලා යනතුරුම ඔහේ බලා උන්නු මගෙ දැහැන ඇහෙන නෑහෙන නුහුරු ගැහැණු හඬකින් විසිරිලා ගියා.

"අන්යෝ"
බංකුවේ අනිත් කෙළවරටම වෙන්න වාඩි වෙලා උන්නු නාරි රුවක් ගෙල ඇල කරලා සුන්දර හිනා මල් පොකුරකින් මට දමලා ගැහුවා..හීන් දිගටි නෙත් යුවලත් ,කූරු දිගු වරලසත් ,රෝස කොපුලත් මට ජපන් බෝනික්කියෙක්ව සිහිපත් කළා..

"අන්යෝ"
"ජොනුන්..නොරිකෝ ඉම්නිදා..."
"ඉරමි මොයෙයෝ....."

නුහුරු බසකින් මොනවදෝ කියෝගෙන කියෝගෙන යන අගේ මුව දෙස ඇස් ඉහේ තබාගෙන බලා උන්නා අරුණුකොට ඇය කියූ මෙලෝ මලදානයක්වත් මගේ ඔලුගෙඩියට නම් වැටහුනේ නෑ..

"මේ මොන මරාලයක්ද?" මට ඉබේටම කියවුණා...

ඕ අයි ඈම් සොරි......අයි......

මට වාක්‍ය සම්පූර්ණ කරන්නවත් අගෙන් ඉඩක් නොවුණි.

"මම මරාලයක්වත් පරාලයක්වත් නෙවෙයි"අඩවන් නෙත් පියවෙන තරමටම අඩවන් වෙද්දී කොපුල් රතු වෙද්දී මට දබර ඇඟිල්ලත් උරුක් කරන ගමන් හොඳ පැහැදිලි උච්චාරනයෙන් මේ නොදන්න රටේ තරුණියක් සිංහල කතා කරද්දී මගේ ඇස් ගෙඩි දෙක නළලට නොවෙයි ඉස් මුදුනටම ගිහින් කණ් දෙකෙන් දුම් පිටවෙන්න ගත්තා..


"හත්වලාමයි මේ කෙල්ලට මං කියපු එක තේරුණා විතරක් නම් මදෑ යස අපූරුවට සිංහලෙන් උත්තර දෙනවත් එක්ක..සිංහල පාටක්වත් ගෑවිච්ච නැති කෙල්ලෙක් ඉපදිච්ච දා ඉදන් ලංකාවෙ වගේ කියවන්නේ කෝමද?"
මගේ යටි හිත උඩු හිතට ප්‍රශ්න පිට ප්‍රශ්න කොඳුරන්න පටන් ගත්තා.
"අනේ සමාවෙන්න ..මට වැරදිලා කියවුණේ..කියපු මුකුත්ම තේරුනේ නැති හන්දා.."
මං පුළුවන්තරම් විනීතව සුනීත සෝපාක බැගෑපත් බැල්මට මෝඩපහේ හිනාවකුත් එකතු කරලා සමාව භාජනයේ දමා වසනු මැනවි කියන්න සෙට් උනා.

"හ්ම්..ලංකාවේ නේද..?නම මොකක්ද..?"

"අහ්.... මම කසුප්..."

"කසුප් විතරමද? අග මුල මැද කෑලි නැද්ද?ඔහොමද නාඳුනන කෙනෙක් තමුන්ගේ නම ඇහුවම අඳුන්වලා දෙන්නේ...?

කෙල්ල කියාගෙන කියාගෙන කියාගෙනම යනවා..මලලසේකරටම ඔප්පුවෙච්චාවේ කිවුවලු..මං මේ බබා වෙන්න හදනවා නෙවෙයි..ඒත් පිරිමි ඉස්කෝලෙකට ගිහිල්ලා පන්තියේ පාඩුවේ සයිඩ් ගහන් ඉඳලා කෙල්ලෙක් එක්ක තියා විහඟයා ඇරෙන්න කොල්ලො හතර පස්දෙනෙක්වත් ආශ්‍රය නොකරපු මට තනි පංගලමේ කෙල්ලෙක් අතඩංගුවට අරන් මේ වගේ ප්‍රශ්න කරද්දී හීන් දාඩිය දාල එලොව පොල් විතරක් නෙවෙයි පුවක් එහෙමත් පේන්න පටන් ගත්තා..හපොඉයි දැන් නම් ජපන් බෝනික්කි වයින් කරලා අතෑරියා වගෙයි..මං ෆුල් ගට අරන් කට ඇරියා..

