Friday, July 5, 2013

මා දැන් මහලු වියේ....

   දොහක් දෙකක් තිස්සේ එක දිගටම   ඇදගෙන වැටිච්ච මුරුගසන් වරුසාව ඩින්ගිත්තකට තුරල් කෙරුවා.ඒ උනාට මොකද තාමත් යාන්තමට පොද වැටෙනවා.ඇරලා තිබුනු ජනෙල් පියනෙන් හිරිකඩ කමරේ ඇතුලටත් ගහනවා..වැහි හීතලට ශරීර කුඩුවේ ඇට මිදුලු ටිකත් ගල් ගැහිලා ගොහින්ද කොහෙද හීන් ඇම්මක් කොදු ඇට පේලිය දිගේ ඇදුම් කනවා.මම බස්තම ජනේල කොක්කේ අමුනලා ඇදලා අරන් ජනෙල් පියන අඩවල් කලා.හිතේ හයියට උන්නට දැන් ඉස්සර දවස් වල වාගෙ අතට පයට වාරු නෑ.හීතලට දවල් දවසෙ තිස්සෙම ඇදටම වෙලා ගුලි ගැහිලා උන්නට මොකද අද දවසටම බත් කටක් බඩට දාගන්ට ඇහැක් උනේ නෑ.හිස් බඩටම බේත් පෙති ගිල දමාපු හන්දද කොයිද උගුර දැවිල්ලයි හොදටෝම.දවසටම නොකාපු හන්දා මොනාහරි බඩට දාගන්න හිතාන මන් හෙමි හෙමීට ඇදෙන් බිමට අඩිය ගැහුවා.බිම අයිස් කැටේ වාගේ හීතලයි.වැහි බීරුම හන්දා අද වෙනදාටත් වැඩිය කලියෙන් බිම් කරුවල  රින්ගගෙන මුලු ගේම අන්ධකාරයි.කෑම උයලා පිහලා ගේ සුද්ද බුද්ද කරලා දාන්න එන කුසුමි කෙල්ලත් අද වේලපහින්ම යන්න ගොහිල්ලද. කොහෙද.වරුසාව හන්දා වෙන්ටෑ ඒකිත් කල් තියාම පැල් කොටේට රින්ගගන්ට දුවන්ට ඇත්තේ..



මන් බිත්තිය දිගේ අත පත ගාලා ස්විච් එක හොයාන ලයිට් එක දැම්මා.අඩමානෙට වහලේ එල්ලිලා හිටපු බලුබ් එක ගැහිලා ගැහිලා අන්තිමේදි පත්තු උනා.ඌටත් මේ හීතලේ එලි පත්තු කොරන්ට කම්මැලි හිතිලා වෙන්ටෑ.බිත්තිය දිගේම ගලාගෙන ගිය වතුර පාරෙ හැඩේට පුස් වලින් රටා බැදිලා.කාමරෙන් වැටිච්ච මලානික එලිය දිගේ මන් හෙමීට කුස්සිය දිහාවට ඇදුනා.අඩි දෙක තුනක් යනකොටම මොකක්දෝ පය ගැහිලා රෝල් වෙලා ගියේ සීතල වතුර පාරකින් කකුලත් තෙමාගෙනමයි.ආ...වහලේ දෙතුන් පොලකින්ම තෙමෙන හන්දා කුසුමි කෙල්ල ගෙයි හරියෙ තියන බේසම් ,මුට්ටි ,බාල්දි සේරෝම තෙමෙන තැන් වලට තියලා.අර කමකට නැති රිලව් රෑන නටලා ගෙයි වහලේ උළු ටික බිදලා කියලා තේගිසා පෙරේදාට පළමුදාත් දෙඩුවා.මේ මාසෙ පැන්ශොන් එක හම්බ උනාම ඌට කියන්ට ඕනේ බිදිච්ච උලු කැට ටික මාරු කරලා දාන්ට කියලා.


