Friday, October 10, 2014

කළු ලේ පාට සුදු පරෙවියෝ




අලු වලාකුළු අතරින්

සිත්තමක් වූ රිදී රේඛාවේ

ගෑවි ගෑවි දේවදුන්නක් අහලින්

තටු සිඳුනු මුත් පියා සලයි 

කළු පාට සුදු පරවියෝ

ලේ පාට සුදු පරෙවියෝ

නූලෙන් ගිලිහුණ පාට සරුංගල්

ඔහේ පාවි ඉපිළී

කිමිදෙනවා හිස් අහසේ

සන්තකයට තටු ශේෂ නොවුනු මුත්

උන් ඉගිලෙනවා අහසේ

ඉමක් කොණක් ගැන වගක්වත් නැති අහසේ

කුණාටු හුළගින් කඩා හැලුණු තටු 

පිරිමදිමින් මද පවන හමනවා

මුඩු බිම් ඉද්දර තැන තැන හොරාට

ඇකිලුණු මල් පොඩි දෑස් අරිනවා

සුසුම් ඇබින්දක කඳුලක් රහසේම තවරා

අලුත් ලොවට අපි හැල්මේ දුවනවා

Saturday, August 16, 2014

ප්‍රශ්න...

ප්‍රශ්නයක් දෙකක්
අනිච්ඡානුගවම 
ඉගිලුණාට ඉද හිට
ඔලූ කට්ටටම වැදුනද
සෑහෙන්න රිදුනද
හිතේ සාමේ හෙල්ලුණාද
ලාවට....
හිතුවේම ඔලූ කට්ට
හිල් වෙන්න දග දාලා
දමා අතෑරියා කියලද
හිතලම
ඒත් එහෙම නෑ 
දන්නවද.........
ඉද හිටවත් විසි නොවෙන්න
පොට්ටනි ගහලා හංගාපු
ඇට්ටර ප්‍රශ්න අහිනෙන්
එහෙන් මෙහෙන් එක දෙක
මිරිකිලා විසි උනාට
ඔය හැටියටම මොකටද වාරණ...
ලොකුකම් ඇට්ටරකම්
හූරලා විසි කරලා
ගනකම වලදාලා
නිදහසේ ඉගිලෙන්න
ආයෙමත් එනවාද මා එක්ක...
කොන්දේසි විරහිතයි දන්නවද....

Sunday, August 10, 2014

ප්‍රෝඩාකාර හඳ



ප්‍රෝඩාකාර හඳ
එබෙනවා ජනේලෙන් විටින් විට
කෑලි බාග රවුම් වලට 
දවසින් දවස පැන පැන
දාන අලවට්ටම් තොගයට 
කුරුවල් වෙනවා ඉහ මොළ 
කී දාහක් රැවට්ලාද
සරුව පිත්තල මුනට
ආවාට වහගෙන
දිස්නේ තට්ටුව අලෝ ගත්තට
මතක නෑ කියලා හිතුවද
උඹ විපරීත හඳ වග ....
ලාබෙට කුලියට ගත්තු
ඉර එළියෙන් දිලිහුනාට
උඹ ගාව හීතලයි හරියට 
හර්ද සාක්ෂියත් මිදෙන තරමටම....

Saturday, August 2, 2014

අවලම් හිත....


පරිමිතයට ඔබ්බෙන් පදිංචි
නිදහසක කූඩු කල සිතුවිලි
හිස්කබලේ හිස් තැන් 
අස්සට අඩුක් කරගෙන
අයාලේ සැරිසරනවා
නිදහස් මාෆියාවක
තැග් ගැහෙන්න පෙරුම් පුරාගෙන...

දෙගිඩියා පොට්ටනිය
ඉද හිට එලි බහින්න වලි කද්දී
තව තවත් ගැටය හිර කර කර
පොදි ගසා ඔබනවා
වල්මත් හිතුවිලි අහිනක
නොපෙනෙනු පිණිස වරක්වත්
හිත  ගැටෙන මානෙකට...

අවලම් හිත
හීන ඉද්දර නන්නත්තාර වෙද්දී
පස්වනක් ප්‍රීතියෙන් ඉපිළ
ගිණිමැලේ වටේටම නටනවා කරකැවී
රවුමට රවුමට , රවුමට රවුමට
අනේ නිලංකාරයි තාමත්
ගිණිකණ වැටුනු ඇස්ගෙඩි ජෝඩුවම....