"අහ් සොරි...මං කසුප සිලිලාර සේනානායක..."

"ආ... ප්‍රොෆෙසර් සේනානායකගේ කවුරුහරිද...?"

"ඔව් ඒ මගේ අප්පච්චි..ම්ම් එතකොට ඔයා..?"

"අහ් මම කිම් නූරි නොරිකෝ වර්ණාසි.."

"වර්ණාසි..? ඒක නිකං අන්නාසි සන්නාසි වගේනේ.."

හිතුවිල්ල උපන් පමාවට ඒ ටික කිවුවේ මෙච්චර වෙලා ඇඹරී ඇඹරී උන්න කසුපයාමද කියලා හිතන පරක්කුවටත් කලින්ම වචන ටික කටින් දොට්ට පැන්නා..දැන් ඉතින අපහු ගිලින්නයැ....

"ඔව් ඉතින් කසුප් කියන නමේ කයන්න කැපුවොත් නිකන්ම නිකන් සුප් වගේ තමා"

නොරිකෝත් ගේම අතෑරියේ නැති හන්දා මම ශේප් එකේ සුදු කොඩි ඉස්සුවා..

"හ්ම්...දැන් ඔයාගේ නමේ භාෂා කීයක විතර නම් තියනවද?එතකොට..ඔයා ජපන්ද...?අර ඔයා මට කලින් කතා කරලා කියවගෙන කියවගෙන ගියේ මොනාද..?ඔයා කෝමද මෙච්චරටම හොඳට සිංහල කතා කරන්නේ..?"

වෙච්ච නෝන්ඩියෙන් ගැලවෙන්නත් එක්කම මාත් කෙල්ලට ප්‍රශ්න පත්තරයකින්ම දමලා ගැහුවා..මගේ අර සබකෝලෙද මොකද්ද එක ගඟට වැටිලා ගහගෙන ගිහිල්ලද කොහෙද..කිඹුලෙක්වත් ගිල්ලද දන්නේ නෑ..


"අම්මෝ..ඒ හැර මේ හැර තවත් ප්‍රශ්න තිබේද..?අඹ පැනය නෑ පැනය එහෙම තව ඇහුවෙත් නෑ නේද..?"

හුටා පටෝරියා..අම්මට සිරි කිවුවලු...මේ ජපන් බෝනික්කි දැන් අඹ පැන නෑ පැන ගැනත් අහන්න පටන් අරන්...

" ඕන්න ඉස්සෙලාම කිවුවා මම ජපන් නම් නෙවෙයි.."
"කිම් කියන්නේ මගේ වාසගම..නූරි කියන්නේ මට තාත්තා දාපු නම"..
"එතකොට ඔය දෙකමයි මගේ තාත්තයි කියන තුනම කොරියාවේ..."
"නොරිකෝ වර්ණාසි කියන්නේ මගේ අම්මා දාපු කෑල්ලක්ලු..නොරිකෝ කියන ජපන් නමටයි වර්ණාසි කියන සිංහල නමටයි අම්මා ගොඩක් ආසා කලාලු.."
"මගේ අම්මා ලංකාවෙ සුද්ද සිංහල,,ඒකයි මට මෙච්චර හොඳට සිංහල පුළුවන්.."
"එතකොට මං කියන්නේ ලංකාවටත් කොරියාවතත් ජපානෙටත් නැති කලවමියක්.."

හ්ම්.. නොරිකෝ එක හුස්මට දිග හෑල්ලක් කියගෙන කියාගෙන ගියා..

"හ්ම්.. නෑ අපි මෙහෙම කියමු...කොරියාවත් ජපානෙත් ලංකාවත් අතරමැද ඉන්න අති විශේෂ පිස්සු මරාලයක්...කල්වමීට වඩා පිස්සු මරාලෙ හොඳයි මං හිතන්නේ.."

මං එහෙම කියද්දී නොරිකෝ එයාගේ පුංචි ඇස් තවත් පුංචි කරලා ලස්සනට හිනා උනා...අතෝරක් නැතුව ඔහෙ කියවන මේ නාඳුනන කෙල්ල එක්ක හරි හරියට දොඩමළු වෙන මං ගැන මටම පුදුම හිතුනා..මේ නොදන්න භූමියට පය තිබ්බට පස්සේ කුළුඳුලේම මාත් එක්ක දොඩමළු වෙච්ච මේ කලවම් කෙල්ල හරි ඉක්මනටම මාහ් එක්ක මිතුරු උනේ මටත් මගේ හිතටත් හාංකවිසියක්වත් නොදැනීමයි...