
කුඩේකට ඔරොත්තු නොදෙන තරමේ මුරුගසන් වරුසාව හිස් මුදුනේ ඉඳන් පා ඇඟිලි කෙළවර වෙනකම්ම තෙතබරියම් කරලා..කොහෙදෝ ඉඳලා ගහගෙන ආපු ඇට්ටර හුළං කෝඩෙකට අහු වෙලා දෑතින් ගිලිහිච්ච කුඩය අඩි කීපය ඈතට වීසි වෙලා ගියා.දැනටමත් අමුතුවෙන් තෙමෙන්න ඉඩක් නොතියාම බකිරිත්තමෙක් වෙලා උන්නු හන්දා මං ආපහු නොහැරී අඩිය ඉක්මන් කලා.හුළඟ එන්න එන්නම මුරණ්ඩු වෙනවා.අඹරෙමින් කැරකෙමින් පෙරළි කරන රුක් කඳන් වල අතු ඉති ඉඳලා හිටලා ආකාසේ දෙදරවමින් පුපුරලා කඩා හැලෙන විදුලි එලි එක්ක මුහු වෙලා හොල්මං රූප අඳිනවා...අනෝරා වැස්සයි දඟර ගැහිලා ගහගෙන එන හුළං පාරයි කුණාටුවක නිමිති කියනවද මන්දා..කොඳු නාරටිය දිගේ ඇට මිඳුලු වලට යනකම්ම ගල් ගැහිලා පා සුලැඟිලි නිය තුඩක් වෙනකන්ම හිරි වැටිච්ච සරීර කූඩුව, දත් ඇඳි සට සට ගාල වදින තරමට වෙවුලනවා...මොකෙක් හරි ඇවිත් ඉහේ ඇහේ ඇනුණත් නොපෙනෙනා තරමටම පට්ට තිත්ත ඝණ කළුවරක් මූසල පාළුවකුත් එක්ක කලවම් වෙලා වීදියේ හැම අහු කොණක්ම ගිල දමලා..අන්ධකාරය මැදින් මොකෙක්දෝ ඇවිත් මගේ ඇඟේ හැපුනා...
ආකාසේ දෙබෑ කරගෙන පුපුරලා හැලුණු හෙන පාරේ එළියෙන් මං උගේ මූණ දැක්කා...එකදු රේඛාවකවත් කෙස් ගහක තරම්වත් වෙනසකට ඉඩක් නොදී මගේ නෙත් ඉදිරියේම හුස්ම වැටෙන, ඇහි පිල්ලම් ගහන මාවම , මම දැක්කා. ඇහිබැම, ඇස් , මූණ , කට, නහය ,අත් පා පපුව හැම රෝම කූපයකම කිසිම අඩුවක් නැතුව කන්ණාඩියෙන් මං මාව දුටුවටත් වඩා පැහැදිලිවට ඌ මං දිහා එක එල්ලේම බලාන උන්නා.. වෙනෙකක් තියා වම් කම්මුල් කෙළවරේ තිබුණු උපන් ලපයත් ඒ විදියටම දකිද්දී නෙත් අදහා ගන්න බැරුව හෘදය මොහොතකට ගල් ගැහුණා.. අදහන්න අපහසු උනත් උත්ප්‍රාසයෙන් පිරුණු මදහසක් දෙතොල් කෙළවරක අලවගෙන "මම" මං දිහාම බලාන උන්නා..හත් දෙයියනේ.. අන්ධකාරය මැදින් ජීවිතේ පළමු වතාවට, මුහුණට මුහුණ, මට මට මාවම මුණ ගැහිලා...කතා කරම්ද නොකරම්දෝ කියලා දෙගිඩියාවක වල්මත් වෙලා මාව පාවෙනවා..මගේ ඇස් දෙකේ ඇනි ඇනී මාවම දකිත්දිත් මං පිටුපාලා යන්න අඩිය ඉස්සුවා..වැහි හීතලට මගේ මොළේ හිරි වැටිලාද මන්දා...ගැස්සිච්ච පපුව දත් ඇඳිවලටත් වඩා වේගෙන් ගැහෙනවා...
