Monday, July 15, 2013

.....පියානෝවී.....

පාන්දරම ගැබ්බර වෙච්ච ආකාහෙන් හෙමි හෙමීට මල් වැහි ඇද හැලෙන්න පටන් අරන්. ලාවට ගලාන යන හීන් මීදුමත් එක්ක චුරු චුරු ගගා කාඩගෙන වැටෙන තෙතබරියම් වැස්සට මං කවදත් ආසයි.මං හීතලට ගල් ගැහිච්ච ජනෙල් පළුවට කම්මුල තද කරගෙන ඈත කන්දෙන් එහා හීනියට පාට වෙච්ච දේදුන්නේ හැඩ බැලුවා.පේළියට ඇදිච්ච පාට රේඛා තෙතබරියම් වළකුළු උඩ හරි අපූරුවට පාට තවරලා රටා ඇඳලා තිබ්බා.

පැය කීපයක දීර්ඝ ගුවන් ගමන තෙහෙට්ටුවටත් වඩා මාව ප්‍රබොධමත් කළා.ගත වෙලා ගියපු පැය කීපය මට බලන්න , විඳින්න වගේම හිතන්න දේවල් බොහෝමයකුත් ඔලුව අස්සට පුරවල දාලා නොදැනීම ගෙවිලා ගියා.අවුරුදු දොලහක්ම හුදෙකලාව ගෙවිලා ගියපු පාළු ජීවිතෙට විරාමයක් තියලා මේ ලොකේ ඉන්න සමීපතම මගේම කියන්න පුළුවන් එකම එක ප්‍රාණියා එක්ක අළුතෙන් ආයෙමත් ජීවිතේ පටන් ගන්න මුළු හිතින්ම එකලස් වෙලයි මං කටුනායකින් පිටත් වෙලා ආවේ.මේ දවස උදා වෙනකම් මහා දෙගිඩියාවක් හිත අස්සේ පුරෝගෙන මං මගේ ජීවිත කාලෙන් භාගෙකටත් වඩා මඟ බලාන උන්නා.


හද්දා වැහි වහින මූසල හැන්දෑ වරුවක කළු පාට ලොකු කුඩයක් යට ගල් ගැහිලා අම්මාගේ සොහොන් කොත දිහා බලාන උන්නු ඇල්මැරුණු හිස් සීතල ඇස් දෙක තමයි අප්පච්චි ගැන මගේ හිතේ ඇඳිලා ශේෂ වෙලා තිබුණු අවසාන මතකය.ඒ මගේ අටවෙනි උපන්දිනේ දවසේ... එදායින් පස්සේ මගේ ජීවිතෙට ආපහු නොයෙක් දින උදා උනත් ඒ දින අස්සේ උපන් දිනයක් කියලා දිනයක් කොතනකවත් ඉතුරු වෙලා තිබුණේ නෑ..


ඒ මහා අසනිපාත වැහි කළුව අස්සේම අප්පච්චිත් බොඳ වෙලා ගිහින් තිබ්බා.හැමදේම අතෑරල දාලා , තමුන්ගේම ලෙයින් ජනිත කළ මාව පවා මේ මහ පොළොව උඩ තනිකරලා දාලා අප්පච්චි කොහේදෝ තිබුණු දුරු ඈත රටක හැංගිලා ගියා. අප්පච්චිව මේ පොළොව උඩට ඇදගෙන බැඳගෙන තියා ගත්තු එකම බැඳීම අම්මා.. ඉදින් ඒ බැම්ම කඩා බිඳ දාලා අම්මා නේන ගමනක් ගියාම හිස් වෙච්ච අප්පච්චිගේ හිතටත් මේ මහ පොළොව උඩ පැලපදියම් වෙන්න තරම් එකලාසයක් තියෙන්න නැතුව ඇති.


