Monday, July 29, 2013

මට එරෙහිව මම (ME vs ME)


කුඩේකට ඔරොත්තු නොදෙන තරමේ මුරුගසන් වරුසාව හිස් මුදුනේ ඉඳන් පා ඇඟිලි කෙළවර වෙනකම්ම තෙතබරියම් කරලා..කොහෙදෝ ඉඳලා ගහගෙන ආපු ඇට්ටර හුළං කෝඩෙකට අහු වෙලා දෑතින් ගිලිහිච්ච කුඩය අඩි කීපය ඈතට වීසි වෙලා ගියා.දැනටමත් අමුතුවෙන් තෙමෙන්න ඉඩක් නොතියාම බකිරිත්තමෙක් වෙලා උන්නු හන්දා මං ආපහු නොහැරී අඩිය ඉක්මන් කලා.හුළඟ එන්න එන්නම මුරණ්ඩු වෙනවා.අඹරෙමින් කැරකෙමින් පෙරළි කරන රුක් කඳන් වල අතු ඉති ඉඳලා හිටලා ආකාසේ දෙදරවමින් පුපුරලා කඩා හැලෙන විදුලි එලි එක්ක මුහු වෙලා හොල්මං රූප අඳිනවා...අනෝරා වැස්සයි  දඟර ගැහිලා ගහගෙන  එන  හුළං පාරයි කුණාටුවක නිමිති කියනවද මන්දා..කොඳු නාරටිය දිගේ ඇට මිඳුලු වලට යනකම්ම ගල් ගැහිලා පා සුලැඟිලි නිය තුඩක් වෙනකන්ම හිරි වැටිච්ච සරීර කූඩුව, දත් ඇඳි සට සට ගාල වදින තරමට වෙවුලනවා...මොකෙක් හරි ඇවිත් ඉහේ ඇහේ ඇනුණත් නොපෙනෙනා තරමටම පට්ට තිත්ත ඝණ කළුවරක් මූසල පාළුවකුත් එක්ක කලවම් වෙලා වීදියේ හැම අහු කොණක්ම ගිල දමලා..අන්ධකාරය මැදින් මොකෙක්දෝ ඇවිත් මගේ ඇඟේ හැපුනා...  


ආකාසේ දෙබෑ කරගෙන පුපුරලා හැලුණු හෙන පාරේ එළියෙන් මං උගේ මූණ දැක්කා...එකදු රේඛාවකවත් කෙස් ගහක තරම්වත් වෙනසකට ඉඩක් නොදී මගේ නෙත් ඉදිරියේම හුස්ම වැටෙන, ඇහි පිල්ලම් ගහන මාවම , මම දැක්කා. ඇහිබැම, ඇස් , මූණ , කට, නහය ,අත් පා පපුව හැම රෝම කූපයකම කිසිම අඩුවක් නැතුව කන්ණාඩියෙන් මං මාව දුටුවටත් වඩා පැහැදිලිවට ඌ මං දිහා එක එල්ලේම බලාන උන්නා.. වෙනෙකක් තියා වම් කම්මුල් කෙළවරේ තිබුණු උපන් ලපයත් ඒ විදියටම දකිද්දී නෙත් අදහා ගන්න බැරුව හෘදය මොහොතකට ගල් ගැහුණා.. අදහන්න අපහසු උනත් උත්ප්‍රාසයෙන් පිරුණු මදහසක් දෙතොල් කෙළවරක අලවගෙන "මම" මං දිහාම බලාන උන්නා..හත් දෙයියනේ.. අන්ධකාරය මැදින් ජීවිතේ පළමු වතාවට, මුහුණට මුහුණ, මට මට මාවම මුණ ගැහිලා...කතා කරම්ද නොකරම්දෝ කියලා දෙගිඩියාවක වල්මත් වෙලා මාව පාවෙනවා..මගේ ඇස් දෙකේ ඇනි ඇනී මාවම දකිත්දිත් මං පිටුපාලා යන්න අඩිය ඉස්සුවා..වැහි හීතලට මගේ මොළේ හිරි වැටිලාද මන්දා...ගැස්සිච්ච පපුව දත් ඇඳිවලටත් වඩා වේගෙන් ගැහෙනවා...


"ඔහොම හිටපන්"


හ්ම්..පුංචිවටවත් වෙනසක් නැති මගේම හඬින් ඌ මට  කතා කලා..ඌ දිහා නොබලා උගේ හඬ කණට වැටෙන්න නොදී පය උස්සලා යන්න ශේෂ වෙලා තිබිච්ච චිත්ත ධෛර්යයේ අන්තිම බිංදුවත් ගුරු පාටට ගලාන යන වැහි වතුරත් එක්ක කලවම් වෙලා කාණුව දිගේ ඈතට ගහගෙන ගියා..