"ඔහොම හිටපන්"
හ්ම්..පුංචිවටවත් වෙනසක් නැති මගේම හඬින් ඌ මට කතා කලා..ඌ දිහා නොබලා උගේ හඬ කණට වැටෙන්න නොදී පය උස්සලා යන්න ශේෂ වෙලා තිබිච්ච චිත්ත ධෛර්යයේ අන්තිම බිංදුවත් ගුරු පාටට ගලාන යන වැහි වතුරත් එක්ක කලවම් වෙලා කාණුව දිගේ ඈතට ගහගෙන ගියා..
"මොකටද"
මගේ හදවතේ ගැස්ම මුවින් දොට්ට පැන්න වචන වල ලාවට වගේ තැවරිලා තිබ්බද මන්දා..
"අපි කතා කරමු"
හෙවණල්ලක්වත් පේන්නෙ නැති තිත්ත කළුවරේ මේ හීතලේ ...උඹට පිස්සුද? මට යන්න දීපන්..පේන්නේ නැද්ද මිනිහෝ කුණාටුව එන්නයි හදන්නේ.." මම නොඉවසිල්ලෙන් කිව්වා.
"පොඩ්ඩක් හිටපන්...ආයෙ අපි මුණ නොගැහෙන්නත් පුළුවන්" ඌ කිව්වා.
"ඒ මොකද?" මම ඇහුවා
"කුණාටුවෙන් උඹ මලොත්" බැරෑරුම් ස්වරයකින් ඌ කිව්වා.
"මූසල තකතීරු කතා නොකියා පාරෙන් අයින් වෙයන්"
"උඹ දන්නවද? "
"මොකද්ද?"
“මට ඈතට හමාගෙන යන්න ඕනි”
"උඹට පිස්සුද? විකාරද? උඹ කෝමද හමාගෙන යන්නේ? "
"මං හුළඟක් නිසා "
"නෑ උඹ හුළඟක් නෙවෙයි ඉතින් උඹ කෝමද හමාගෙන යන්නේ..මේ වැහි හීතලට උඹෙ ඔලු කට්ට ගල් වෙලා.උඹට මනෝ විකාර මැවෙනවා.. "
"උඹ මගේ කකුලෙන් අදිනවා..මං හුළඟක් තමයි..මට යන්න දීපන්..මට අර ඈත පේන ගස් කොලන් වල එතීගෙන හැපීගෙන යන්න දීපන්..ඔව් මං පාවෙලා යනවා..ඈතට ඈතට ඈතටම.. දුර පේන ක්ශිතිජයෙනුත් එහා අනන්තෙට..හෙමි හෙමීට පාවෙලා ගිහින් එක හුස්මට හැලමේ දුවනවා..ගිම්හානේ වේලිලා ගියපු අතු අගිස්සේ එල්ලිලා ඉන්න කොළ සේරෝම එක්කාසු කරගෙන දූලි වලා පීරගෙන ගහගෙන යනවා..කාන්තාර වැල්ලේ පුරාවටම හරි අපූරුවට රටා අඳිනවා..ඈත ගොඩ ගැහිලා ඉන්න වැලි කඳු උස්සාගෙන ගිහින් තවත් තැනකින් ඊටත් වඩා ලොකුවට උසට වැලි කන්දක් හදනවා..දකින හැමෝම කියාවි අන්න මහා වැලි කන්දක් කියලා..පෝලිමට හිටගෙන මූද දිහා අනිමිස ලෝචන කරන පොල් ගස් වල කරටි එක පෙලට නවාගෙන මං ඇදිලා යනවා.මන් බෝම සීරුවට සනීපෙට හමාගෙන යන මද පවනක් වෙනවා..හිතුවක්කාරෙට දබර කරන ඇට්ටර බොල් කඨෝර හුලඟක් වෙනවා...හැමෙදේම පොළවට සමතලා කරන් ඇදිලා යන මහ කුණාටුවක් වෙනවා..
