Thursday, January 14, 2016

රිද්දනේ නෑ ඇබිඳක්වත් විස්වාස නැද්ද උඹට මාව...



ඇස් කන් ඇලවුණු
ගෝනි බිල්ලන්ට
වගේ වගක් නැතිවම
ලිප්ටන් වට රවුමේ පෝලිමට
අවුරුදු ගණන් බෑගිරි දුන්නු 
අසම්පූර්ණ විප්ලවය..
පොට්ටනි ගහලා දෝතින්
බාර කලේ අනාගතයට
එක හිතින් නොවුනාට
අවුරුදු ගානටම මගෑරුණු
හිඟ පත්තර පුරවන්නේ කෝම
උත්තරීතර විප්ලවයේ බර
මොළ ගෙඩිය උඩ පටවාන..
උපාධිය අරගෙන හනිකට
ගෝනි බිල්ලෙක් නොවුනොත් මම
මෑත පේන ආලකමන්දාවට 
ඉඳ හිට හරි රිංගන්ට
අහලකින් හරි පැලක් අටෝගන්ට
වරම් ගන්නේ කොහොමද..
ඉතිං සමාවෙයන් මට
ඉකි ගහන හෘද සාක්කිය
සිඳලන්න අවසරයි ඔය බොටුව
එක කඩු පාරෙන් වෙන් වෙන්න
සක්කියක් නොතියාම
ඉතිං නඬා ඉදින් ඔතනම
රිද්දනේ නෑ ඇබිඳක්වත්
විස්වාස නැද්ද උඹට මාව...

Monday, November 2, 2015

බොඳ වෙච්චි අකාහේ යට



අමාවක ආකහේ
සීතල කලුවරට
උණුහුම් වෙච්චි පපුව
දිඩි දිඩි ගාල ගැහෙද්දි
මං ආදරේ පුරෝගෙන
උඹ ලඟට ගුලි උනා...
එතකොට උඹ කිවුවා
එක තරුවක් නැති ආකහේ
මොන ලස්සනක්ද කියලා...
ඊටත් පස්සේ හැන්දෑවක
තරු ඉහිරිච්ච ආකාසේ යට ඉඳන්
මං ආයෙමත් වතාවක්
උඹේ ළඟ ගුලි ගැහෙද්දී
උඹ කිවුවා චැහ්.. 
වලාකුළකට වැහිච්ච
හඳක් ඇති ආකාහෙන් ඇති
පලේ මොකද්ද කියලා...
මුළු ආකාසෙම වහගෙන
පාළොස්වක හඳ
දිස්නේ දිදී විළිස්සද්දී
මං ආයෙමත් වතාවක් උඹේ 
උරපත්තට වාරු උනා..
ඒ වතාවේ උඹ කිවුවේ
එක තරුවක්වත් නැතුව
ආකාසේ පිරෙන්න
හඳ විතරක් තිබ්බම
මහාම මහ අජූතයි කියලා..
පස්සෙන් පහු එකමත් එක හවසක
අපි ගෑවී නොගෑවී
කොටු පවුර දිගේ ඇවිදිද්දී
ගණ නිල් ආකාහේ පුරාවට
පායපු හඳ පලුවක් වටේට
තරු අහුරක් ඉහිරිලා තිබ්බා..
මං හරි විස්වාසෙන් උඹේ 
ඇඟිලි බදලා ගුලි කරගත්තා
මේ කිසි පිළිවෙලක් නැති අහසට වඩා
අමාවක අහස කොච්චර නිස්කලංකද
උඹ අන්තිමට එහෙම කිවුවා..
ඇසිල්ලකට විතරක්ම උඹේ අත්ලට ගුලිවෙලා
අතෑරිලා නියපොතු කෙරෝලක 
එල්ලිච්ච උණුහුම් ඇබින්ද
මං මොකොවත්ම නොකියා 
රහසේම මිට මොළොව ගත්තා..
ඒත් ඒ වෙද්දිත් 
හුළඟේ ඉහිරිලා ගියපු
සුසුම් අහුර ගිලිහෙන්න නොදී 
අල්ලගන්න මට වාරු නැති උනා...
අයෙත් වතාවක් මං 
බොඳ වෙච්චි අකාහේ යට
ආයේ ආයේ වල්මත් වෙන්න 
අකීකරු හිතට හොඳටම තඩි බාලා
අමාරුවෙන් උනත් කැමති කරවගත්තා..

Wednesday, October 28, 2015

මල්...




පිපෙන
පරවෙන
එතෙන
පිච්චෙන
දැහැන් ගත හිත
නිවන් දක්කන
සීරුවට මාරුවී
හීනියට රෝල් වෙන
සතර පෙර නිමිත්තකි
මල්...
පිපෙන
පරවෙන
එතෙන
පිච්චෙන
අලු පාට ලෝකයට
තව පාට වපුරුවන...

