Saturday, July 20, 2013

මළ මඟුල් ආදරේ...


කඳුලු බිංඳු මොර ගෙඩි වගේ ඇස් අගිස්සෙන් පොරකාගෙන කඩාගෙන වැටෙනවා.ඇස් කොන් ඇදුම් කනවා.සන්තානෙම හිස් වෙලා.හිත ඔහේ පාවෙනවා.පපුව පසාරු කරගෙන පිහි තුඩක් ඉහළ පහළ යනවා වගේ.මතකයන් වණයක් වෙලා වද දෙනවා.හිතත් ඒ අස්සටම රිංගගෙන කුණු වෙවී පැහැවන්න දගලනවා.ළඟින් ඉදලා වාශ්ප වෙලා ගියපු උණුහුම , සෙනෙහස විතරක් නෙවෙයි ඉඳහිට කේශානත්යේ ඉදන් පා සුලැඟිලි අගිස්ස වෙනකම් ගිණියම් කරපු රාගී ස්පර්ශයට පවා හිත හීනෙන් වගේ ඉව කරනවා.දුක පුරවාපු ඊයම් බරුවක් පපුවේ ගැඹුරුම පතුලකට කිඳාගෙන ගිහින්.කොච්චරවත් ඇදලා එලියට දාන්න හැදුවත් හෝද හෝද මඩට බහින්නා වාගේ හිත අස්සේම එරෙනවා.ඇස් ඉස්සරහපිට රූප පිට රූප මවන ඉස්සරෝම දවසක මතක අහුරු පොදි දිහා බලාන හිත් පොඩ්ඩ විඳිමින් විඳෝනවා.......ජීවිතය ඇයි මෙච්චරටම හිස්?හැල්මේ දුවාපු ලෝකෙම මන්දගාමී වෙලා කැරකෙනවා.නුරුස්නාව ඉහ මුදුනටම ගහලා.උදාවෙන හැම දවසක්ම පැහැවලා ගඳ ගහන තුවාලයක් වගේ...වණයක් දදයක් කුශ්ටයක් වගේ.ඇදුම් කනවා.ගැඹුරු පාතාලෙකට ඇදගෙන යනවා වගේ.බඩ ගාගෙන තුවාල කරගෙන කටු පඳුරු වල එල්ලිලා කපාගෙන සූරගෙන නියපොතු කඩාගෙන උඩ කෙළවරට කිට්ටු කළාම ආයෙමත් අඳුරු අගාදෙටම ඇදිලා යන්වා.හමාගෙන එන හුලඟ පවා කටෝරයි වගේ.රුක් කඳන් අතු ඉති පොළොව උඩ සිත්තම් කරන හෙවණැලි පවා මුසලයි......බෑ...දැන් ඇති..මේ ඇති හොඳටෝම ඇති.......

ඒත් බූමරන්ගයක් වගේ ඈතකට ගුලි කරලා විසික්කරලා දාපු මතක හිතුවිලි, පර්වත වගේ ඝනකම් වෙලා කැරකිලා ආයෙමත් ඇවිත් ඔලු කට්ටම වදිනවා.තුත්තිරි වගේ හිත් රෙද්දේ ඇලිලා දස වද දෙනවා..හරියට හිත තුත්තිරි ගාලක් අස්සට රිංගගෙන වගේ.දහයක් ගලවද්දී සීයක් ඇලෙනවා.චිත්තප්‍රීතිය ප්‍රබෝදය ඇබින්දන් බින්දුවක්වත් නැතිවෙන්න උරා බීලා..හරියට කූඩැලි ගුලියකට පය ගැහුවා වගේ.මේ ඇට්ටර හිත තමා හැම මඟුලකටම මුල..විඳින්නත් මුල.විඳවන්නත් මුල..ආදරේ ආදරේ කියලා බදලා මිරිකලා අල්ල ගත්තා..දැන් ඉතින් කටු ඉඹුලක් බදා ගත්තා වගේ විඳෝනවා.විඳවපන් තව විඳවපන්..ඇලීම් දුකක් බැඳීම් දුකක් කියල දැන දැනම අලවගෙන බන්ඳගත්තා නම් විඳවන්නම වෙනවා.ඒත් දැන් විඳවිල්ලත් විඳිල්ලක් වෙලා

..හිත අරා පැතිරිච්ච අන්ධකාරෙත් හීනි රහක් දැනෙන්න පටන් අරන්..අන්ධකරයා ඔහේ උගේ පාඩුවේ ඉන්නව..මගේ පැත්තකට වෙලා.මට ඌ පන්නන්නත් ඔනේ.ඒත් ඔහේ පාඩුවේ වැටිලා ඉන්න ඌත් එක්කම ඉඳලා ඉඳලා දැන් ඌ නැතුව කෝම ඉන්නද හිතෙනවා.තිත්ත කටෝර පාළු මූසල අන්න්ධකාර හිතුවිල්ලා ටත් මං දැන් ප්‍රේම පුරන්න පටන් අරගෙනද කොහෙද..ලැජ්ජ නැති හිත..මූම තමා පණ පිටින් මාව ගඳ ගහන මතක වගුරේ ගිල්ලන්න හදන්නේ...ඔද්දල් වෙච්ච හිත් පොඩ්ඩ වංකගිරි හතක අතරමං උනා වගේ.සහන් එළියක් කියලා ලං උනාට මං නිකන්ම නිකන් පුහු එළියකට ගිණිකණ වැටිලා මද්දකට පැන්නා.