එතකොට මිනිස්සු මට නානාප්‍රකාර නම් පට බඳීවි..මං ඈතට ඈතට ඇදිලා ගියාට පස්සෙත් මං ආපහු එනකන්ම මං ගැන කතා කරාවි.ගම් ගොඩේ ඉන්න වයසක උන්දෑලා ගිණි මැල වටේට ඇන තියාන මගේ පුරාජේරුව කියවද්දී පුංචි එව්වෝ ඇස් ගෙඩි දොබ ගෙඩි තරම් ලොකු කරගෙන කණ් දික් කරගෙන අහන් ඉදීවි.."
"උඹට පිස්සු..උඹ දවල් හීන දකිනවා"
මං දුවලා ගිහින් අත දිගෑරලා පුපුරු ගහන තරම් සැර අතුල් පාරක් උගේ කම්මුලට අතෑරියා...
"උඹ හුළඟක් නෙවෙයි මෝඩයෝ..මේ අහපන්....උඹ හිතුවට උඹ හතර අන්තෙටම හෑල්ලුවට පාවෙලා යන හුළං කෝඩයක් කියලා ඒක මායවක් විතරයි...උඹත් ගිණි මැලේ වටේ ඉඳන් මහා කුණාටුවේ විත්ති අහන නිකන්ම නිකන් පුංචි එකෙක් විතරමයි..ගිණි මැලේ එළියට උඹෙ ඇස් ගිණිකණ වැටිලා..මහා හුළගේ හපන්කම් අහන් ඉඳලම උඹේ ඔළුගෙඩිය ඇතුලටත් උඹ හුළඟක් කියන මෝඩ බූරු හිතුවිල්ලා රිංගගෙන..නැගිටපන්.නැගිටලා උඹේ අත් දෙකෙන්ම ඔය ඇස් ගෙඩි දෙක පිහ දාලා හොඳට ඇරල බලාපන්..නිවිලා යන ගිණි මැලේ දැල්වෙන්න දඟලමින් පණ අදින ගිණි පුපුරු එකින් එක මියදෙනවා උඹටම පෙනේවි.."
"මේ යාළුවා.., මාව අතෑරපං..මට යන්න දීපං,,උඹටත් ඕනේ නැද්ද මාත් එක්ක ඔහේ ගහගෙන යන්න.ඔය මනස්ගාත අතෑරලා උඹත් වරෙන් මාත් එක්ක යන්න.මාව විශ්වාස කරපන් යාළුවා...මං හුළඟක් තමයි..මාත් එක්ක ඔහේ නිදහසේ ඉමක් කොණක් නැතුව ඈතින් ඈතට ගහගෙන යන්න උඹත් වරෙන්..උඹට තේරෙයි උඹ ජීවත් වෙනවා කියලා..හුස්ම වැටෙනවා කියලා..පපුව ගැහෙනවා කියලා..අයිලය මැදින් ඇවිදගෙන යන අල්තිනායිගේ රෝස පාටට ලේ පුරපු කම්මුලක් ඉඹින්න, පොප්ලර් ගහේ කඳන් වල එතිලා සිලි සිලි තාලෙට තනුවක් වයාගෙන ඈතට ඇදෙන්න මගේ අතේ එල්ලිලා වරෙං.."
"නෑ.......... නෑ......... ඕක හීනයක් ..ඔය හීනෙන් නැගිටලා ඇස් ඇරලා බලාපන්..ඔහොම හිටපන් ..උඹට යන්න බෑ..නැවතියන්"
"නෑ මං හුළඟක්..මාව විශ්වාසෙ කරපන්..මං ඈතින් ඇදිලා එන මහ කුණාටුවේ අගිස්සේ පැටලිලා ගහගෙන යනවා ලොකේ පුරාවටම..මට යන්න දීපන්..."
"උඹටත් ලොකීගේ ආත්මේ වැහිලද..මේ තරමටම නාහෙට නාහන තරමේ හිතුවක්කාරකමක්..පිස්සු දොඩවන්නේ නැතුව මෙතනම ඉඳපන්.."
'අනේ දෙවියනේ..ආං බලාපන්..මහා කුණාටුව ඇදිලා යනවා උඹත් එක්ක වාදෙට පැටලිලා මට ඒක මග ඇරුණා..දැන් මට ආයෙමත් වෙන්නේ ගිණි මැලේ ලඟ වාඩි වෙලා ආයෙමත් මහ කුණාටුව එනකම් බලාන ඉන්න..අනේ උඹ මං කියපු දේ ඇහුවානම්.."