මං අවුරුදු අටේ ඉදන් බෝඩිං පාසලක නිත්‍ය සාමාජිකයෙක් වුනා.අම්මගේ අප්පච්චිගේ උණුහුම අහිමි වෙලා සීතල බෝඩිං කාමරේක කට්ට කළුවරේ තනි වෙලා ජනේලයට එපිටින් හෙලවෙන අතු කොළ ඉති වල හෙවණැලි වලට පවා බිරන්තට්ටු වෙලා දත කට පූටු කරන් ඇහි පියන් තද කරගෙන කොට්ටේ බදන් නිදා ගන්න වලි කාපු පළවෙනිම දවසේවත් මාව මෙහෙම තනි කරලා දාලා ඈත ගියපු අප්පච්චි ගැන මගේ හිත් කොණකවත් තරහක් උපන්නේ නෑ.


මට අම්මා අප්පච්චී හැරුණු කොට මේ ලොකේ මගේ කියන්න කිසිම ඥාතියෙක් දැනගෙන උන්නේ නෑ.එහෙම කෙනෙක් කවම කවදාකවත් අපේ ගෙදරට ගොඩවැදිලා තිබුනෙත් නෑ.


"සුදු අප්පච්චියෝ ,සූට්ටං පුතුට නෑදෑයෝ නැද්ද? නෑදෑයෝ කෝ?.... "


මං හෝඩියේ පන්තියේ දී නෑදෑයෝ ඇඳලා පාට කරන් එන්න ගෙදර වැඩ දීපු දවසක අප්පච්චීගේ ඔඩොක්කුවට වෙලා තොඳොල් වෙවී හුරතල් වෙද්දී අහපු ඔය ප්‍රශ්නේ තමා නෑදෑයෙක් ගැන මං අප්පච්චිගෙන් ප්‍රශ්න කරපු පලවෙනි සහ අවසාන වතාව.


"මගේ සූට්ටං සත්තලන් පුතු පැටියට සුදු අප්පච්චියයි , සුදු අම්මියයි හිටියාම මදිද ?අපි දෙන්නා තමයිනේ වස්තුවේ ඔයාගේ නෑදෑයෝ..."


ඉතිං පන්තියේ හැමෝම සීයලා ආච්චීලා මාමලා නැන්දලා බාප්පලා පුංචිලා මෙකී නොකී නෑදෑ සනුහරයක් පෝලිමට ඇඳගෙන එද්දී මං මගේ කොලේ පිරෙන්න අම්මවයි අප්පච්චිවයි සිත්තම් කරලා පාට කරලා උජාරුවෙන් ඉස්කෝලෙට උස්සාගෙන දිව්වේ පුදුම තරම් සන්තෝසෙකින්.
ඇත්තටම මගේ ගෙදර ආදරේ පිරිලා ඉතිරිලා තිබුණා..මං මේ ලොකේ දැකපු ලස්සනම ආදරේ තිබුණේ මගේ අම්මාගෙයි අප්පච්චීගෙයි ලඟ...


"සුදු අම්මියෝ... කාටද අම්මියා වැඩිපුරම ආදරේ ?
 "

මං කොයි වයසක ඉදගෙන ඔය ප්‍රශ්නේ ඇහුවත් මගේ අම්මා ගාව ඉතිරි වෙලා තිබුණේ එකම එක උත්තරයයි..

"සුදු අප්පච්චියාගෙන් පස්සේ මගේ සත්තලන් පුතු පැටියට"
ඇත්ත අම්මා වැඩිපුරම ආදරේ කළේ අප්පච්චිට..ඒ ඇස් අස්සේ ආදරේ ඇරෙන්න පුංචිම පුංචි නෝක්කාඩු බැල්මක් කවමකවදාකවත් ගෑවිලාවත් තිබුණේ නෑ.මගේ අම්මා කවදාකවත් කොට්ටයක් උඩ ඔලුව තියන් නිදා ඉන්නවා මගේ ජීවිතේටම මං දැකලා තිබුණේ නෑ.අප්පච්චිගේ උරපත්ත තරම් සනීපයක් අම්මට පුළුං කොට්ට වලින් හොයා ගන්න බැරි වෙන්න ඇති.