බඩේ ගින්දරට කන්ට කියලා ආවට මොකද හැලි වලන් ඇරලා බැලුවම කන්ට කියලා හිතේ තිබ්බ පිරියත් හේදිලා ගියා.බැදුම් වල උඩ තෙල් මිදිලා..හොදි හීතල වෙලා..අයිස් කුට්ටිය වගේ බත් හැලියත් හීල් වෙලා වේලිලාම ගිහින්. උණු උණුවේම තේ කහට ඩින්ගිත්තක් බොන්ට තිබ්බානම් හොදයි කියලා හිතුනා.වැස්සත් තුරල් කරපු හන්දා හන්දියේ පැත්තේ ගිහින්  කහට කෝප්පයක් බීලා රෑට කන්න මොනාහරිත් උණු උණුවේම ඇන්න ආවා නම් පන්කාදුයි.මන් කබායත් දාගෙන ඉස්සරහා දොරත් අඩවල් කරගෙනම මගට බැස්සා.හිරිකඩ වැහි පොදේටයි හීල් හුලගටයි පිට කොන්ද කීරි ගැහෙනවා.දෙතුන් පොලකම අණ්ඩ දාලා තිබ්බ කබායට දැන්  හීතලත් එක්ක ඔට්ටු අල්ලන්ට හයිය හත්තිය මදි.ලොකු පුතයි පොඩි කෙල්ලයි විඩෙන් විඩ ගෙනත් දීපු අලුත් කබා , කම්බිලි , පොරොනා අල්මාරි තට්ටු වල දත් විලිස්සගෙන උන්නත් පරණ කබායට පයින් ගහලා අලුත් එකෙක්ව ලන් කර ගන්ට හිත් දුන්නෙ නෑ.කබාය මගේම එකෙක්ටත් වඩා දැන් මට ලෙන්ගතු වෙලා.ඉතින් මන් කොමෙයි ඌට පිටු පාන්නේ.


සයිමාගේ නයිට් කඩේට ගොඩ වෙන හිතාගෙන ආවට හන්දිය කිට්ටු වෙදිදී ඒ හිතුවිල්ල වෙනස් වෙලා හෙමීට තැබෑරුම පැත්තට ඇදුනේ මේ වැහි හීතලට ඇග රත් වෙන්න ලාවට මොනා හරි දා ගත්තනම් හොදයි කියලා හිතුන හන්දා.මන් හෙමීට ලී බන්කුව උඩ පස්ස තියලා මේසෙට වාරු උනා.අද තැබෑරුමේ හරි සෙනග.බොන ජාති හපන ජාති ඇන්න කලබලේට එහේ මෙහෙ දුවන කොලුවාට තැබෑරුමේ කොනක උන්නු මාව තාම ඇහැ ගැටුනේ නෑ මයෙ හිතේ. තැබෑරුමේ කාල ගෝට්ටිය  හිතේ ශාන්තිය බිදලා දානවා වගේ.කාමරේ අස්සටම රින්ගගෙන ඉන්න හන්දද කොහෙද මිනිස්සු දහ පාලොස් දෙනෙක්ගේ සද්දේ උනත් එක පාර උහුල ගන්ට නාකි මට දැන් අමාරුයි.ඉන්තේරුවෙන්ම මන් මේ ආපු ගමනට සුදු හාමිනේ නම් ඩින්ගිත්තක්වත් මනාප වෙන එකක් නෑ.එක අතකට ශරීර කූඩුව රත් කොරන්ට වඩියකට දෙකකට  ඇහැක් උනාට තට්ට තනියම පාළුවට ගල් ගැහිලා ගිහිල්ලා තියන හදවත උණු කොරන්ට ගිණි වතුර කොප්ප සීයකටවත් බැහැ නොවැ.මන් හෙමීට නැගිටලා සයිමාගේ කඩෙන් තේ කහට කෝප්පයක්ම බොන්ට හිතාන ආපහු හැරුනා.


"අන්කල් මොනාද ගේන්නේ?"


වේටර් කොල්ලා මන් නැගිටින්න හදද්දිම මගෙන් ඇහුවා.මන් ඌගේ මූන දිහා බලලා ඔලුව වනලා ආපහු ආවා.


"මෑන්ස්ට දැන් නට් ලූස් වගේ'


කොල්ලා එතන උන්නු කාත් එක්කදෝ කියවනවා මට ලාවට වගේ අහුනා..


මන් සයිමාගේ කඩෙන්  ප්ලේන්ටීයකුත් බීලා රෑට කන්න ඉදිආප්ප කොත්තුවකුත් ඔතාගෙන පිටත් උනා.අඩි දෙක තුනක් ඉස්සරහින් මල් කුඩයක් යට තුරුල් වෙලා නාඹර ගැටයෙකුයි ගැටිස්සියෙකුයි මුකුළු කර කර අත්වැල් පටලන් යනවා.උන් දෙන්නට නම් වරුසාව නිසාවත් අන්ධකාරෙ නිසාවත් අඩිය ඉක්මන් කොරන්ට අදහසක් නෑ වගේ.මන් උන් දෙන්නව පහු කරගෙන ඇවිත් ගෙට ගොඩ උනා.දූවිලි බැදිලා තිබ්බ වෑර්ලස් එක උඩින් පල්ලෙන් පිහ දාලා වෙලද සේවයට කරකවලා බස්තම් පොල්ලත් අයිනකින් හිටවලා හාන්සි පුටුවට වාරු උනා.