"මම නෙවෙයි උඹයි කොහෙදෝ ඉඳන් ඇවිත් මාව වාදෙක පටලවගත්තේ...ඒත් කමක් නෑ මේ අහපන්..දැන්වත් තෙරුම් ගනින්..උඹට යන්න බෑ ඔය අදහස අතෑරපන්..උතුරු හුළඟෙ කතාන්දර ඇහුව කිසිම කෙනෙක් පවනක්වත් උනේ නෑ..තේරුම් ගනින්"
"හ්ම්ම්..... මං යන්නම්...වැස්ස තුරල් වෙලා අහස පෑදිලා..."
"ඒත් උඹ ඔය කොහේද යන්නේ"
“ආපහු ගිණි මැලේ ලඟ ලී බංකුවට ...ඇස් ගෙවෙනකම් බලාන ඉඳලා හරි මං මහ කුණාටුවේ එල්ලිලා ගහගෙන යනවා..මේ වතාවේ නම් මං යනවා යනවමයි...”
වැහි පොද නොවැටුණත් අහස බර කරගත්තු හීන් මන්දාරමක් දිගන්තේම පැතිරිලා ගිහිල්ලා.රාත්‍රිය පුරාවටම කඩා හැලුණු වරුසාවෙන් ශේෂ වුනු පිනි මුතු කැට පිසගෙන හමන් ආපු තෙත් හුළඟ කමිස කර අතරින් පපුව අස්සට රිංගගත්තේ මුලු සර්වාංගෙම හී ගඩු නංවමින්. මම ඝණ ලොම් කබායේ බොත්තම් කර මුලටම පියවා ගන්න ගමන්ම ඇඟිලි ටික පතුලේ ගෑවෙන තරමටම සක්කු අස්සට අත් දෙක ඔබා ගත්තේ නුහුරු හීතලෙන් බේරෙන්න හිතාගෙනයි.
හතර අතට අතු ඉති විහිද ගත්තු නමක් නොදන්නා මහ දැවැන්ත රුක් කදන් පේළියක් මැදිනුයි යුනි එකට යන්න පාර වැටිලා තිබුණේ.දළු කොල නොපෙනෙනා තරමටම ගහේ අතු ඉති වහගත්තු මේ නිර්නාමික මල් ගහේ පෙති හරි අපූරු ලා රෝස පාට පාවඩයකින් මුළු මාවතම හැඩ කරලා තිබුණා.මට ඉස්සර අපේ පන්තිය ඉස්සරහා මල් පුරෝගෙන සීරුවට උන්නු ඇහැළ ගස් පේලිය මතක් උනා..ඇහැළ ගස් පේළියත් අපේ පන්තිය ඉස්සරහින් වැටිච්ච තාර පාර දිගටම එකම එක දවසක්වත් වරද්දන්නේ නැතුව කහම කහ පාටින් කෝළම් රටා අඳිනවා.
නමක් නොදන්නවා උනාට මේ ලා රොස පාටට පාර පුරාවට විසිරිලා තිබිච්ච මල් පෙති පාගන්න මට මහ පුදුම තරමේ ලෝබකමක් හිතුනා..
විහඟයා හිටියනම් ආයෙ දෙකක් නෑ කියනවා " උඹට තියෙන්නේ නම මහම මහ ගෑණු හිතක් බං: කියලා..
ඉස්සර ඇහැළ මල් පෙති පාගන්න ලෝබයි කිය කිය මං ගස් ගෙම්බෙක් වගේ එහාට මෙහාට පැන් පැන ඇවිදිද්දී විහඟයා හැමදාමත් මට කිවුවේ ඔය කතාවම තමයි..
"සොබා දහමේ ලස්සන දකින්න ,විඳින්න ,ආදරේ කරන්න පුළුවන් ගෑණු හිතකට විතරක්ම නම් අනිවා ඩෙෆා උඹ හරි ඇති මචෝ..ඒත් යකෝ ඔය ඉන්න තරමක් පරිසර වෙදියෝ ඔක්කොම ගෑණු නෙවෙයිනේ බං..