ඉතිං ඒ ආදරේ එක පාරටම හොරු අරං ගියා වගේ අතුරුදහන් උනාම අප්පච්චිට දරාගන්න මහා ගොඩක් අමාරු විත්තිය ඒ පුංචිම වයසේ දී පවා මට තේරුම් ගියා.ඒ හන්දම වෙන්න ඇති කවම කවදාකවත් අප්පච්චී ගැන අබ අටයක් තරමේ කේන්තියක්වත් , මං තනිවුනු එක ගැන පුංචිම හරි දුකක් පසුතැවිල්ලක්වත් මගේ හිත් මුල්ලකවත් උපන්නේ නැත්තේ.......


"කසුප්....... එන්න කෑම කන්න...."

මගේ හිතුවිලි දැහැන විසිරිලා ගියේ කාමරේ දොර අද්දරින් ආව අප්පච්චිගේ කටහඬත් එක්ක...අප්පච්චි හුඟක් වයසට ගිහින්.හයේ හතරේ ආරෝහ පරිණාහ දේහයේ හැඩ හුරුකම් එහෙන් මෙහෙන් ශේෂ වෙලා තිබුණත් නොකැපූ රැවුල් කොට සුදු වෙලා ගියපු කොන්ඩ ගස් වයසටත් වඩා වියපත් බවක් ඒ ශරීර කූඩුවට අරං ඇවිත් තිබ්බා..

බටර් ,මාමලේඩ් ,සොසේජස් ,ඔම්ලට්, ලොකුම ලොකු ටෝස්ට් පිඟානකටත් පස්සේ දුම් දමාගෙන මේසෙට ආපු කළු කෝපි කෝප්පයේ අවසාන උගුරත් ගිල දානකම් මට ඉස්සරහා පුටුව උඩට වෙලා රූකඩයක් වගේ හැම දේම ගිල දමාපු අප්පච්චී නිහඬ බව බිඳින්න කිසිම දෙයක් කිවුවේ නෑ. හැඳි , ගෑරුප්පු , පිහි විතරක් පිඟන් වල හැපි හැපී කතා කලා.


"කසුප් මාත් එක්ක අමනාපෙන්ද..?"

සූට්ටං පුතු කියන්න ලොකු වැඩි හන්දද නැත්නම් ඒ නම මතකයෙන් ගිලිහිලා ගිහිල්ලා හන්දමද මං දන්නේ නෑ අප්පච්චී දැන් මට මගේ නමින්ම කතා කරන්න පටන් අරන්..අප්පච්චීගේ කටින් කසුප් කියලා ඇහෙද්දී නුහුරක් දැනුනත් මං හෙමීට ඇස්පියන් උස්සලා අප්පච්චී දිහා බලලා

"අනේ නෑ අප්පච්චී..." කිවුවා.

සුදු අප්පච්චියෝ කියන්න මගේ දිව නැමුණත් සූට්ටං පුතු වගේම සුදු අප්පච්චියත් අතීත මතකයන් අස්සේ අඳුරු මුල්ලක ආපහු එන්න බැරි විදියටම ජීවිතාන්ත සිර දඬුවමකට යටත් වෙලා තිබුණා.

"කසුප් ඉස්සරහට මොනාද කරන්න හිතාගෙන ඉන්නේ?"