"මොකටද"

මගේ හදවතේ ගැස්ම මුවින් දොට්ට පැන්න  වචන වල ලාවට වගේ තැවරිලා තිබ්බද මන්දා..

"අපි කතා කරමු"


හෙවණල්ලක්වත් පේන්නෙ නැති තිත්ත කළුවරේ මේ හීතලේ ...උඹට පිස්සුද? මට යන්න දීපන්..පේන්නේ නැද්ද මිනිහෝ කුණාටුව එන්නයි හදන්නේ.." මම නොඉවසිල්ලෙන් කිව්වා.


 "පොඩ්ඩක් හිටපන්...ආයෙ අපි මුණ නොගැහෙන්නත් පුළුවන්" ඌ කිව්වා.


"ඒ මොකද?" මම ඇහුවා


"කුණාටුවෙන් උඹ මලොත්" බැරෑරුම් ස්වරයකින් ඌ කිව්වා. 


"මූසල තකතීරු කතා නොකියා පාරෙන් අයින් වෙයන්"


"උඹ දන්නවද? "


"මොකද්ද?"


“මට  ඈතට හමාගෙන යන්න ඕනි”


"උඹට පිස්සුද? විකාරද? උඹ කෝමද හමාගෙන යන්නේ? "


"මං හුළඟක් නිසා "


"නෑ උඹ හුළඟක් නෙවෙයි ඉතින් උඹ කෝමද හමාගෙන යන්නේ..මේ වැහි හීතලට උඹෙ ඔලු කට්ට ගල් වෙලා.උඹට මනෝ විකාර මැවෙනවා.. "


"උඹ මගේ කකුලෙන් අදිනවා..මං හුළඟක් තමයි..මට යන්න දීපන්..මට අර ඈත පේන ගස් කොලන් වල එතීගෙන හැපීගෙන යන්න දීපන්..ඔව් මං පාවෙලා යනවා..ඈතට ඈතට ඈතටම.. දුර පේන ක්ශිතිජයෙනුත් එහා අනන්තෙට..හෙමි හෙමීට පාවෙලා ගිහින් එක හුස්මට හැලමේ දුවනවා..ගිම්හානේ වේලිලා ගියපු අතු අගිස්සේ එල්ලිලා ඉන්න කොළ සේරෝම එක්කාසු කරගෙන දූලි වලා පීරගෙන ගහගෙන යනවා..කාන්තාර වැල්ලේ පුරාවටම හරි අපූරුවට රටා අඳිනවා..ඈත ගොඩ ගැහිලා ඉන්න වැලි කඳු උස්සාගෙන ගිහින් තවත් තැනකින් ඊටත් වඩා ලොකුවට උසට වැලි කන්දක් හදනවා..දකින හැමෝම කියාවි අන්න මහා වැලි කන්දක් කියලා..පෝලිමට හිටගෙන මූද දිහා අනිමිස ලෝචන කරන පොල් ගස් වල කරටි එක පෙලට නවාගෙන මං ඇදිලා යනවා.මන් බෝම සීරුවට සනීපෙට හමාගෙන යන මද පවනක් වෙනවා..හිතුවක්කාරෙට දබර කරන ඇට්ටර බොල් කඨෝර හුලඟක් වෙනවා...හැමෙදේම පොළවට සමතලා කරන් ඇදිලා යන මහ කුණාටුවක් වෙනවා..

එතකොට මිනිස්සු මට නානාප්‍රකාර නම් පට බඳීවි..මං ඈතට ඈතට ඇදිලා ගියාට පස්සෙත් මං ආපහු එනකන්ම මං ගැන කතා කරාවි.ගම් ගොඩේ ඉන්න වයසක උන්දෑලා ගිණි මැල වටේට ඇන තියාන මගේ පුරාජේරුව කියවද්දී පුංචි එව්වෝ ඇස් ගෙඩි දොබ ගෙඩි තරම් ලොකු කරගෙන කණ් දික් කරගෙන අහන් ඉදීවි.."


"උඹට පිස්සු..උඹ දවල් හීන දකිනවා"

මං දුවලා ගිහින් අත දිගෑරලා පුපුරු ගහන තරම් සැර අතුල් පාරක් උගේ කම්මුලට අතෑරියා...

"උඹ හුළඟක් නෙවෙයි මෝඩයෝ..මේ අහපන්....උඹ හිතුවට උඹ හතර අන්තෙටම හෑල්ලුවට පාවෙලා යන හුළං කෝඩයක් කියලා ඒක මායවක් විතරයි...උඹත් ගිණි මැලේ වටේ ඉඳන් මහා කුණාටුවේ විත්ති අහන නිකන්ම නිකන් පුංචි එකෙක් විතරමයි..ගිණි මැලේ එළියට උඹෙ ඇස් ගිණිකණ වැටිලා..මහා හුළගේ හපන්කම් අහන් ඉඳලම උඹේ ඔළුගෙඩිය ඇතුලටත් උඹ හුළඟක් කියන මෝඩ බූරු හිතුවිල්ලා රිංගගෙන..නැගිටපන්.නැගිටලා උඹේ අත් දෙකෙන්ම ඔය ඇස් ගෙඩි දෙක පිහ දාලා හොඳට ඇරල බලාපන්..නිවිලා යන ගිණි මැලේ දැල්වෙන්න දඟලමින් පණ අදින ගිණි පුපුරු එකින් එක මියදෙනවා උඹටම පෙනේවි.."