මිදුල කෙරවලේ වතුසුද්ද වැටට  එහා පැත්තේ පාරේ අදුරු හෙවනැලි දෙකක් වගේ පා උනෙ අර ගැටයයි ගැටිස්සියි වෙන්ටෑ..මායි සුදු හාමිනේත් ඔහොම ගුලි ගැහිලා ගියපු කාලයක් තිබ්බා.වාසිටියේ කහපාට මල් පිරිච්ච මාර ගහ යට ගල් බන්කුවේ ගුලි ගැහිලා අපි කොච්චර නම් දේවල් කතා කරාද.රාසිගේ අවුව සුදු හාමිනේගේ කම්මුල් වල පාට තවරාපු හැටි බලාන ඉදිල්ල නම් මට කිසි දවසක ඇති උනේ නෑ.වාසිටියෙන්  අවුට් වෙලා ටික කලෙකින්ම මට හා පුරා කියලා කොළඹ කන්තොරුවක රස්සාවක් ලැබුනා.උඩරට වලවුවක එකම ගෑණු දරුවා වෙච්ච සුදු හාමිනේව අම්මෙක් අප්පෙක් නැති අනාථ කොල්ලෙක්ට දෙන්න සුදු හාමිනේලාගේ අප්පච්චිලා මනාප උනේ නෑ.දවසක් දා මාලිගාව වදින්ට ආපු වෙලාවක මගේ අතේ එල්ලිලා පුන්චි කෙල්ලෙක් වගේ කොළඹ ආපු සුදු හාමිනේ එදායින් පස්සේ ආපහු වලවුවට ගියේ නෑ.අපි කච්චේරියට ගොහිල්ල කසදේ රෙජිස්ටාර් කෙරුවා.වාසිටියේ අපිව හිච් කරපු තිස්සයයි පද්මයයිම කසාදේදිත් අපේ සාක්කි කාරයෝ උනා..මාල, හවඩි, කූරු ,නොදාම සුදු සේල නෑදම  සුදු හාමිනේ සින්නක්කරම මගේ උනා.එදා ඉදන් මට උන්නු එකම නෑයා සුදු හාමිනේ තමයි.


ඊට පස්සේ කොච්චරනම් දේවල් වෙනස් උනාද.කුලී ගේක ඉන්න ගමන් ගඩොලින් ගඩොල එකතු කරලා සුදු හාමිනේයි මායි මේ ගෙදර බිත්ති ඉස්සුවා.එතකොට ලොක්කා සුදු හාමිනේගේ බඩට ආවා විතරයි.පොඩ්ඩි හම්බවෙද්දි අපි මේ ගෙදර පදින්චියට අවිදිල්ලා අහවරයි.ඊට පස්සෙ ජීවිතේ වගේම මේ ගෙදරත් විඩෙන් විඩ වෙනස් උනා.දරුවෝ උස් මහත් උනා.කරකාර බැන්දා.දේශ දේශාන්තර වල පදින්චියට ගියා.විඩෙන් විඩ අපිවත් බලන්න නාවම නොවෙයි.ඒ ආපු හැම ගමනකදිම අපි දෙන්නටත් උන් එක්කලා යන්ට අඩ ගැහුවා.එත් නොදන්නා දීපෙක අන්තිම හුස්ම ඩින්ගිත්ත අතාරින්ට සුදු හාමිනේ මනාප උනේම නෑ.ලොක්කයි පොඩ්ඩියි ගමනින් ගමන පාස් පොත් වලට කාසි දැම්මා.ඒත් ඒ කාසි පාස් පොත් වලම පැටවු ගැහුවා විතරයි.පැන්ශොන් පඩිය සුදු හාමිනේටයි මටයි හොදටෝම සෑහුනා.ඒ කාසි කවදාහරි උන්ටම ගියාවේ...