ඉවරයක් නැති හිතුවිලි හිත අස්සේ හොල්මං කරනවා.ඇත්තට ඉස්සරහට මොනා කරන්නද කියලා මගේ හිතේ කිසිම පැහැදිලි අදහසක් නෑ.ඉස්කෝල ජීවිතේ අහවර වෙනකොටම මේ අවුරුදු දොළහටම අප්පච්චිගෙන් ආපු එකම ලියුම් කඩදහිය විශ්වාස කරන් මෙහාට ආව මිසක් එතනින් එහාට මොනා කරන්නද කියලා අදහසක් ලාවටවත් මගේ හිත් කොණක ගෑවිලා තිබුණේ නෑ.ඉතින් පාන් කුඩු අරන් ගෑරුප්පුව දිගේ ගාටන කූඹියෙක් දිහා අනිමිසලෝචනේ දාන අහු අස්සේ අප්පච්චි අපි දෙන්නා අතර තිබ්බ නිහඬ ව්‍රතය බිඳින්න කටහඳ අවදි කළා


"කසුප් , අද මං ඉන්නේ මේ රටේ තියන ප්‍රසිද්ධම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මුල් පුටුවේ...මං පිළිගන්නවා අවුරුදු දොළහක්ම කසුප්ව ලංකාවේ තනිකරලා දාල ඉඳලා මෙච්චර කල් ඔයා තනියම තීරණ අරන් ගත කරපු ජීවිතේට එක පාරටම මේ විදියට බලපෑම් කරන එක වැරදියි කියලා..ඒ වගේම කසුප්, ඔයා මාව තෙරුම් ගනී කියලා මං විශ්වාස කරනවා........."


අප්පච්චි දිගටම කතා කලා.අවුරුදු දොළහකට පස්සේ ඒ ගෙවිච්ච අවුරුදු දොළහටම තමුන්ගේම අප්පච්චිගේ ජීවිතේ සිද්ධ උනේ මොනාද ,එයා කරන්නේ කියන්නේ මොනාද කියන එක ගැන පුංචිම හරි හෝඩුවාවක් ලැබුණේ අදයි..මේ දැනුයි..
හ්ම්..... එහෙනම් අප්පච්චි මියුසික් අතෑරලා නෑ..ඉස්සරෝම දවසක මැද සාලේ ඉදන් ගෙයි හැම අහු කොණකටම පාවෙලා ගියපු අප්පච්චිගේ පියානොවේ සද්දෙයි අම්මාගේ කිංකිණි කටහඬයි ගෙදර පුරාම පුරෝලා තිබුණු සංගීත භාණ්ඩයි අතීත මතක අහුරක මගේ හිත දැහැන් ගත කළා.එහෙනම් අප්පච්චී අදටත් සප්ත ස්වර අස්සේ හැංගිලා තිබ්බ අම්මාගේ මතකයන් එක්ක ජීවත් වෙනවා.එයා එයාගේ ආදරේ අදටත් ජීවත් කරවන්නේ එහෙමයි...මේ තරම් කාලයක් ගතවෙලා ගිහිල්ලත් ජීවිතේ හැමදේම අතෑරියත් මියුසික් අතනෑරියේ අම්මගේ හිතේ එයාලගේම කියලා සංගීත පාසලක් පටන් ගන්න තිබිච්ච හීනේ හන්දා වෙන්න ඇති.තමුන්ගේම නොවුනත් අද අප්පච්චී නන්නාඳුනන රටක සංගීත පාසලක මුල් පුටුවෙනේ...


"මං කැමතියි කසුප් මෙහේ ඉදන් තමුන්ගේ උපාධිය සම්පූර්ණ කරනවට..ඒ වගේම මේ විශ්වවිද්‍යාලේ ගුරු මණ්ඩලයටම අනාගතේ දී එකතු වෙනවටත්.. මේ ගැන කසුප්ගේ විරුද්ධත්වයක් නෑ කියලා මං හිතනවා.. මං හරි නේද කසුප්? "

මගේ හිතේ හිතුවිලි එක පිට එක පොදි ගැහිලා 
මතක අහුරු පීරද්දී අහම්බෙන් වගේ කණ වැකුණු අප්පච්ච්ගේ කතාවේ අන්තිම පේළි දෙක අහුලගත්තු මං බිම බලා ගෙනම

"ඔව් අප්පච්චී.... , අප්පච්චිගේ කැමැත්තක් " කිවුවා.
දිග හුස්මක් හෙලන ගමන් සංවාදය අවසන් කරලා කෑම මේසෙන් නැගිටලා ගියපු අප්පච්චී ආපහු පුරුදු විදියටම එයාගෙ අඳ ගොළු බිහිරි ජීවිත කටුව අස්සට රිංග ගත්තා.


