Monday, November 2, 2015

බොඳ වෙච්චි අකාහේ යට



අමාවක ආකහේ
සීතල කලුවරට
උණුහුම් වෙච්චි පපුව
දිඩි දිඩි ගාල ගැහෙද්දි
මං ආදරේ පුරෝගෙන
උඹ ලඟට ගුලි උනා...
එතකොට උඹ කිවුවා
එක තරුවක් නැති ආකහේ
මොන ලස්සනක්ද කියලා...
ඊටත් පස්සේ හැන්දෑවක
තරු ඉහිරිච්ච ආකාසේ යට ඉඳන්
මං ආයෙමත් වතාවක්
උඹේ ළඟ ගුලි ගැහෙද්දී
උඹ කිවුවා චැහ්.. 
වලාකුළකට වැහිච්ච
හඳක් ඇති ආකාහෙන් ඇති
පලේ මොකද්ද කියලා...
මුළු ආකාසෙම වහගෙන
පාළොස්වක හඳ
දිස්නේ දිදී විළිස්සද්දී
මං ආයෙමත් වතාවක් උඹේ 
උරපත්තට වාරු උනා..
ඒ වතාවේ උඹ කිවුවේ
එක තරුවක්වත් නැතුව
ආකාසේ පිරෙන්න
හඳ විතරක් තිබ්බම
මහාම මහ අජූතයි කියලා..
පස්සෙන් පහු එකමත් එක හවසක
අපි ගෑවී නොගෑවී
කොටු පවුර දිගේ ඇවිදිද්දී
ගණ නිල් ආකාහේ පුරාවට
පායපු හඳ පලුවක් වටේට
තරු අහුරක් ඉහිරිලා තිබ්බා..
මං හරි විස්වාසෙන් උඹේ 
ඇඟිලි බදලා ගුලි කරගත්තා
මේ කිසි පිළිවෙලක් නැති අහසට වඩා
අමාවක අහස කොච්චර නිස්කලංකද
උඹ අන්තිමට එහෙම කිවුවා..
ඇසිල්ලකට විතරක්ම උඹේ අත්ලට ගුලිවෙලා
අතෑරිලා නියපොතු කෙරෝලක 
එල්ලිච්ච උණුහුම් ඇබින්ද
මං මොකොවත්ම නොකියා 
රහසේම මිට මොළොව ගත්තා..
ඒත් ඒ වෙද්දිත් 
හුළඟේ ඉහිරිලා ගියපු
සුසුම් අහුර ගිලිහෙන්න නොදී 
අල්ලගන්න මට වාරු නැති උනා...
අයෙත් වතාවක් මං 
බොඳ වෙච්චි අකාහේ යට
ආයේ ආයේ වල්මත් වෙන්න 
අකීකරු හිතට හොඳටම තඩි බාලා
අමාරුවෙන් උනත් කැමති කරවගත්තා..