මං හිනා වෙවී එහෙම කියද්දී විහඟය උගේ තඩි සපත්තුවේ අඩියට කහ මල් පෙති අහුරු අහුරු පිටින් පාගලා දැම්මේ මගේ මල ජනිත කරන්න හිතාගෙන වෙන්න ඇති..
"උඹලා අම්මා උඹට කුරුල්ලෙක් කියලා නම දැම්මට රජෝ උඹන නම් ගහකට වැලකට සතෙකුට මෙලෝ ප්‍රේමයක් තියන එකෙක් නම් නෙවෙයි.උඹට දාන්න තිබ්බේ විහඟ නෙවෙයි දෙව්දත්තර අජාසත්ත වගේ නමක්."
" අඩෝ මේ කසුපයා.., තොට බුදු කෙනෙක්ගේ නමක් තිබ්බා කියලා මෙතන බණ දෙසන්න තියාගන්නෙ නැතුව වැඩක් බලාගෙන පල ඩෝ යන්ඩ..තොට ඔච්චරම මහා කරුණාව පහල වෙලා නම් අර පහළ කැන්ටිමෙන් මෙගේ බඩ ඇතුලේ බල්ටි ගගහා සර්කස් පෙන්නන පණු නැන්දිලා මාමිලාට කිඹුලෙක් ප්ලේන්ටීයක් අරන් දීපිය..අනේ උඹයි උඹේ අසතු රුක් ප්‍රේමයයි."
"යකෝ ඇසතු කියන්නේ ඇහැළ ගහට නෙවෙයි හරකෝ..බෝ ගහට..මෙන්න මෙහේ වර තොගෙ බඩ පණුවොන්ට දොළ පිදේනිය පුදන්න..
මං පර්ස් එක ඇරගෙන අය වැය පිරික්සන ගමන් කැන්ටිම පැත්තට ඇදුනා...
හිතක් පපුවක් නැති අපාය සහයකයා කිය කිය කසුපයාට කොච්චර බැන අඬගැහුවත් මං කටුණායකින් එන දවසේ මහා හයියෙන් මාව බදාගෙන ඇඬුවෙත් මගේ ගෑණු හිතට විහිළු කර කර උගේ අප්‍රතිහත පුරුෂ ධෛර්ය ගැන මහා ලොකුවට පුරාජේරු දොඩවන විහඟයාම තමයි.මොනා උනත් අවුරුදු දොලහටම මගේ රූමා උනෙත් සහෝදරයා උනෙත් බඩ බැඳ ගත්තු කල්‍යාණ මිත්‍ර රත්නය උනෙත් විහඟයා විතරමයි.
..................................................................................................................................................................
ගඟක් අද්දර තිබ්බ යුනි එක වටේටම ගඟට මූණ දාලා මහා විසාල ගස් හෙවණ කරගෙන ලී බංකු හදලා තිබුණා.නගරෙන් ටිකක් ඈතට වෙන්න නිස්කලංක වටපිටාවක ගොඩනැගිච්ච යුනි එක නෙතට ගැටුණු පළමු ඇසිල්ලේම හිතට ඇති කලේ ලොකු පැහැදීමක්..ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් උනත් ඒ සඳහා ප්‍රවේශ හිමිකම ලැබුණේ නම් බොහොම අතලොස්සකටයි.ප්‍රවේශය සඳහා ලොකු තරඟයක් තියන තැනකට අප්පච්චී මුල් පුටුවේ හිඳීමේ වරප්‍රසාදයෙන් ඇතුල් වෙන්න ලැබුණත් මං හන්දා දක්ෂයෙකුට මං ඇහිරුණාදෝයි මගේ හිතේ මෝදු උනු පශ්චාත්තාපය හිත් කොණක ලොකු සන්තාපයක් ශේෂ කලා....
උස උල් උළු වහලවල් ,දිග පඩිපේළි තිබිච්ච පරණ තාලේ මෝස්තරේට හැදිච්ච වාසිටිය පුරාණ චීන පන්සලක් වගේ.ගෘහ නිරමාණ ශිල්පය හෝ වාස්තු විද්‍යාව ගැන මගේ දැනුම බිංදුවෙනුත් සෑහෙන පහල තිබුණත් ඒ බිත්ති පියස් මට චීන ජපන් ච්ත්‍රපටි වල තිබ්බ ආරාම පන්සල් මතකෙට ගෙනාවා..