 "මේ යාළුවා.., මාව අතෑරපං..මට යන්න දීපං,,උඹටත් ඕනේ නැද්ද මාත් එක්ක ඔහේ ගහගෙන යන්න.ඔය මනස්ගාත අතෑරලා උඹත් වරෙන් මාත් එක්ක යන්න.මාව විශ්වාස කරපන් යාළුවා...මං හුළඟක් තමයි..මාත් එක්ක ඔහේ නිදහසේ ඉමක් කොණක් නැතුව ඈතින් ඈතට ගහගෙන යන්න උඹත් වරෙන්..උඹට තේරෙයි උඹ ජීවත් වෙනවා කියලා..හුස්ම වැටෙනවා කියලා..පපුව ගැහෙනවා කියලා..අයිලය මැදින් ඇවිදගෙන යන අල්තිනායිගේ රෝස පාටට ලේ පුරපු කම්මුලක් ඉඹින්න, පොප්ලර් ගහේ කඳන් වල එතිලා සිලි සිලි තාලෙට තනුවක් වයාගෙන ඈතට  ඇදෙන්න මගේ අතේ එල්ලිලා වරෙං.."


"නෑ.......... නෑ......... ඕක හීනයක් ..ඔය හීනෙන් නැගිටලා ඇස් ඇරලා බලාපන්..ඔහොම හිටපන් ..උඹට යන්න බෑ..නැවතියන්"


"නෑ මං හුළඟක්..මාව විශ්වාසෙ කරපන්..මං ඈතින් ඇදිලා එන මහ කුණාටුවේ අගිස්සේ පැටලිලා ගහගෙන යනවා ලොකේ පුරාවටම..මට යන්න දීපන්..."

"උඹටත් ලොකීගේ ආත්මේ වැහිලද..මේ තරමටම නාහෙට නාහන තරමේ හිතුවක්කාරකමක්..පිස්සු දොඩවන්නේ නැතුව මෙතනම ඉඳපන්.."


'අනේ දෙවියනේ..ආං බලාපන්..මහා කුණාටුව ඇදිලා යනවා උඹත් එක්ක වාදෙට පැටලිලා මට ඒක මග ඇරුණා..දැන් මට ආයෙමත් වෙන්නේ ගිණි මැලේ ලඟ වාඩි වෙලා ආයෙමත් මහ කුණාටුව එනකම් බලාන ඉන්න..අනේ උඹ මං කියපු දේ ඇහුවානම්.."


"මම නෙවෙයි උඹයි කොහෙදෝ ඉඳන් ඇවිත් මාව වාදෙක පටලවගත්තේ...ඒත් කමක් නෑ මේ අහපන්..දැන්වත් තෙරුම් ගනින්..උඹට යන්න බෑ ඔය අදහස අතෑරපන්..උතුරු හුළඟෙ කතාන්දර ඇහුව කිසිම කෙනෙක් පවනක්වත් උනේ නෑ..තේරුම් ගනින්"


"හ්ම්ම්..... මං යන්නම්...වැස්ස තුරල් වෙලා අහස පෑදිලා..."


"ඒත් උඹ ඔය කොහේද යන්නේ"


“ආපහු ගිණි මැලේ ලඟ ලී බංකුවට ...ඇස් ගෙවෙනකම් බලාන ඉඳලා හරි මං මහ කුණාටුවේ එල්ලිලා ගහගෙන යනවා..මේ වතාවේ නම් මං යනවා යනවමයි...”


4 comments:

  1. මේක කියවනකොට මට ගොඩක් දේවල් හිතෙනවා... ඊටත් වඩා දැනෙනවා... කොහොම උනත් මේ ශෛලියට නම් මම හරිම කැමතියි..

    ReplyDelete
  2. ලියපු ශෛලීය නම් පට්ට.. ඒත් විසිරිලා යන හැඟීම් සමුදායක් අතොරක් නැතිව ලිව්වා වගේ තේරුනා.. අනේ මන්දා මන් තේරුම් ගත්තා හරිද කියලා...

    ReplyDelete
  3. මමත් මේකට හරිම ආසයි.

    ReplyDelete
  4. මේක නියමයි කියන්නේ.. නියමෙටම නියමයි...

    ReplyDelete