ඇතුල් ලෝකේ,පිට ලොකේ,දෙකම කවලම් උන මගේ ලොකේ මේ තුන් ලොකේම ඉන්න සුරයො අසුරයො එක්ක ඔට්ටු අල්ලල මට දැන් හොඳටෝම හති..තවත් අඩි බාගයකට තරම්වත් පය උස්සන්න හයියක් සුලැඟිලි කෙළවරකවත් ඉතිරි වෙලා නෑ..මුළු සර්වාංගෙම අවසඟ වෙලා ගිහිල්ලා.වංකගිරි මතක දුමාරෙක හිත පැටලිලා අතරමං වෙලා...දවස් ගණන් , සති ගණන් කුසීත සුව විඳන් ගුලි ගැහෙන්න හිත පුදුම තරම් පෙරේත වෙලා....සත පහකින් හතරෙන් පංගුවක් තරම්වත් මේ විඳවිල්ලෙන් කාටවත් වැඩක් නෑ.ඒත් ඇයි තවමත් මට මේ වනයම කොණහ කොණහ විඳවන්න ඕනේ.යථාර්තයට පය ගන්න බැරි ඇයි?අලුත් ඉරක් හඳක් යට හුස්ම ගන්න , ආයෙමත් පාරක් ලෝකෙම ලස්සන දකින්න බැරි ඇයි ?වැහි හීතලට අගු පිලකට ගුලි ගැහෙන කුක්කෙක් වාගේ මේ උලවු හිත කට්ට අස්සටම රිංගන්නේ ඇයි?

ඇයි ඇයි ඇයි ඇයි...................දැන් මට ඇති වදේ හොඳටෝම ඇති...........මළ මඟුල් ආදරේ...

11 comments:

  1. ආදරේ.... වේලාවකට මී පැණි වගේ වේලාවකට කරවිල වගේ. හිත සනසන වගේම හිත වනසන ආදරේ. හ්ම්ම්...

    ReplyDelete
  2. සකෝ බළලෝ ආදරේට ගිය කලක්...

    ReplyDelete
  3. හැබෑම තමයි ඔහොමයි ආලේ හැටි... මටත් කියා ගන්ඩ බැරුව හිටපු ටිකක් ආයේ නෑ ලුණුදෙහි එක්කම කියලා තියෙනවා.

    \\"කොච්චරවත් ඇදලා එලියට දාන්න හැදුවත් හෝද හෝද මඩට බහින්නා වාගේ හිත අස්සේම එරෙනවා.ඇස් ඉස්සරහපිට රූප පිට රූප මවන ඉස්සරෝම දවසක මතක අහුරු පොදි දිහා බලාන හිත් පොඩ්ඩ විඳිමින් විඳෝනවා."\\

    බොහොම හරි....

    ReplyDelete
  4. දමලා ගහලා නිකා ඉඳපන් බං අක්කේ :D එක වරක් ඔබට මා සිංදුව දාගන්න ;)
    [ මේකේ මේ සුදු පාට transparent එක නැති කලා නම් කියලා හිතෙනවා. මටනම් ටිකක් අමාරුයි වගේ කියවන්න background image එක පේන නිසා. ] ජය !

    ReplyDelete
  5. ආදරය මළ මඟුලක් බව
    ඔබ කීමට ද පොරොතු ව
    මා හොඳින් දත් බව
    දතිමි මේ කියවූ පසුව...

    ජය වේවා!

    ReplyDelete
  6. ආදරේ කියන මාතෘකාවට මමනම් තාවකාලික තිත් හතරක පහක්ම තියලා ඉන්නේ . හැක හැක .

    ReplyDelete
  7. ආදරේ කියන්නේ කියල කියවල ඉවර කරගන්න බැරි අමුතුම ආකාරයක දෙයක් ::: ඔයා කියපු දේට මමත් එකගයි..// "මල මගුල් ආදරේ "

    ReplyDelete
  8. ආදරරේ විතරක් නෙවෙයි ජීවිතේ හැම දෙයක්ම ඔය වගේ තමයි... ප්‍රශ්නේ තියෙන්නේ අපි එවා දිහා බලන විදිහ නංගි....

    ReplyDelete
  9. හම්මේ මේකනම්!

    ReplyDelete