සිසු පිරිස සීමිත හන්දමද කොහෙද මහා ලොකු කලබගෑනියක් වාසිටිය ඇතුලේ තිබුණේ නෑ.හැබැයි නා නා විද සංගීත සර හතර අන්තෙටම පාවෙලා ගියා.නිස්කලංක වටපිටාවත් හතර අතින් ඇහෙන වැයෙන සත්සර රාවයත් කුළුඳුලේම ඒ බිමට පය තියන ඕනෑම පිටස්තරයෙකුගේ හිත නිවන නෙතු සනහන දසුනක් උනා.එහෙව් අඩවියකට සරසවියගේ ඇල්ම බැල්ම නොවැටුණානම් ඒක මහම මහා ආශ්චර්යයක්....
මං කලිසම් සාක්කු දෙකේ දෑත් ඔබාගෙන කුසීත ගමනින් සරසවියේ සිරි අසිරි වින්දා..රූස්ස ලා රෝස මල් ගහක ආරුක්කු හැඩේකට නැවිච්ච අත්තක් පහලට ගලාන යන ගං දියට මල් පෙති ඉහිරවනවා..මං හෙමි හෙමීට ඒ පැත්තට ඇවිදගෙන ගියා.."රෝස මාර"....නමක් නොදන්න රූස්ස මල් ගහට මම මගේ මනාපෙට නමක් දුන්නා...
ගඟ අද්දරට වෙන්න හදලා තිබ්බ දිග ලී බංකුවේ කෙලවරකට වෙන්න ඉඳගත්තු මං ගං දිය දිගේ රෝස මාර මල් පෙති පාවී පාවී ඈතට ඇදෙනවා බලාන උන්නා..ඝණ සැරේට ගලාන යන දිය කඳ දිගේ කැරකි කැරකි පාවෙලා ගියපු මල් පෙති නෙත් මානෙන් ගිලිහිලා යනතුරුම ඔහේ බලා උන්නු මගෙ දැහැන ඇහෙන නෑහෙන නුහුරු ගැහැණු හඬකින් විසිරිලා ගියා.
"අන්යෝ"
බංකුවේ අනිත් කෙළවරටම වෙන්න වාඩි වෙලා උන්නු නාරි රුවක් ගෙල ඇල කරලා සුන්දර හිනා මල් පොකුරකින් මට දමලා ගැහුවා..හීන් දිගටි නෙත් යුවලත් ,කූරු දිගු වරලසත් ,රෝස කොපුලත් මට ජපන් බෝනික්කියෙක්ව සිහිපත් කළා..
"අන්යෝ"
"ජොනුන්..නොරිකෝ ඉම්නිදා..."
"ඉරමි මොයෙයෝ....."
නුහුරු බසකින් මොනවදෝ කියෝගෙන කියෝගෙන යන අගේ මුව දෙස ඇස් ඉහේ තබාගෙන බලා උන්නා අරුණුකොට ඇය කියූ මෙලෝ මලදානයක්වත් මගේ ඔලුගෙඩියට නම් වැටහුනේ නෑ..
"මේ මොන මරාලයක්ද?" මට ඉබේටම කියවුණා...
ඕ අයි ඈම් සොරි......අයි......
මට වාක්‍ය සම්පූර්ණ කරන්නවත් අගෙන් ඉඩක් නොවුණි.
"මම මරාලයක්වත් පරාලයක්වත් නෙවෙයි"අඩවන් නෙත් පියවෙන තරමටම අඩවන් වෙද්දී කොපුල් රතු වෙද්දී මට දබර ඇඟිල්ලත් උරුක් කරන ගමන් හොඳ පැහැදිලි උච්චාරනයෙන් මේ නොදන්න රටේ තරුණියක් සිංහල කතා කරද්දී මගේ ඇස් ගෙඩි දෙක නළලට නොවෙයි ඉස් මුදුනටම ගිහින් කණ් දෙකෙන් දුම් පිටවෙන්න ගත්තා..