Wednesday, November 26, 2014

පිටස්තරයා කොටු කිරීම

එකකට එකක් නොදෙවෙනි සබඳකම් පෝලිමක් නඩත්තු කරන්නටම දියවෙන ජීවන කලබගෑනියක අතර මැද්දෙන් නුඹට මා මෙන්ම මට නුඹවද  හෙමි හෙමින් අහිමි වෙන ඛේදාන්තයක ආරම්භය ඉද්දර මම යලිඳු වතාවක් නරඹන්නියක් බවට පත්ව ඇත්තෙමි.පිටපතේ අහුකොන් යාන්තමට වගේ වෙනස් වුවද බොහොමයක් ජවනිකා සමාන විම අහඹුවක්ම යැයි ඇදහීම නම් අසීරුය.
මෙය මට මෙන්ම නුඹටද තව දස දහස් ගනනක් වූ ඇතමුන්ටද වරක් දෙවර තෙවරක් හෝ සිවුවරක් නොව  අනේක වාරයක් සිදුවී ඇතිවාට සැක නැත.ඇසිල්ලකට හෝ නුඹට නුඹම අහිමි බව පසක් වී ඇත්ද?ඇතැම්විට ඒ සිතුවිල්ල නුඹේ හිත් මානයට වරක් වත් ගොඩවී නැතිවා විය හැක.නමුදු නුඹට හොරාට නුඹටම නුඹ අහිමිව ඇතුවා විය නොහකිද?නුඹට නුඹ අහිමි වනු දැක දැකම කිසිවක් කර කියා ගත නුහුණුව බලාන උන්නා විය හැක.කෙසේ නමුදු අවසානයේ දී අපට අපවම අහිමි වී ඇත.කවුදෝ කියා අපටම හරි හැටි හඳුනාගත  නොහැකි ආගන්තුක ප්‍රාණයක් අපගේ සියලු අනන්‍යතාවයන් ඌ සන්තක කරගෙන අප නමින් පෙනී සිටී.

"සැබෑවටම ඒ මමද?"

මා අනේකවාරයක් මගෙන් ප්‍රශ්න කර ඇත්තෙමි.ඒ කිසිඳු වතාවක මට හරිහමන් උත්තරයක් අමුණාගත නොහැකිවුයේ මගෙන් මා විමසු පැනය මා වෙතට යොමු නොවුනු නිසා විය නොහැකිද?ඇතැම්විට මා වෙනුවෙන් උත්තර අමුනා දීමට තරම් ආගන්තුකයා මා ගැන නොදන්නවා විය හැක.නැතිනම් ඒ උගේ සටකපට කමයි.කෙලෙසින් හෝ අහුකොන් නෑර අත පත ගගා ඉදහිටක මම මාවම සොයා ගත්තද ක්ශනයකින් මා වියකී ගොස් ආගන්තුකයෙකු මා වෙතට ආරෝපනය වන්නේ මන්දැයි මා නොදනිමි.දැන් මටම දෙකෙන් එකක් වෙන් කරගත නොහැකි  තරමටම සියල්ල පටලැවී ඇත.
ඉඳහිටක නුඹ මා ලෙසින් හඳුනා ගත්තේ මාවමද එමෙන්ම මා නුඹ ලෙසින් හඳුනා ගත්තේ සැබෑවටම නුඹවමද නැතිනම් නුඹ හෝ මා නමින් ආරෝපිත ආගන්තුක ප්‍රාණියෙක්ද යන්න කෙලෙස තෝරා බේරා ගන්නද?මට මාවම නොපෙනෙනා වංකගිරියක මම කෙලෙස නුඹ සොයන්නද?
අවසානයේදී කුමක් සිදුවේදැයි නොදන්නා නමුත් අපි අතරමං වී ඇති බව, අපි අපි අතරම නන්නත්තාර වී ඇති බවම පසක් කොට ගැනුමවත් මේ විශම වූ වංකගිරිය තුල සැනසෙන්නට තරම් වටිනා හේතුවක් නොවන්නේද?ඉදින් අපි අප සොයා උඩු ගං බලා යාත්‍රා කරන්නට තව තවත් තාවර වෙවී සිටිය යුතුමද?පිටත් වන්නට සුදුසු කාලය අප පසුකරගෙන බොහෝ දුර ගොස් ඇත.ඉදින් දැන්වත් අප ගමන් ඇරඹිය යුතු බව පසක් කර ගැනුමට තව කොපමණ කාලයක් මග බලා සිටිය යුතුද?