ගෙවුණු අවුරුදු දොළහා වගේම ඉදිරි ජීවිත කාලයත් අනාථ කොල්ලෙක් වගේ තට්ට තනියම ගෙවලා දානවට වඩා මේ වහල යට ඉදන් ඕන මළ මංගල්ලයක් කරන්න මගේ හිත තනි පයෙන් මනාප වෙලා උන්නා.ඒ හැමදේටමත් වඩා සංගීතේ කියන්නේ මට අම්මාගෙන් අප්පච්චීගෙන් ලැබුණු ඇට මිඳුළු වල ඉදන් ශරීර කූඩුව අස්සේ දුවන හැම ලේ බිංඳුවක් බිංඳුවක් ගානේම ගෑවිලා තිබුණු උප්පත්ති දායදයක්.. ඒ හන්දා අප්පච්චීගේ යෝජනාවට මනාප මිස අමනාප වෙන්න මට කියලා කිසිම හේතුවක් තිබුණේ නෑ.. 

  • 0

7 comments:

  1. හිටිය මුඩ් එකත් එක්කද නැත්තන් යටි හිතේ කිදා බැහැලා තියෙන ආසවද මන්දා එක පාරට අළු යට හැංගිලා තිබුන ගිනි පුපුරක් වගේ මගේන් මගේ ආත්මෙන් නොපෙනි පාවි පාවි තිබුන මගේ කියලා මට තිබුන ඒ අරමුණ අයේ දළු දාන්න ගත්තා. ස්තුතියි අචිනි මට අමතක උන මාව අයේ මතක් කලාට.

    ReplyDelete
  2. සංගීතේ ඔබයි මමයි ලබලා දෙන්නේ අමා සැපයි !
    පස්ට පස්ට බුබුළු අක්කේ !
    ආයේ කියෙව්වා :D

    ReplyDelete
  3. ඔයා මේක පේස්ට් කරන්නේ වෙන තැනකින් ගෙනැල්ල නේ. ඒක නිසා ස්පේස් වල අවුලක් තියෙනව. ඒකෙන් කියවීම අපහසුයි. අපිත් ඉතිං වැඩ රාජකාරි ගොඩාරියක් කරන අයනේ. ඡේද අතර ස්පේස් හෙම තියල හදල දෙන්ටකෝ අපිට පොඩ්ඩක් පහසු වෙන්න.. පේස්ට් කරාට පස්සේ අවශ්‍ය තැන වල මැනුවලි ස්පේස් තියන්න.. හොද ළමයා වගේ..

    ReplyDelete
    Replies
    1. දේශා හරි

      එක හුස්මට කියවාගන යන්ඩ තරං රස ලියවිල්ල අපරාදේ පේලි පැටලෙන හන්දා නීරස වෙනවා. ඔයා තව ටිකක් දෙබස් එකතු කරන්න පුළුවන් . ( දෙබස් වලින් කතා රසය ඉස්මතු වෙනා )

      Delete
  4. දවස් දෙකක් විතර ඔට්ටු වෙලා කියෝ ගත්තා :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. හෆෝයි කොමෙන්ට් බලන්න උනු පරක්කුව අස්සේ වෙලා තියන සන්තෑසියක්..අනේ සමාවෙන්න ඔනේ ඔන්න කසියගේම නේත්තරා වලට දුන්නු දස වදේට...ඕන්න මං ඡේද වෙන් කලෝ... කස්ටියටම තැන්කූ වේවා හොඳේ....

    ReplyDelete