"හත්වලාමයි මේ කෙල්ලට මං කියපු එක තේරුණා විතරක් නම් මදෑ යස අපූරුවට සිංහලෙන් උත්තර දෙනවත් එක්ක..සිංහල පාටක්වත් ගෑවිච්ච නැති කෙල්ලෙක් ඉපදිච්ච දා ඉදන් ලංකාවෙ වගේ කියවන්නේ කෝමද?"
මගේ යටි හිත උඩු හිතට ප්‍රශ්න පිට ප්‍රශ්න කොඳුරන්න පටන් ගත්තා.
"අනේ සමාවෙන්න ..මට වැරදිලා කියවුණේ..කියපු මුකුත්ම තේරුනේ නැති හන්දා.."
මං පුළුවන්තරම් විනීතව සුනීත සෝපාක බැගෑපත් බැල්මට මෝඩපහේ හිනාවකුත් එකතු කරලා සමාව භාජනයේ දමා වසනු මැනවි කියන්න සෙට් උනා.
"හ්ම්..ලංකාවේ නේද..?නම මොකක්ද..?"
"අහ්.... මම කසුප්..."
"කසුප් විතරමද? අග මුල මැද කෑලි නැද්ද?ඔහොමද නාඳුනන කෙනෙක් තමුන්ගේ නම ඇහුවම අඳුන්වලා දෙන්නේ...?
කෙල්ල කියාගෙන කියාගෙන කියාගෙනම යනවා..මලලසේකරටම ඔප්පුවෙච්චාවේ කිවුවලු..මං මේ බබා වෙන්න හදනවා නෙවෙයි..ඒත් පිරිමි ඉස්කෝලෙකට ගිහිල්ලා පන්තියේ පාඩුවේ සයිඩ් ගහන් ඉඳලා කෙල්ලෙක් එක්ක තියා විහඟයා ඇරෙන්න කොල්ලො හතර පස්දෙනෙක්වත් ආශ්‍රය නොකරපු මට තනි පංගලමේ කෙල්ලෙක් අතඩංගුවට අරන් මේ වගේ ප්‍රශ්න කරද්දී හීන් දාඩිය දාල එලොව පොල් විතරක් නෙවෙයි පුවක් එහෙමත් පේන්න පටන් ගත්තා..හපොඉයි දැන් නම් ජපන් බෝනික්කි වයින් කරලා අතෑරියා වගෙයි..මං ෆුල් ගට අරන් කට ඇරියා..
"අහ් සොරි...මං කසුප සිලිලාර සේනානායක..."
"ආ... ප්‍රොෆෙසර් සේනානායකගේ කවුරුහරිද...?"
"ඔව් ඒ මගේ අප්පච්චි..ම්ම් එතකොට ඔයා..?"
"අහ් මම කිම් නූරි නොරිකෝ වර්ණාසි.."
"වර්ණාසි..? ඒක නිකං අන්නාසි සන්නාසි වගේනේ.."
හිතුවිල්ල උපන් පමාවට ඒ ටික කිවුවේ මෙච්චර වෙලා ඇඹරී ඇඹරී උන්න කසුපයාමද කියලා හිතන පරක්කුවටත් කලින්ම වචන ටික කටින් දොට්ට පැන්නා..දැන් ඉතින අපහු ගිලින්නයැ....
"ඔව් ඉතින් කසුප් කියන නමේ කයන්න කැපුවොත් නිකන්ම නිකන් සුප් වගේ තමා"
නොරිකෝත් ගේම අතෑරියේ නැති හන්දා මම ශේප් එකේ සුදු කොඩි ඉස්සුවා..
"හ්ම්...දැන් ඔයාගේ නමේ භාෂා කීයක විතර නම් තියනවද?එතකොට..ඔයා ජපන්ද...?අර ඔයා මට කලින් කතා කරලා කියවගෙන කියවගෙන ගියේ මොනාද..?ඔයා කෝමද මෙච්චරටම හොඳට සිංහල කතා කරන්නේ..?"