පහුගිය අවුරුද්දේ බක් පෝය දා මට අද වාගේ මතකයි.වෙනදාට උදේ රෑයින්ම නැගිටින සුදු හාමිනේ එදා ඔලුව ඉස්සුවේම නෑ,සුදු හාමිනේගේ ඔලුව මගේ පපුව උඩම හීතල වෙලා ගිහිල්ලා තිබුනා.අත පය දරදඩු වෙලා.සුදු හාමිනේ මගේ හදවතේ කෑල්ලක්ම කඩාගෙන මගේ පපුවට තුරුල් වෙලාම නේන ගමන් ගොහිල්ලා...උන්දෑගේ මිනිය සතියක්ම තියගෙන උන්නා.දරුවෝ දෙන්නා රට ඉදන් එනකම්.උන්ට වුවමනා විදියට කටයුතු කාරනා සිද්ධ කොරන්ට මන් බාධා කොළේ නෑ.එත් මන් මයෙ සුදු හාමිනේව වත්ත කෙරවලේ පේන මානෙක භූමදාන කරවාගත්තා.සුදු හාමිනේ මන් නතුව එක රාත්තිරියක්වත් තනියම ගෙයින් පිටමන් වෙල ඉදලා නෑ.ඉතින් මන් කොමේයි මයෙ සුදු හාමිනේව තනි පන්ගලමේ සෝන් පිට්ටනියක දමලා එන්ට හිත එකලස් කොර ගන්නේ..


හත් දොහේ දානෙත් අහවර උනාට පස්සේ ලොක්කයි පොඩ්ඩ්යි දෙන්නා ආපහු උන් එක්ක යන්ට මට අඩ ගැහුවා.මන් කොමේ මේ ගේයි සුදු හාමිනේවයි දාලා යන්නේ..ඉතින් මන් යන්ට බෑ කිවුවා.වචනයක්වත් දොඩන්නැතුව  හාන්සි පුටුවට ඇලවිලාම උන්නා.දීග ආපු දොහේ ඉදන් හුස්ම ඇබින්ද යනකම්ම මාව තනි නොකරපු මේ පොළොව උඩ හිටපු එකම මනුස්ස පරාණේ තමා සුදු හාමිනේ.ඉතින් මන් කොමෙයි උන්දෑව තනි කොරාලා යන්ට හිත එකලස් කොර ගන්නේ..දරුවෝ ආපහු ගියා.ගෙදර වැඩ කටයුතු ටික කුසුමි කෙල්ලට පන්ගරාත්තු කොරලා යන්ටම ගියා.උන්ටත් උන්ගේ ලෝකවල වැඩ රාජකාරි නැතෑ.


වැස්ස නැවතිලාම ගිහිල්ලා..ආකාහේ පෑදිලා මොදු වෙච්ච හදේ එලිය වලකුළු දිගේ පොළොවට බේරෙනවා.සුදු හාමිනේගේ සොහොන් කොත සද වතුරෙන් නෑවෙනවා.මන් හෙමි හෙමිට සොහොන් කොත දිහාවට අදුනා..මුරුගසන් වරුසාව හන්දා දෙදොහක්ම ඒ දිහාවට යන්ට බැරි උනා.ඈත සුදට සුදේ ඔසරියකුත් පටලවාගෙන සුදු හාමිනේ හිනවෙනවා පෙනවා..උන්දෑ මේ රෑ කොහේ යන්ටද ...හිත පුදුම තරමට හෑල්ලු වෙනවා දැනුනා.කීරි ගැහෙන පිට කොන්දේ රුදාවයි කකුල් කෙඩෙත්තුවයි වාශ්ප වෙලාම ගොහිල්ලද කොහෙද.ශරීර කූඩුව ආපහු තිරිහන් වෙලා වගේ.මන් හෙමි සීරුවේ ඈතට ඇවිදන් ගියා.ඇවිදිනවාටත් වඩා ඒක හරියට පාවෙනවා වගේ.මට නිකමට වගේ ආපහු හැරිලා ගේ දිහා බලන්න හිතුනා.හවස ඇන්න ආපු ඉදිආප්ප කොත්තුවට බළල් තඩියා හොට ගහනවා.හිටගෙන උන්නු බස්තම් ලීය දොර හරහාට ඇදගෙන වැටිලා.මට ආපහු යන්න බෑ හිතුනා.සාලේ මැද තිබුනු වෑර්ලස් එකෙන් අමරදේව මහත්තයගේ කටහඩ පාවෙලා එනවා ඈතට ඇදිලා යන ගන්ධබ්බයාට ඇහුනා....




“ කබාය ඉරිල ඊට කමක් නෑ


කවුරු දකින්නද


කවුරු බලන්නද


මා දැන් මහලු වියේ


මා දැන් මහලු වියේ…..”



3 comments:

  1. ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete
  2. ඉස්තූති වේවා සුදු නංගෝ....

    ReplyDelete
  3. ඇස් වලට කඳුලු ආවා බුබුලු අනේ මන්ද ඇයි කියල....මේ චරිතය මගෙ ජීවිතෙත් ඉන්නවා....ඒ කියන්නෙ මම මැරුනොත් මං වෙනුවෙන් මෙහෙම ඉන්න කෙනෙක්!! ඒත් මම???

    ReplyDelete