වෙච්ච නෝන්ඩියෙන් ගැලවෙන්නත් එක්කම මාත් කෙල්ලට ප්‍රශ්න පත්තරයකින්ම දමලා ගැහුවා..මගේ අර සබකෝලෙද මොකද්ද එක ගඟට වැටිලා ගහගෙන ගිහිල්ලද කොහෙද..කිඹුලෙක්වත් ගිල්ලද දන්නේ නෑ..
"අම්මෝ..ඒ හැර මේ හැර තවත් ප්‍රශ්න තිබේද..?අඹ පැනය නෑ පැනය එහෙම තව ඇහුවෙත් නෑ නේද..?"
හුටා පටෝරියා..අම්මට සිරි කිවුවලු...මේ ජපන් බෝනික්කි දැන් අඹ පැන නෑ පැන ගැනත් අහන්න පටන් අරන්...
" ඕන්න ඉස්සෙලාම කිවුවා මම ජපන් නම් නෙවෙයි.."
"කිම් කියන්නේ මගේ වාසගම..නූරි කියන්නේ මට තාත්තා දාපු නම"..
"එතකොට ඔය දෙකමයි මගේ තාත්තයි කියන තුනම කොරියාවේ..."
"නොරිකෝ වර්ණාසි කියන්නේ මගේ අම්මා දාපු කෑල්ලක්ලු..නොරිකෝ කියන ජපන් නමටයි වර්ණාසි කියන සිංහල නමටයි අම්මා ගොඩක් ආසා කලාලු.."
"මගේ අම්මා ලංකාවෙ සුද්ද සිංහල,,ඒකයි මට මෙච්චර හොඳට සිංහල පුළුවන්.."
"එතකොට මං කියන්නේ ලංකාවටත් කොරියාවතත් ජපානෙටත් නැති කලවමියක්.."
හ්ම්.. නොරිකෝ එක හුස්මට දිග හෑල්ලක් කියගෙන කියාගෙන ගියා..
"හ්ම්.. නෑ අපි මෙහෙම කියමු...කොරියාවත් ජපානෙත් ලංකාවත් අතරමැද ඉන්න අති විශේෂ පිස්සු මරාලයක්...කල්වමීට වඩා පිස්සු මරාලෙ හොඳයි මං හිතන්නේ.."
මං එහෙම කියද්දී නොරිකෝ එයාගේ පුංචි ඇස් තවත් පුංචි කරලා ලස්සනට හිනා උනා...අතෝරක් නැතුව ඔහෙ කියවන මේ නාඳුනන කෙල්ල එක්ක හරි හරියට දොඩමළු වෙන මං ගැන මටම පුදුම හිතුනා..මේ නොදන්න භූමියට පය තිබ්බට පස්සේ කුළුඳුලේම මාත් එක්ක දොඩමළු වෙච්ච මේ කලවම් කෙල්ල හරි ඉක්මනටම මාහ් එක්ක මිතුරු උනේ මටත් මගේ හිතටත් හාංකවිසියක්වත් නොදැනීමයි...
එන්න කියනවා මට
ඒත් යන්න බෑලු හිතට
පා සුළැඟිලි කොණක්වත්
මනාපේ දෙන්නේ නෑ
එහේ ගිහින් නවතින්න
එහේලු ජීවිතය
පවුල ගෙදර හැමදේම
ඒත් නොදැනේ එහෙම
ඇයිද දන්නෑනේ මම
මේ ගෙන්දගම් පොළවට
ගිණිකණ වැටිලානේ මම
සැප නැතත් දැනෙනවා
මෙහේදි හුස්ම වැටෙන වග
හොයලා හොයලා අමාරුවෙන්
අල්ලගත්තු ජීවිතය
දමලා එන්නලු මට
ඒත් යන්නේ කෝම මම
ඇබින්දක් තරම්වත්
හිත කීකරු නෑනේ මට......
වැස්ස නුඹ
ඇද හැලෙන්
ගිණි ගහන
දෙරණ පිස
ශේෂ නොකරන්
දූලි පොදක්වත්
දියකර දමාපන්
වැහි පොදෙන්
කුණුවෙමින් පැහවන
ගඳගහන මතකයන්
නිවී යාවී
ඒ සිහිලෙන්
ඇවිලෙන සන්තානයම
හැමදාටම නැතත්
තව ටික දිනක් හරි.......